Skip to content

ස්වාමීන්ගේ යාච්ඤාවේ කියන විදිහටමද අපි යාච්ඤා කරන්න ඕනේ?

ස්වාමීන්ගේ යාච්ඤාවේ කියන විදිහටමද අපි යාච්ඤා කරන්න ඕනේ?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් ස්වාමීන්ගේ යාච්ඤාව ගැන කිව්වේ ‘ස්වාමීනි, යාච්ඤා කරන්නේ කොහොමද කියා උගන්වන්න’ කියලා ගෝලයෝ ඔහුට කිව්වාට පස්සේ. (ලූක් 11:1) හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ යාච්ඤා කරද්දී ඒකේ කිව්ව විදිහටම අකුරක් නෑර කිව්වොත් විතරයි දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ කියලා. a මොකද යේසුස් ස්වාමීන්ගේ යාච්ඤාව ගැන කිව්වේ යාච්ඤා කරන්න ඕනෙ කොහොමද, යාච්ඤා කරන්නේ මොනවා ගැනද කියලා යම් අදහසක් ගන්න විතරයි.

මේ ලිපියෙන්

 ස්වාමීන්ගේ යාච්ඤාවේ තියෙන්නේ මොනවා ගැනද?

 මතෙව් 6:9-13 සඳහන් වෙන ස්වාමීන්ගේ යාච්ඤාව විවිධ බයිබල්වල විවිධ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. මේ උදාහරණ බලන්න.

 ‘නව ලොව පරිවර්තනය’: “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා! දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’”

 ‘පැරණි අනුවාදය’: “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.”

 ඒ යාච්ඤාවෙන් කියන දේවල්වල තේරුම මොකක්ද?

 යේසුස් උගන්වපු දේවල් කවදාවත් බයිබලේ තියෙන අනිත් ඉගැන්වීම් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් උගන්වපු ස්වාමීන්ගේ යාච්ඤාවේ තියෙන දේවල් තේරුම්ගන්නත් බයිබලේ අනිත් පොත් අපිට උදව් වෙයි කියලා කිසිම සැකයක් නැහැ.

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි”

 දෙවියන් තමයි මේ හැම දේම නිර්මාණය කරලා අපිට ජීවිතය දුන්නේ. ඒ නිසා ඔහුව “අපගේ පියාණෙනි” කියලා හඳුන්වන එක කොච්චර සුදුසුද!—යෙසායා 64:8.

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

 යෙහෝවා කියන්නේ දෙවියන්ගේ නමයි. ඒක ගොඩක් ශුද්ධ නමක් නිසා අපි ඒ නමට ගෞරව කරන්න ඕනේ. දෙවියන්ගේ ගුණාංග ගැන, ඔහුගේ අරමුණ ගැන අනිත් අයට කියලා දෙද්දී දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්.—ගීතාවලිය 83:18; යෙසායා 6:3.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

 දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ පිහිටවපු ඇත්තම ආණ්ඩුවක්. ඒකේ රජ තමයි යේසුස්. යේසුස් අපිට ඉගැන්නුවා දේවරාජ්‍යය මේ පොළොවට එන්න කියලා යාච්ඤා කරන්න කියලා.—දානියෙල් 2:44; එළිදරව් 11:15.

“ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”

 ස්වර්ගය කියන්නේ දුෂ්ටකම, මරණය නැති තැනක්. දෙවියන් කැමති මේ පොළොවත් ඒ වගේ තැනක් වෙනවා දකින්න. මිනිස්සු හැමදාම සාමයෙන්, සතුටින්, සුරක්ෂිතව සදහටම මේ පොළොවේ ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනේ.—ගීතාවලිය 37:11, 29.

“දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න.”

 කෑම බීම ඇතුළු ජීවත් වෙන්න ඕන කරන හැම දේම අපිට දීලා තියෙන්නේ දෙවියන් කියලා අපි මතක තියාගන්න ඕනේ.—ක්‍රියා 17:24, 25.

“අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.”

 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා අපිට දෙවියන්ගේ සමාව ඕනේ. හැබැයි දෙවියන් අපිට සමාව දෙන්නේ අපි අනිත් අයගේ වැරදිවලට සමාව දුන්නොත් විතරයි.—මතෙව් 6:14, 15.

“වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.”

 යෙහෝවා දෙවියන් කවදාවත් අපිව වැරදි කරන්න පොලඹවන්නේ නැහැ. (යාකොබ් 1:13) හැබැයි “දුෂ්ටයා” එහෙම නැත්නම් සාතන් කියන යක්ෂයා හැම වෙලේම අපිව වරදට පොලඹවන්න උත්සාහ කරනවා. ඒ නිසයි සාතන්ව “වරදට පොලඹවන්නා” කියලත් බයිබලේ හඳුන්වන්නේ. (1 යොහන් 5:19; මතෙව් 4:1-4) ඉතින් වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී එහෙම නොකර ඉන්න අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලන එක කොච්චර වැදගත්ද!

