Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

හෙබ්‍රෙව් 4:12 - “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය”

හෙබ්‍රෙව් 4:12 - “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය”

 “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.”—හෙබ්‍රෙව් 4:12, ‘නව ලොව පරිවර්තනය.’

 “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.”—හෙබ්‍රෙව් 4:12, ‘පැරණි අනුවාදය.’

හෙබ්‍රෙව් 4:12 අදහස

 බයිබලේ තියෙන්නේ දෙවියන් මිනිස්සුන්ට දැනුම් දීලා තියෙන පණිවිඩය. ඒකට කෙනෙක්ගේ සිතුවිලි, චේතනා හෙළි කරන්න වගේම ජීවිතේ වෙනස් කරන්න තරම් ලොකු බලයක් තියෙනවා.

 “දෙවිගේ වදන් ජීවමානය.” මේ පදයේ “දෙවිගේ වදන්” කියන්නේ දෙවියන් අපිට දීලා තියෙන පොරොන්දුවලට සහ ඔහු බයිබලේ මාර්ගයෙන් හෙළි කරලා තියෙන ඔහුගේ අරමුණට. a ඒ අරමුණට අයිති එක වැදගත් දෙයක් තමයි දෙවියන්ට කීකරු වෙන මිනිස්සුන්ට මේ පොළොවේ සතුටින්, සමාදානයෙන් හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා කියන එක.—උත්පත්ති 1:28; ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

 දෙවියන්ගේ වචන ඒ කියන්නේ ඔහු අපට හෙළි කරලා තියෙන අරමුණ “ජීවමාන” වෙන්නේ කොහොමද? බයිබලේ තියෙන පණිවිඩය දැනගත්තාම කෙනෙක්ගේ ජීවිතේට බලාපොරොත්තුවක්, අරමුණක් ලැබෙනවා. (ද්විතීය කතාව 30:14; 32:47) ඒක දෙවියන්ගේ අරමුණ “ජීවමානයි” කියන්න එක හේතුවක්. දෙවියන්ගේ පොරොන්දුත් “ජීවමානයි.” මොකද දෙවියන් ඒ පොරොන්දු ඉටු කරන්න මේ වෙද්දීත් වැඩ කරනවා. (යොහන් 5:17) අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිස්සු නම් පොරොන්දුවක් දුන්නාට පස්සේ ඒක අමතක කරලා දානවා. නැත්නම් ටික දවසක් යද්දී එයාලට හිතෙනවා ඒ වෙච්ච පොරොන්දුව ඉටු කරන්න අමාරුයි කියලා. (ගණන් කතාව 23:19) හැබැයි දෙවියන් එහෙම නැහැ. ඔහුගේ වචන ‘කිසිවිටෙකත් නිෂ්ඵල වී ඔහු වෙතට හැරී එන්නේ නැහැ.’—යෙසායා 55:10, 11.

 ‘දෙවිගේ වදන් බලවත්ය.’ බලවත් කියන යෙදුම “ක්‍රියාශීලී” එහෙම නැත්නම් “අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරනවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම බලද්දී යෙහෝවා b දෙවියන් කියන ඕනම දෙයක්, ඔහු දෙන ඕනම පොරොන්දුවක් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන්. (ගීතාවලිය 135:6; යෙසායා 46:10) ඇත්තම කිව්වොත් අපිට හිතාගන්නවත් බැරි විදිවලින් තමන් දෙන පොරොන්දු ඉටු කරන්න දෙවියන්ට පුළුවන්.—එෆීස 3:20. c

