Skip to content

නිරාහාරව ඉන්න එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

නිරාහාරව ඉන්න එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අතීතයේදී ජීවත් වුණ සමහර අය අවංක චේතනාවෙන් නිරාහාරව හිටියා. තවත් සමහරු ඒ දේ කළේ අවංක චේතනාවෙන් නෙමෙයි. අවංක චේතනාවෙන් නිරාහාරව හිටිය අයව දෙවියන් පිළිගත්තත් බොරු මවාපෑම් කරපු අය ගැන දෙවියන් සතුටු වුණේ නැහැ. මේ කාලයේ ඉන්න අය නිරාහාරව ඉන්න ඕනෙ කියලාවත් එපා කියලා වත් බයිබලයේ ආඥාවක් දීලා නැහැ.

බයිබලයේ සඳහන් සමහර අය නිරාහාරව හිටියේ ඇයි?

  •   දෙවියන්ගේ උදව් සහ මඟ පෙන්වීම් ලබාගන්න. එස්රා ජීවත් වුණ කාලෙදී බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට යන්න පිටත් වුණ අය නිරාහාරව හිටියා. එයාලා එහෙම කළේ එයාලාට ඇත්තටම දෙවියන්ගේ උදව්, රැකවරණය සහ මඟ පෙන්වීම් අවශ්‍ය නිසයි. (එස්රා 8:21-23) වැඩිමහල්ලන්ව පත් කරද්දී පාවුල් සහ බානබස් නිරාහාරව ඉඳලා දෙවියන්ට යාච්ඤා කරලා තියෙනවා.—ක්‍රියා 14:23.

  •   දෙවියන්ගේ කැමැත්ත හිතට ගන්න. බව්තීස්මයෙන් පස්සේ යේසුස් පාළුකරයට ගිහින් දවස් 40ක් නිරාහාරව හිටියා. දෙවියන් තමන්ට භාර දුන්න පැවරුම හරියට ඉටු කරන්න යේසුස් ඒ කාලය ඇතුළත සූදානම් වුණා.—ලූක් 4:1, 2.

  •   පව් ගැන අවංකවම පසුතැවෙනවා කියලා පෙන්නන්න. ඊශ්‍රායෙල්වරුන් දෙවියන්ට අකීකරු වුණ අවස්ථාවක දෙවියන් අනාගතවක්තෘ යෝවෙල් මාර්ගයෙන් එයාලාට මෙහෙම කිව්වා. “නිරාහාරව සිට හඬා වැලපෙන්න. මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න.”—යෝවෙල් 2:12-15.

  •   සමඟි වීමේ දවස පවත්වන්න. අවුරුද්දකට වතාවක් පවත්වපු සමඟි වීමේ දවසේදී නිරාහාරව ඉන්න ඕනෙ කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ සඳහන් වුණා. (ලෙවී කතාව 16:29-31, පාදසටහන) තමන්ට පාපය උරුම වෙලා තියෙන නිසා දෙවියන්ගේ සමාව අත්‍යවශ්‍යයි කියන දේ හොඳින් හිතට ගන්න ඒ විදිහට නිරාහාරව ඉද්දී එයාලට පුළුවන් වුණා.

මොන චේතනාවෙන් නිරාහරව ඉන්න එකද වැරදි?

  •   අනිත් අය අතරේ කැපී පෙන්න. නිරාහාරව ඉන්න එක කෙනෙක් පෞද්ගලිකව කරන්න ඕනෙ දෙයක් මිසක් අනිත් අයට පේන්න කරන්න ඕනෙ දෙයක් නෙමෙයි කියලත් ඒක දෙවියන්ට විතරක් පේන්න කරන්න ඕනෙ දෙයක් කියලත් යේසුස් පැහැදිලි කළා.—මතෙව් 6:16-18.

  •   තමන් අනිත් අයට වඩා ධර්මිෂ්ඨයි කියලා පෙන්නන්න. කෙනෙක් නිරාහාරව හිටියා කියලා එයා අනිත් අයට වඩා හොඳයි කියලා හරි අනිත් අයට වඩා එයාට දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියනවා කියලා හරි ඔප්පු වෙන්නේ නැහැ.—ලූක් 18:9-14.

  •   දැනදැනම කරපු පාපයකට දෙවිගෙන් සමාව ගන්න. (යෙසායා 58:3, 4) කෙනෙක් නිරාහාරව ඉන්න එක ගැන දෙවි සතුටු වුණේ ඒ කෙනා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වුණා නම් විතරයි. ඒ වගේම සිද්ධ වුණ වරද ගැන එයා අවංකවම පසුතැවුණා නම් විතරයි.

  •   ආගමික චාරිත්‍රයක් ඉටු කරන්න. (යෙසායා 58:5-7) තාත්තා කෙනෙක් කැමති එයාගේ දරුවන් එයාට හදවතින්ම ආදරේ කරනවාට මිසක් නිකම්ම යුතුකම් ටික ඉටු කරනවාට නෙමෙයි. දෙවියනුත් කැමති මිනිසුන් නිකම්ම චාරිත්‍ර ඉටු කරනවාට නෙමයි. ඒ වෙනුවට හදවතින්ම පෙලඹිලා දෙවියන්ගේ කැමැත්ත කරනවාටයි.

