Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 10:13 - “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය”

රෝම 10:13 - “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය”

 “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”—රෝම 10:13, ‘නව ලොව පරිවර්තනය.’

 “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.”—රෝම 10:13, ‘පැරණි අනුවාදය.’

රෝම 10:13 අදහස

 දෙවියන් හැමෝටම සලකන්නේ එක හා සමානව. ජාතිය, පසුබිම මොකක් වුණත් ගැලවීම ලබාගෙන සදහටම ජීවත් වෙන්න ඔහු හැමෝටම අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ගැලවීම ලබන්න නම් සියලු බලැති දෙවියන්ගේ නමින් ඒ කියන්නේ යෙහෝවා කියන නමින් අපි අයැදින්න ඕනේ. aගීතාවලිය 83:18.

 යෙහෝවා දෙවියන්ගේ නාමය කියා අයැදිනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ නම දැනගෙන ඉන්න එක සහ ඔහුට නමස්කාර කරද්දී ඒ නම පාවිච්චි කරන එක විතරක් නෙවෙයි. (ගීතාවලිය 116:12-14) ඔහු ගැන විශ්වාසය තියන එකත් ඔහුගෙන් උපකාර පතන එකත් ඒකට ඇතුළත් වෙනවා.—2 ලේකම් 14:11; ගීතාවලිය 99:6.

 යේසුස් ක්‍රිස්තුස්ට දෙවියන්ගේ නම ගැන ලොකු අගයක් තිබුණා. ඒ නිසයි ආදර්ශ යාච්ඤාව පටන්ගද්දී ඔහු කිව්වේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා. (මතෙව් 6:9) ඒ වගේම සදාකාල ජීවනය අත් කරගන්න නම් අපි යෙහෝවා කියන නමින් හඳුන්වන දෙවියන්ව දැන හඳුන ගන්න ඕනෙ කියලත් ඔහුට කීකරු වෙන්න ඕනෙ කියලත් ඔහුට ආදරේ කරන්න ඕනෙ කියලත් යේසුස් ඉගැන්නුවා.—යොහන් 17:3, 6, 26.

 ‘පැරණි අනුවාදයේ’ රෝම 10:13 “ස්වාමීන්වහන්සේ” හැටියට හඳුන්වලා තියෙන්නේ යෙහෝවා දෙවියන්වයි කියලා කියන්නේ ඇයි? යෝවෙල් 2:32න් තමයි රෝම 10:13 උපුටා දක්වලා තියෙන්නේ. මුල් හෙබ්‍රෙව් පිටපත්වල යෝවෙල් 2:32 සඳහන් වෙලා තිබුණේ දෙවියන්ගේ පෞද්ගලික නම මිසක් “ස්වාමීන්” කියන පදවි නම නෙවෙයි. b

රෝම 10:13 අවට පද

 කෙනෙක්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසයක් තියෙන්නම ඕනෙ කියලා රෝම 10වෙනි පරිච්ඡේදයේ පැහැදිලි කරලා තියෙනවා. (රෝම 10:9) ඒ පරිච්ඡේදයේ පරණ ගිවිසුමෙන් උපුටා දක්වලා තියෙන පද කිහිපයකින්ම ඒ අදහස නිවැරදියි කියලා සනාථ වෙනවා. කෙනෙක්ට සැබෑ විශ්වාසයක් තියෙනවා නම් එයා ඒ ගැන ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.’ දෙවියන් ගැන දන්නේ නැති අයට ශුභාරංචිය දේශනා කරන එකත් ඒකට ඇතුළත් වෙනවා. ශුභාරංචිය දැනගන්න ලැබුණාම ඒ අයට පුළුවන් වෙනවා සැබෑ විශ්වාසයක් ඇති කරගෙන සදාකාල ජීවිතය අත් කරගන්න.—රෝම 10:10, 14, 15, 17.

රෝම 10වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් බලන්න.

a පැරණි බයිබල් පිටපත්වල දෙවියන්ගේ නාමය 7,000 වතාවක් විතර සඳහන් වෙලා තියෙනවා. හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ නම සංකේතවත් කරන්න අක්ෂර හතරක් යොදාගෙන තියෙනවා. දෙවියන්ගේ නම සිංහල භාෂාවෙන් උච්චාරණය කරන්නේ “යෙහෝවා” කියලයි. සමහර විශාරදයන් කියනවා දෙවියන්ගේ නම “යාහ්වේ” හැටියට උච්චාරණය කරන්න ඕනෙ කියලා.

b ග්‍රීක ලියවිල්ලේ ලේඛකයන් පරණ ගිවිසුමේ දෙවියන්ගේ නම තියෙන පදවලින් උපුටා දක්වද්දී හුඟක් අවස්ථාවලදී දෙවියන්ගේ නම ඒ විදිහටම සඳහන් කළා කියලා පිළිගන්න හොඳ හේතු තියෙනවා. ඒ ගැන බයිබල් විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “නව ගිවිසුම මුලින් ලියද්දී පරණ ගිවිසුමෙන් උපුටා ගත් සෑම කොටසකම හෝ සමහර කොටස්වල ‘යාහ්වේ’ ලෙස සඳහන් දෙවියන්ගේ නම සංකේතවත් කළ අක්ෂර හතර ඒ විදිහටම ඇතුළත් කළ බවට සාක්ෂි තිබෙනවා.” (The Anchor Bible Dictionary, Volume 6, page 392) තව විස්තර දැනගන්න ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොතේ 2වෙනි කොටසේ “ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ දෙවිගේ නාමය” යටතේ තියෙන තොරතුරු බලන්න.