Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 15:13 - “මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය”

රෝම 15:13 - “මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය”

 “එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.”—රෝම 15:13, ‘නව ලොව පරිවර්තනය.’

 “ඉදින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.”—රෝම 15:13, ‘පැරණි අනුවාදය.’

රෝම 15:13 අදහස

 ඒ පදයේ සඳහන් වෙන්නේ දෙවියන්ගේ සේවකයන්ට “සතුටින්, සමාදානයෙන්” ඉන්න ලැබේවා කියලා පාවුල් කරන ප්‍රාර්ථනාවක් ගැනයි. එතන පාවුල් කතා කරන සතුට, සමාදානය දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුවටයි, ඔහුගේ බලයටයි සම්බන්ධ වෙනවා. ඒ කොහොමද?

 දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ගැන සඳහන් වෙන්නේ ඔහුගේ වචනයේ. ඒ කියන්නේ බයිබලයේ. ඒ ගැන රෝම 15:4 කියන දේ බලන්න. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” දුප්පත්කම, අසාධාරණය, අසනීප, මරණය වගේ දේවල් නිසා අද මිනිස්සු ඉන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. හැබැයි දෙවියන් ඒ හැම දෙයක්ම සදහටම නැති කරලා දානවා කියලා බයිබලේ පොරොන්දු වෙලා තියෙනවා. (එළිදරව් 21:4) ඔහු ඒක කරන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. දෙවියන් ඒ වගේ බලාපොරොත්තුවක් දීලා තියෙන නිසා අපිට අනාගතය ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ.—රෝම 15:12.

 “අධික බලාපොරොත්තුවකින්” ඒ කියන්නේ බලාපොරොත්තුව ගැන “ස්ථිර විශ්වාසයකින්” ඉන්න පුළුවන් කොහොමද? එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපිට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණොත් විතරයි. ඒත් ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද? අපි ඔහු ගැන ඉගෙනගන්න ඉගෙනගන්න අපේ විශ්වාසයත් ටිකෙන් ටික වැඩි වෙනවා. (යෙසායා 46:10; තීතස් 1:2) අපි මොන අභියෝගයකට මුහුණ දුන්නත් දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව නිසා සතුටින්, සමාදානයෙන් ඉන්න අපිට පුළුවන්.—රෝම 12:12.

 සමාදානය, ප්‍රීතිය, බලාපොරොත්තුව කියන දේවල් “දෙවිගේ බලයට” කෙලින්ම සම්බන්ධයි. a ඒ කොහොමද? මෙහෙම හිතන්න, දෙවියන් තමන්ගේ පොරොන්දු ඉටු කරන්න පාවිච්චි කරන්නේ ඔහුගේ ක්‍රියාකාරී බලයයි. ඒ පොරොන්දු නිසා අපේ ජීවිතවලට බලාපොරොත්තුවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවිගේ බලයට පුළුවන් මිනිස්සු තුළ ප්‍රීතිය, සමාදානය වගේ ලස්සන ගුණාංග ඇති කරන්න.—ගලාති 5:22.

රෝම 15:13 අවට පද

 පාවුල් රෝම පොත ලිව්වේ රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට. එහේ හිටපු සමහර ක්‍රිස්තියානීන් යුදෙව් ජාතියට අයිති අය. ඒ වගේම යුදෙව් නොවන අයත් එහේ හිටියා. ඒ නිසා පාවුල් සභාවේ හිටපු හැමෝටම දිරිගැන්නුවා මොන ජාතියකට අයිති වුණත් මොන පසුබිමෙන් ආවත් හැමෝම එක විදිහට හිතන එක, එකට එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරන එක කොච්චර වැදගත්ද කියලා.—රෝම 15:6.

 දෙවියන් ඊට අවුරුදු ගාණකට කලින් කියලා තිබුණ දෙයක් පාවුල් රෝම සභාවේ හිටපු අයට මතක් කළා. ඒ තමයි හැම ජාතියකටම අයිති අය එකමුතුව දෙවියන්ට නමස්කාර කරන කාලයක් එනවා කියන එක. ඒක පැහැදිලි කරන්න පාවුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ b පද හතරක්ම උපුටලා දැක්වුවා. (රෝම 15:9-12) පාවුල්ට කියන්න ඕනෙ වුණේ මොකක්ද? එයාට කියන්න ඕනෙ වුණේ යේසුස් කරපු සේවය නිසා යුදෙව්වන් විතරක් නෙවෙයි හැම ජාතියකටම අයිති අය ප්‍රයෝජන ලබනවා කියන එක. යුදෙව්වන්ට වගේම යුදෙව් නොවන අයටත් දෙවියන් දීලා තියෙන්නේ එකම බලාපොරොත්තුවක්. ඒ නිසා මොන පසුබිමකින් ආවත් සභාවේ ඉන්න හැමෝවම ‘පිළි අරගෙන’ එයාලට කාරුණිකව සලකන්න කියලත් ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලත් පාවුල් රෝම සභාවේ අයව දිරිගැන්නුවා.—රෝම 15:7.

a තවත් විස්තර දැනගන්න “ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

b හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට ‘පැරණි ගිවිසුම’ කියලත් කියනවා.