ක්‍රිස්තියානීන් අනිවාර්යයෙන්ම නිරාහාරව ඉන්න ඕනෙද?

 නැහැ. සමඟි වීමේ දවසේදී නිරාහාරව ඉන්න ඕනෙ කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට නීතියක් දීලා තිබුණා. ඒත් වැරදි ගැන අංවංකවම පසුතැවෙන හැමෝම වෙනුවෙන් යේසුස් තමන්ගේ ජීවිතේ පූජා කළාට පස්සේ දෙවියන් ඒ නීතිය අවලංගු කළා. (හෙබ්‍රෙව් 9:24-26; 1 පේතෘස් 3:18) සමඟි වීමේ දවස සම්බන්ධ නීතිය ඇතුළත් වුණේ මෝසෙස් මාර්ගයෙන් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියටයි. ක්‍රිස්තියානීන් ඒ නීතියට යටත් නැහැ. (රෝම 10:4; කොලොස්සි 2:13, 14) ඒ නිසා තමන් නිරාහාරව ඉන්නවද නැද්ද කියන තීරණය ගන්න හැම ක්‍රිස්තියානියෙකුටම නිදහස තියෙනවා.—රෝම 14:1-4.

 දෙවියන්ට නමස්කාර කරද්දී මුල් තැන දෙන්න ඕනෙ නිරාහාරව ඉන්න එකට නෙමෙයි කියලා සැබෑ ක්‍රිස්තියානීන් තේරුම් අරන් තියෙනවා. ජීවිතේ නියම සතුට අද්දකින්න නම් නිරාහාරව ඉන්න ඕනෙ කියලා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිට නමස්කාර කරලා සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ “ප්‍රීතිමත් දෙවියන්” වන යෙහෝවාගේ ලස්සන ගතිලක්ෂණ අනුකරණය කරන අයට විතරයි.—1 තිමෝති 1:11; දේශනාකාරයා 3:12, 13; ගලාති 5:22.

නිරාහාරව ඉන්න එක සම්බන්ධයෙන් බයිබලේ සඳහන් දේවල් ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: බව්තීස්ම වුණාට පස්සේ යේසුස් පාළුකරයේදී දවස් 40ක් නිරාහාරව හිටිය නිසා ඒ දේ සිහිකරන්න ක්‍රිස්තියානීනුත් නිරාහාරව ඉන්න ඕනේ.

 ඇත්ත මේකයි: එහෙම කරන්න ඕනෙ කියලා යේසුස් කවදාවත් ආඥාවක් දුන්නේ නැහැ. ඒ වගේම යේසුස්ගේ මුල් අනුගාමිකයන් ඒ දේ කළා කියලා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නෙත් නැහැ. a

 වැරදි මතය: යේසුස්ගේ මරණය සිහි කරන්න ක්‍රිස්තියානීන් නිරාහාරව ඉන්න ඕනේ.

 ඇත්ත මේකයි: තමන්ගේ මරණය සිහි කරන්න නම් නිරාහාරව ඉන්න ඕනේ කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ නැහැ. (ලූක් 22:14-18) තමන් මිය ගියාට පස්සේ තමන්ගේ ගෝලයන් නිරාහාරව ඉඳියි කියලා කියද්දී යේසුස් අදහස් කළේ එයාලා නිරාහාරව ඉන්න ඕනෙ කියන එක නෙමයි. ඒ වෙනුවට ඔහු කියන්න උත්සාහ කළේ තමන්ගේ මරණයෙන් පස්සේ ගෝලයන් කරන්න යන දේ ගැනයි. (මතෙව් 9:15) යේසුස්ගේ මරණය සිහි කරන දවසේදී කෙනෙක්ට බඩගිනියි නම් එයාට ගෙදරදී කෑම කන්න පුළුවන් කියලා බයිබලේ සඳහන් වෙනවා.—1 කොරින්ති 11:33, 34.

a යේසුස් දවස් 40ක් නිරාහාරව හිටපු එක සිහි කිරීම නැත්නම් චතාරික කාලය ගැන එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “මුල් සියවස් තුනේදී පාස්කු උත්සවයට සූදානම් වෙන කාලය තුළ මිනිසුන් සතියකට වැඩිය නිරාහාරව හිටියේ නැහැ. සාමාන්‍යයෙන් දවසක් නැත්නම් දෙකක් තමයි එයාලා නිරාහාරව හිටියේ . . . ක්‍රිස්තියානීන් දවස් 40ක් නිරාහාව ඉන්න එක ගැන මුලින්ම සඳහන් වුණේ නයිසියා නගරයේ පැවැත්වූ පල්ලි සම්මේලනයේදී නිකුත් කරපු නීති සංග්‍රහයේ පස්වෙනි නීතියේ. ඒත් ඒ නීතියේ චතාරික කාලයේදී නිරාහාරව ඉන්න එක ගැනයි සඳහන් වෙන්නේ කියලා හරියටම කියන්න බැහැ කියලා සමහර විශාරදයන් සැක පළ කරනවා.—New Catholic Encyclopedia. දෙවෙනි සංස්කරණයේ 8වෙනි වෙලුම. 468වන පිටුව.