 ස්වාමීන්ගේ යාච්ඤාව කියලා විතරද දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්?

 යේසුස් ස්වාමීන්ගේ යාච්ඤාව හඳුන්වලා දුන්නේ ආදර්ශ යාච්ඤාවක් විදිහට විතරයි. එහෙම නැතුව වචනෙන් වචනේ ඒකේ තියෙන දේවල් කියලා යාච්ඤා කරන්න කියලා ඔහු කිව්වේ නැහැ. මොකද ස්වාමීන්ගේ යාච්ඤාව ගැන කියන්න කලින් ඔහු මෙහෙම අනතුරු ඇඟෙව්වා. ‘ඔබ යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න.’ (මතෙව් 6:7) යාච්ඤා කරන්න ඕනෙ කොහොමද කියලා වෙනත් අවස්ථාවක ගෝලයන්ට කියද්දී යේසුස් ඒ වචන ඒ විදිහටම පාවිච්චි කළේ නැහැ.—ලූක් 11:2-4.

 දෙවියන් කැමති වචන ටිකකට කොටු වෙනවා වෙනුවට අපි මුළු හදවතින්ම එන දේවල් කියලා ඔහුට කතා කරනවා දකින්නයි.—ගීතාවලිය 62:8.

 අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

 දෙවියන් සතුටු වෙන්නේ අපි කොහොම යාච්ඤා කළොත්ද කියලා තේරුම්ගන්න ස්වාමීන්ගේ යාච්ඤාව අපිට උදව් වෙනවා. යාච්ඤාව ගැන බයිබලේ අනිත් තැන්වල සඳහන් වෙන දේවලින් අපිට ඒක පැහැදිලියි.

  •   දෙවියන්ට විතරක් යාච්ඤා කරන්න

     බයිබල් පදය: “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6.

     තේරුම: ස්වාමීන්ගේ යාච්ඤාව පටන්ගන්නේ “අපගේ පියාණෙනි” කියලා. ඒකෙන් පැහැදිලියි අපි යාච්ඤා කරන්න ඕනෙ දෙවියන්ට මිසක් යේසුස්ටවත්, මරියාටවත්, සාන්තුවරුන්ටවත් නෙවෙයි කියලා.

  •   දෙවියන්ගේ කැමැත්තට එකඟව යාච්ඤා කරන්න

     බයිබල් පදය: “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා.”—1 යොහන් 5:14.

     තේරුම: දෙවියන්ගේ කැමැත්තට එකඟ ඕනම දෙයක් අපිට යාච්ඤාවෙන් ඉල්ලන්න පුළුවන්. ස්වාමීන්ගේ යාච්ඤාවේදී යේසුස් කිව්වා ‘ඔබගේ කැමැත්ත සිදු වේවා!’ කියලා. දෙවියන්ගේ කැමැත්ත ඉටු වෙන එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් පේනවා. බයිබලේ ගැන ඉගෙනගද්දී පොළොව සහ මිනිස්සු ගැන දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න අපිට පුළුවන්.

  •   පෞද්ගලික දේවල් ගැනත් යාච්ඤා කරන්න

     බයිබල් පදය: “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.”—ගීතාවලිය 55:22.

     තේරුම: දෙවියන් අපි ගැන ගොඩක් සැලකිලිමත්. ස්වාමීන්ගේ යාච්ඤාව කියද්දී යේසුත් ඔහුට අවශ්‍ය දේවල් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළා. ඒ නිසා අපිටත් පුළුවන් එදිනෙදා අවශ්‍ය දේවල් ඉල්ලලා, තීරණ ගන්න වෙද්දී හොඳ මඟ පෙන්වීම් ඉල්ලලා, ප්‍රශ්න එද්දී ඒවාට මුහුණ දෙන්න ශක්තිය ඉල්ලලා සහ අපේ වැරදිවලට සමාව ඉල්ලලා ඔහුට යාච්ඤා කරන්න. b

a උදාහරණෙකට යේසුස් සහ ඔහුගේ ගෝලයන් වෙනත් අවස්ථාවල යාච්ඤා කරද්දී සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් ගැනත් යාච්ඤා කළා.—ලූක් 23:34; ෆිලිප්පි 1:9.

b තමන් කරපු වැරදි ගැන සමහරුන්ගේ හිත් කොච්චර වධ දෙනවාද කියනවා නම් සමාව ඉල්ලලා යාච්ඤා කරන්නවත් එයාලට හිත දෙන්නේ නැහැ. හැබැයි දෙවියන් ආදරෙන් එයාලගෙන් ඉල්ලන්නේ “එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු” කියලා. (යෙසායා 1:18) පසුතැවිලි වෙලා මුළු හදවතින්ම සමාව ඉල්ලද්දී දෙවියන් කවදාවත් අහක බලන්නේ නැහැ.