 දෙවියන් දෙන මඟ පෙන්වීම්වල වටිනාකම හඳුනාගත්ත අයගේ ජීවිතවල, එයාලාගේ පෞද්ගලිකත්වයේ ලොකු වෙනසක් කරන්න බයිබලේට හැකියාව තියෙනවා. ඒ වගේම ඒකෙන් එයාලා හිතන විදිහ, එයාලා ජීවත් වෙන විදිහ වගේම එයාලාගේ ඉලක්කත් වෙනස් වෙනවා. (රෝම 12:2; එෆීස 4:24) ඒකයි දෙවියන්ගේ වදන් “බලවත්” කියලා කියන්නේ. එහෙම බලද්දී දෙවියන්ගේ වචන පිළිගන්න අයගේ “හදවත් තුළ ක්‍රියා කරන්නේ ඒ පණිවිඩයේ තිබෙන බලයයි” කියලා කියන්න පුළුවන්.—1 තෙසලෝනික 2:13.

 ‘දෙවිගේ වදන් ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.’ ඇයි එහෙම කියන්නේ? කඩුවකින් ඇන්නාම පසාරු කරගෙන යනවා වගේ දෙවියන්ගේ වචනවලට පුළුවන් කෙනෙක්ගේ හදවත පසාරු කරගෙන ගිහිල්ලා එයාගේ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න. එතකොට එයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා එයාටම අඳුරගන්න පුළුවන්. ඒ දේ කරන්න මිනිස්සුන්ගේ කිසිම ඉගැන්වීමකට බැහැ. ඒ කාරණය හෙබ්‍රෙව් 4:12 ඉතුරු කොටසේ තවත් කාවද්දලා තියෙනවා.

 ‘දෙවිගේ වදන් කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන.’ ‘පැරණි අනුවාදයේ’ ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි. ‘දෙවියන්වහන්සේගේ වචනය ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය.’ මුල් භාෂාවට අනුව එතන “ප්‍රාණය” කියලා කියද්දී ඒකට “පිටතින් පේන පුද්ගලයා” කියන අදහසත් ඇතුළත් වෙන්න පුළුවන්. “ආත්මය” කියලා කියද්දී ඒකෙන් “ඇතුළාන්ත පුද්ගලයාව” ඒ කියන්නේ කෙනෙක් ඇත්තටම කොයි වගේද කියන එක අදහස් වෙන්න පුළුවන්. (ගලාති 6:18) එහෙම බලද්දී දෙවියන්ගේ වචනය අපේ “ඇටමිදුලු වෙන් කරන” තරමටම පසාරු කරගෙන යනවා කියන්නේ අපේ හදවතේ ගැඹුරුම තැන්වල හැංගිලා තියෙන සිතුවිලි, චේතනා වටහාගන්න ඒක අපිට උදව් කරනවා කියන එකයි. ඒක කිසිම කෙනෙක්ට පිටින් බලලා තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි දෙවියන්ගේ වචනයට පුළුවන් අපේ හිතේ තියෙන වැරදි සිතුවිලි, ආකල්ප වගේ දේවල් අඳුරගෙන ඒවා වෙනස් කරගන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්න. අපි එහෙම කරද්දී අපිව හදපු අපේ නිර්මාතෘටත් අපිටත් ලොකු සතුටක් ලැබෙනවා.

 ‘දෙවිගේ වදන් මඟින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.’ කෙනෙක් බයිබලෙන් දැනගන්න දේවල්වලට දක්වන ප්‍රතිචාරයෙන් එයාගේ හදවතේ සැබෑ තත්වය ඒ කියන්නේ එයාගේ සිතුවිලි, චේතනා තේරුම්ගන්න පුළුවන්. උදාහරණයකට කෙනෙක් බයිබලේ කියවලා ඒකට අනුව එයාගේ ජීවිතේ අවශ්‍ය වෙනස්කම් කරගන්නවා නම් ඒ කෙනා ඔප්පු කරනවා එයා නිහතමානී, අවංක කෙනෙක් කියලා. එයාට ඕනෙ එයාගේ නිර්මාතෘව සතුටු කරන්න. හැබැයි කෙනෙක් බයිබලේ කියවද්දී එයාගේ අඩුපාඩු හදාගන්නවා වෙනුවට බයිබලේ වැරදි හොයනවා නම් ඒකෙන් එයා පෙන්නන්නේ එයා උඩඟු, ආත්මාර්ථකාමී කෙනෙක් කියන එකයි. ඒ වගේ කෙනෙක් උත්සාහ කරන්නේ එයා කරන වැරදි සාධාරණීකරණය කරන්න.—යෙරෙමියා 17:9; රෝම 1:24-27.

