Skip to content

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස්ව ඇණ ගසන්න යොදාගත්ත දේ ගැන බයිබලයේ සවිස්තරාත්මකව සඳහන් වෙලා නැති නිසා ඒකේ හැඩය මොන වගේද කියලා හරියටම කියන්න බැහැ. හැබැයි බයිබලයේ තියෙන තොරතුරු සලකලා බලද්දී යේසුස් මිය ගියේ කෙළින් හිටවපු කණුවක මිස කුරුසයක නෙමෙයි කියලා නම් කියන්න පුළුවන්.

 යේසුස්ව මරන්න යොදාගත්ත දේ ග්‍රීක භාෂාවෙන් විස්තර කරලා තියෙන්නේ “ස්ටාව්රොස්” කියලයි. (මතෙව් 27:40; යොහන් 19:17) හුඟක් බයිබල් පරිවර්තනවල “ස්ටාව්රොස්” කියන වචනය “කුරුසය” කියලා පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි බයිබල් විශාරදයන් කියන්නේ ඒ වචනයේ අර්ථය “කෙළින් හිටවපු කණුවක්” කියලයි. a “ස්ටාව්රොස්” යන වචනයෙන් ලී දෙකක් එකට සම්බන්ධ කරලා තියෙනවා කියන එක නම් කොහොමටවත් අදහස් වෙන්නේ නැහැ කියලා එක පොතකත් සඳහන් වෙනවා.—A Critical Lexicon and Concordance to the English and Greek New Testament.

 “ස්ටාව්රොස්” යන වචනයට සමාන තවත් ග්‍රීක වචනයකුත් බයිබලයේ යොදාගෙන තියෙනවා. ඒ වචනය තමයි “ක්සිලොන්.”  b ඒ වචනයට “ලීයක්,” “පොල්ලක්,” “කණුවක්” හෝ “ගසක්” කියන අර්ථ තියෙනවා.(ක්‍රියා 5:30; 1 පේතෘස් 2:24) අලුත් ගිවිසුමේ කිසිම තැනක කණුවක් හරහා තවත් කණුවක් බැඳ තැබීම අදහස් කරන වචනයක්වත් හොයාගන්න නැහැ කියලා බයිබලයක උපග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා.—The Companion Bible.

නමස්කාරයේදී කුරුසය භාවිත කරන එකට දෙවි පියාණන් කැමතිද?

අපරාධකරුවන්ව ඇණ ගසා මරන්න යොදාගත්ත කණුවට ලතින් භාෂාවෙන් කිව්වේ “කෘක්ස් සිම්ප්ලෙක්ස්” කියලයි

 යේසුස්ව ඇණ ගැසීමට යොදාගත්ත දේට මොන හැඩයක් තිබුණත් ඒක නමස්කාරයේදී භාවිත කරනවාට දෙවි පියාණන් කැමති නැහැ කියලා පහත සඳහන් කරුණු හා බයිබල් පදවලින් තේරුම්ගන්න පුළුවන්.

  1.   කුරුසය, රූප, සුරුවම් හා වෙනත් සංකේත නමස්කාරයේදී යොදාගන්න එක දෙවියන් කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. අතීතයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් පැහැදිලිවම කිව්වා “කොයිම හැඩයකින්වත්” තියෙන දේකට නමස්කාර කරන්න එපා කියලා. ඒ වගේම “රූප වන්දනාවෙන් පලා දුවන්න” කියලත් ක්‍රිස්තියානීන්ට බයිබලයේ කියලා තියෙනවා.—ද්විතීය කතාව 4:15-19; 1 කොරින්ති 10:14.

  2.   පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් කුරුසය භාවිත කළේ නැහැ. c අද ඉන්න ක්‍රිස්තියානීන් යේසුස්ගේ මුල් ගෝලයන් ඉගැන්නුව දේවල් හා ඒ අයගේ වටිනා ආදර්ශය හිතට අරගෙන ජීවත් වෙන්න ඕනේ.—2 තෙසලෝනික 2:15.

  3.   නමස්කාරයේදී මුලින්ම කුරුසය භාවිත කරලා තියෙන්නේ මිථ්‍යා ආගම් අදහපු අයයි. d යේසුස්ගේ මරණයෙන් වසර සිය ගණනකට පස්සේ ක්‍රිස්තියානි සභාව සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වුණා. ඒත් එක්කම අන්‍යාගම් අත්හැර පල්ලියට එකතු වුණ අයට කුරුසය ඇතුළු වෙනත් “ආගමික සංකේත දිගටම භාවිත කිරීමට අවසර ලැබුණා.” (The Expanded Vine’s Expository Dictionary of New Testament Words) ඒ වුණත් අන්‍යාගමිකයන්ව හරවාගැනීමට මිථ්‍යා ආගම්වල භාවිත කළ සංකේත යොදාගැනීම බයිබලයේ කොතැනකවත් අනුමත කරලා නැහැ.—2 කොරින්ති 6:17.

a මේ පොත්ද බලන්න. New Bible Dictionary, තුන්වෙනි සංස්කරණයේ 245වෙනි පිටුව; Theological Dictionary of the New Testament, 7වෙනි වෙළුමේ 572වෙනි පිටුව; The International Standard Bible Encyclopedia, සංශෝධනය කරන ලද 1වෙනි වෙළුමේ 825වෙනි පිටුව; The Imperial Bible-Dictionary, 2වෙනි වෙළුමේ 84වෙනි පිටුව.

b මේ පොත්ද බලන්න. The Expanded Vine’s Expository Dictionary of New Testament Words, 1165වෙනි පිටුව; A Greek-English Lexicon, 9වෙනි සංස්කරණයේ 1191-1192 පිටු; Theological Dictionary of the New Testament, 5වෙනි වෙළුමේ 37වෙනි පිටුව.

c මේ පොත්ද බලන්න. Encyclopædia Britannica, 2003, “Cross” යටතේ බලන්න; The Cross—Its History and Symbolism, 40වෙනි පිටුව; The Companion Bible, 162වෙනි උපග්‍රන්ථයේ 186වෙනි පිටුව.

d මේ පොත්ද බලන්න. The Encyclopedia of Religion, 4වෙනි වෙළුමේ 165වෙනි පිටුව; The Encyclopedia Americana, 8වෙනි වෙළුමේ 246වෙනි පිටුව; Symbols Around Us, 205-207 පිටු.