Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ක්‍රියා 1:8 - “නුඹලා බලය ලබන්නහුය”

ක්‍රියා 1:8 - “නුඹලා බලය ලබන්නහුය”

 “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8, ‘නව ලොව පරිවර්තනය.’

 “ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.”—ක්‍රියා 1:8, ‘පැරණි අනුවාදය.’

ක්‍රියා 1:8 අදහස

 යේසුස් ඔහුගේ ගෝලයන්ට කියනවා එයාලට දෙවිගේ බලය ලැබිලා එයාලා පොළොවේ දුර ඈත කෙළවරවලට ශුභාරංචිය අරගෙන යනවා කියලා.

 “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.” යේසුස් මේ වචනවලින් මතක් කරන්නේ ඔහු ඊට කලින් ගෝලයන්ට දීපු පොරොන්දුවක් ගැන. යේසුස් එයාලට කිව්වා ඔහු ස්වර්ගයට ගියාට පස්සේ එයාලට දෙවිගේ බලය a ලැබෙනවා කියලා. (යොහන් 14:16, 26) කිව්වා වගේම ක්‍රි.ව. 33දී ඒ කියන්නේ යේසුස් ස්වර්ගයට ගිහිල්ලා දවස් දහයකින් ගෝලයන්ට දෙවිගේ බලය ලැබුණා. (ක්‍රියා 2:1-4) ඒ බලය ලැබුණාම එයාලට වෙනත් භාෂාවලින් කතා කරන්න, ආශ්චර්යයන් කරන්න විතරක් නෙවෙයි යේසුස් ගැන නිර්භීතව සාක්ෂි දරන්නත් හැකියාව ලැබුණා.—ක්‍රියා 3:1-8; 4:33; 6:8-10; 14:3, 8-10.

 ‘ඔබ මා ගැන සාක්ෂි දරයි.’ “සාක්ෂි දරනවා” කියලා පරිවර්තනය කරලා තියෙන යෙදුමට “කෙනෙක් තමන් දන්න දේට අනුව යම් දෙයක් ඔප්පු කරනවා” එහෙමත් නැත්නම් “ඒ දේ සහතික කරනවා” කියන අදහස ඇතුළත්. යේසුස්ගේ නියෝජිතයන් යේසුස් මේ පොළොවේදී කරපු සේවේ ගැන, ඔහුගේ මරණය ගැන සහ නැවත නැඟිටීම ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන්. (ක්‍රියා 2:32; 3:15; 5:32; 10:39) එයාලාගේ සාක්ෂිය කොච්චර ප්‍රබලද කියනවා නම් යේසුස් තමයි පොරොන්දු වුණ ගැලවුම්කරු කියලා විශ්වාස කරන්න හුඟදෙනෙක්ට ඒක උදව් වුණා. (ක්‍රියා 2:32-36, 41) නියෝජිතයන් දීපු සාක්ෂිය විශ්වාස කරපු අයත් යේසුස්ගේ අනුගාමිකයන් වුණා. ඊටපස්සේ එයාලත් යේසුස්ගේ ජීවිතය, මරණය සහ නැවත නැඟිටීම ගැන සාක්ෂි දැරුවා.—ක්‍රියා 17:2, 3; 18:5.

 “පොළොවේ දුර ඈත කෙළවරවල.” ඒ යෙදුම “මහ පොළොව පුරාම” නැත්නම් “වෙනත් රටවල්වල” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඇත්තටම යේසුස් මේ කියන්නේ ඔහුගේ ගෝලයන් ශුභාරංචිය කොච්චර ව්‍යාප්ත කරනවාද කියලයි. එයාලා කරන සේවය යුදයට, සමාරියට විතරක් සීමා වෙන්නේ නැහැ. එයාලා යේසුස් සාක්ෂි දැරුවාට වඩා වැඩි ප්‍රදේශවල, යේසුස් සාක්ෂි දැරුවාට වඩා වැඩි පිරිසකට දේශනා කරනවා. (මතෙව් 28:19; යොහන් 14:12) යේසුස් ඒ වචන කියලා අවුරුදු 30ක් යන්නත් කලින් නියෝජිත පාවුල් කිව්වා “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර” යේසුස් ගැන ශුභාරංචිය දේශනා කරලා තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් එයාලා රෝමය, පාර්තියාව සහ උතුරු අප්‍රිකාව වගේ දුර ඈත ප්‍රදේශවලටත් ශුභාරංචිය අරගෙන ගියා.—කොලොස්සි 1:23; ක්‍රියා 2:5, 9-11.

ක්‍රියා 1:8 අවට පද

 ක්‍රියා පොත පටන්ගන්නේ ලූක් පොත නවත්තපු තැනින්. (ලූක් 24:44-49; ක්‍රියා 1:4, 5) මේ පොතේ ලේඛකයා ලූක්. එයා මේ පොතේ මුලින්ම වාර්තා කරන්නේ නැවත නැඟිටපු යේසුස් ගෝලයන් ඉස්සරහා පෙනී හිටපු අවස්ථාව ගැන. (ක්‍රියා 1:1-3) ඊටපස්සේ ක්‍රිස්තියානි සභාව පිහිටවපු විදිහ වගේම ක්‍රි.ව. 33 ඉඳලා ක්‍රි.ව. 61 වෙන කල් ඒක වර්ධනය වුණ විදිහ ගැනත් ලූක් වාර්තා කරලා තියෙනවා.—ක්‍රියා 11:26.

 යේසුස්ගේ ගෝලයන් හිතුවේ එයාලා ජීවත් වෙලා ඉන්න කාලේදීම යේසුස් දේවරාජ්‍යයේ රජ වෙයි කියලා. (ක්‍රියා 1:6) ක්‍රියා 1:8 අවට පද බලද්දී ඒක අපිට පැහැදිලි වෙනවා. හැබැයි යේසුස් එයාලට කිව්වා දේවරාජ්‍යය පිහිටුවන කාලය ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා කියලා. (ක්‍රියා 1:7) ඒ වෙනුවට “පොළොවේ දුර ඈත කෙළවරවල” යේසුස් ගැන සාක්ෂි දරන වැඩේට සම්පූර්ණ අවධානය දෙන්න කියලා ඔහු කිව්වා. (ක්‍රියා 1:8) අදත් ක්‍රිස්තියානීන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කරලා මුල් ක්‍රිස්තියානීන්ව අනුගමනය කරනවා.—මතෙව් 24:14.

 ක්‍රියා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a සමහර බයිබල්වල දෙවිගේ බලය “ශුද්ධාත්මය” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. (උත්පත්ති 1:2) ඒ ගැන වැඩි විස්තර දැනගන්න “ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.