 එක මූලාශ්‍රයක කියනවා “දෙවියන්ගේ වචනයට අපේ හදවතේ අස්සක් මුල්ලක් නෑර හැම කොනකටම යන්න හැකියාව තියෙනවා” කියලා. ඒ කියන්නේ දෙවියන්ගේ වචනයට පුළුවන් අපේ හිතේ තියෙන හැම සිතුවිල්ලක්ම හෙළි කරන්න. ඇත්තටම ඔහුගෙන් කිසිම දෙයක් හංගන්න අපිට බැහැ. ඒකයි හෙබ්‍රෙව් 4:13 කියන්නේ “අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ” කියලා.

හෙබ්‍රෙව් 4:12 අවට පද

 නියෝජිත පාවුල් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් මේ ලිපිය ලිව්වේ ක්‍රි.ව. 61දී විතර. ඒ යෙරුසලමේ සහ යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ට.

 3වෙනි සහ 4වෙනි පරිච්ඡේදවල පාවුල් ඊශ්‍රායෙල්වරුන්ව උදාහරණයකට අරන් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක් දෙනවා. (හෙබ්‍රෙව් 3:8-12; 4:11) යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟට පොරොන්දු වුණා එයාලව වහල්භාවයෙන් නිදහස් කරගෙන “සුරක්ෂිතව වාසය කරන්න” පුළුවන් දේශයකට ගේනවා කියලා. (ද්විතීය කතාව 12:9, 10) හැබැයි ඊජිප්තුවෙන් නිදහස් වුණ ඒ මුල් පරම්පරාවේ අය දෙවියන්ව විශ්වාස කළේ නැහැ. එයාලා දිගින් දිගටම දෙවියන් අකමැති දේවල් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ‘දෙවියන් වගේ විවේක ගන්න’ ඒ කියන්නේ දෙවියන් එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න එයාලට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙනුවට එයාලා පාළුකරයේදීම මැරිලා ගියා. එයාලාගේ ඊළඟ පරම්පරාව පොරොන්දු දේශයට ගියත් එයාලත් ආයේ ආයේ දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා ඒකට මුළු ඊශ්‍රායෙල් ජාතියටම වන්දි ගෙවන්න වුණා.—නෙහෙමියා 9:29, 30; ගීතාවලිය 95:9-11; ලූක් 13:34, 35.

 පාවුල් කියන විදිහට අවිශ්වාසවන්ත වුණ ඊශ්‍රායෙල්වරුන්ගේ අවාදර්ශයෙන් ක්‍රිස්තියානීන්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඉතින් අපිත් එයාලා වගේ වෙන්නේ නැතුව දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් ඔහුගේ වචනයට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේම ඔහු දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්නත් ඕනේ.—හෙබ්‍රෙව් 4:1-3, 11.

 හෙබ්‍රෙව් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a හෙබ්‍රෙව් 4:12 තියෙන “දෙවිගේ වදන්” කියන්නේ බයිබලයට විතරක් නෙවෙයි. හැබැයි දෙවියන්ගේ පොරොන්දු, අරමුණු වාර්තා කරන්න දෙවියන් පාවිච්චි කළේ බයිබලය නිසා හෙබ්‍රෙව් 4:12 “දෙවිගේ වදන්” කියලා කියන්නේ බයිබලයට කියලා කියන එකේ වරදක් නැහැ.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”‏යෙහෝවා කියන්නේ කවුද?”‏ කියන ලිපිය බලන්න.