Skip to content

යේසුස්ගේ ජීවිතය ගැන බයිබලයේ ඇති වාර්තා ලිව්වේ කවද්ද?

යේසුස්ගේ ජීවිතය ගැන බයිබලයේ ඇති වාර්තා ලිව්වේ කවද්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස්ගේ ජීවිතය පිළිබඳව තමන් ලියූ දේ ගැන යේසුස්ගේ ගෝලයෙක් වුණ යොහන් මෙහෙම ලිව්වා. “මේ සෑම දෙයක්ම වාර්තා කරන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසිනි. ඔහුගේ සාක්ෂිය සැබෑය. තම සාක්ෂිය සැබෑ බව ඔහුටද විශ්වාසය. එමනිසා ඔබටත් එය විශ්වාස කළ හැකිය.”—යොහන් 19:35.

 මතෙව්, මාක්, ලූක් සහ යොහන් ඔවුන්ගේ පොත් ලිව්වේ, ඔවුන් ලිව්ව සිද්ධීන් ඇසින් දුටු මිනිස්සු ජීවත් වූ කාලයේයි. සමහර දත්තවලට අනුව මතෙව් පොත ක්‍රිස්තු වර්ෂ 41දී විතර ලිව්වා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ යේසුස් මැරිලා අවුරුදු 8කට විතර පස්සේ. සමහර විශාරදයන් කියන්නේ මතෙව් පොත ඊටත් පස්සේ කාලෙක ලියන්න ඇති කියලයි. කොහොමවුණත් පොදුවේ හැමෝම පිළිගන්නවා ග්‍රීක ලියවිලි නැත්නම් අලුත් ගිවිසුම පළවෙනි ශතවර්ෂය අතරතුර ලිව්වා කියන එක.

 යේසුස්ගේ කාලයේ ජීවත් වුණ අය ඔහුගේ මරණය සහ නැවත නැඟිටීම ඇස්වලින්ම දැක්කා. මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත්වල තොරතුරු වැරදි නම් ඒවා දැක්ක අය ඒ ගැන වාර්තා නොකර ඉඳියිද? ඒ ගැන මහාචාර්යය එෆ්. එෆ්. බෲස් මෙහෙම කිව්වා. “එදා හිටිය මිනිස්සු යේසුස් ගැන හොඳින් දැනගෙන හිටියා. යේසුස්ගේ ගෝලයන් ඔවුන්ට ශුභාරංචිය කියද්දී ඒ තොරතුරු යොදාගත්තා. ඒ නිසයි ගෝලයන්ට කියන්න පුළුවන් වුණේ ඒ දේවල් ‘ඔබ සියලුදෙනා හොඳින් දන්නවා’ කියලා (ක්‍රියා 2:22).”