Skip to content

දෙවියන් මට සමාව දෙයිද?

දෙවියන් මට සමාව දෙයිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. ඔයා කරපු වැරදි සම්බන්ධයෙන් සුදුසු පියවර ගත්තොත් දෙවියන් සමාව දෙයි. මොකද බයිබලයේ කියනවා දෙවියන් “සමාව දීමට කැමති,” ‘මුළු හදින්ම සමාව දෙන’ කෙනෙක් කියලා. (නෙහෙමියා 9:17; ගීතාවලිය 86:5; යෙසායා 55:7) ඔහු අපිට සමාව දෙන්නේ සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ අපේ පව් මකලා දානවා. (ක්‍රියා 3:19) “ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි” කියලා දෙවියන් කියන නිසා ඔහු සමාව දෙන්නේ සදහටමයි. (යෙරෙමියා 31:34) ඔහු සමාව දුන්නාම අපිට චෝදනා කරන්නවත් සැරෙන් සැරේ දඬුවම් කරන්නවත් ඒ පව් මතක් කරන්නේ නැහැ.

 හැබැයි දෙවියන් සමාව දෙන්නේ දුර්වලකමක් නිසා හරි හැඟීම්බර වෙන නිසා හරි නෙමෙයි. ඔහු කවදාවත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා සමහර පාපවලට ඔහු සමාව දෙන්නේ නැහැ.—යොෂුවා 24:19, 20.

දෙවියන්ගෙන් සමාව ගන්න කරන්න ඕන දේවල්

  1.   කරපු වරද නිසා ඔයා දෙවියන්ගේ ප්‍රමිති කැඩුවා කියන එක පිළිගන්න ඕනේ. ඒ වරද නිසා අනිත් අය වේදනාවට පත් වෙලා ඇති. ඒත් ඔයා මුලින්ම තේරුම්ගන්න ඕන ඔයා වරද කෙරුවේ දෙවියන්ට විරුද්ධව කියලා.—ගීතාවලිය 51:1, 4; ක්‍රියා 24:16.

  2.   යාච්ඤා කරලා ඔයාගේ වරද ගැන දෙවියන්ට කියන්න.—ගීතාවලිය 32:5; 1 යොහන් 1:9.

  3.   ඔයා කරපු වරද ගැන අවංකවම දුක් වෙන්න. “දෙවි ඉදිරියේ අවංකවම දුක් වෙනවා නම්” ඒක පසුතැවිලි වෙන්න, ඒ කියන්නේ හිත වෙනස් කරගන්න හේතුවක් වෙනවා. (2 කොරින්ති 7:10) වරද කරන්න කලින් ගත්ත වැරදි පියවර ගැන පසුතැවෙන එකත් ඒකට ඇතුළත්.—මතෙව් 5:27, 28.

  4.   ඔයාගේ ක්‍රියාකලාපය වෙනස් කරගන්න. ඒ කියන්නේ ‘ජීවිතය වෙනස් කරගන්න.’ (ක්‍රියා 3:19) ඒකෙන් අදහස් කරන්නේ වැරදි ක්‍රියාවක් නැවත නැවත කරන එකෙන් හරි නරක පුරුද්දක දිගටම යෙදෙන එකෙන් හරි වළකින්න වෙනවා කියන එකයි. නැත්නම් හිතුව විදිහ, හැසිරුණ විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අලුත්ම පුද්ගලයෙක් වෙන්න සිද්ධ වෙනවා කියන එකයි.—එෆීස 4:23, 24.

  5.   වරද නිවැරදි කරගන්නත් සිද්ධ වුණ දේ හරිගස්සන්නත් පියවර ගන්න. (මතෙව් 5:23, 24; 2 කොරින්ති 7:11) ඔයා කරපු දෙයක් නිසා හරි අතපසු කරපු දෙයක් නිසා හරි වේදනා වින්ද අයගෙන් සමාව ඉල්ලන්නත් තත්වය හොඳ අතට හරවන්නත් වෑයම් කරන්න.—ලූක් 19:7-10.

  6.   යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන සමාව දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. (එෆීස 1:7) ඔයාගේ යාච්ඤාවට උත්තර ලබාගන්න නම් ඔයාට විරුද්ධව පව් කරපු අයට සමාව දෙන්න ඕනේ.—මතෙව් 6:14, 15.

  7.   ඔයා කරලා තියෙන්නේ බරපතළ පාපයක් නම් ඔයාට දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබා දෙන්න සුදුසුකම් තියෙන කෙනෙක්ට ඒ ගැන කියන්න. එතකොට ඒ කෙනා ඔයා වෙනුවෙන් යාච්ඤා කරයි.—යාකොබ් 5:14-16.

දෙවියන්ගෙන් සමාව ලබන එක ගැන තියෙන වැරදි මත

 “මං කරලා තියෙන දේවල හැටියට සමාව ලැබෙයි කියලා හිතන්න බැහැ.”

අනාචාරයේ යෙදුණ, මිනී මැරුමක් කෙරුව දාවිත් රජුට දෙවියන් සමාව දුන්නා

 බයිබලයේ සඳහන් පියවරවල් ගන්නවා නම් දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන්. මොකද අපි කරන වැරදි එක්ක බලද්දී අපිට සමාව දෙන්න දෙවියන්ට තියෙන හැකියාව හුඟක් වැඩියි. උදාහරණෙකට බරපතළ පාපවලට වගේම නැවත නැවත කරන පාපවලට සමාව දෙන්නත් ඔහුට පුළුවන්.—යෙසායා 1:18.

 ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජ අනාචාරයෙත් යෙදුණා, මිනී මැරුමකුත් කෙරුවා. ඒත් දෙවියන් ඔහුට සමාව දුන්නා. (2 සාමුවෙල් 12:7-13) තමන් කරපු වැරදි නිසා ලෝකයේ ඉන්න පව්කාරම කෙනා තමන් කියලා යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල්ට හැඟුණත් දෙවියන් ඔහුට සමාව දුන්නා. (1 තිමෝති 1:15, 16) ගැලවුම්කරු වුණ යේසුස්ව මරන්න හවුල් වුණ පළවෙනි සියවසේ හිටිය යුදෙව්වන් පවා තමන්ගේ ජීවිත වෙනස් කරගත්තා නම් ඔවුන්ට සමාව ලැබෙනවා.—ක්‍රියා 3:15, 19.

 “පූජකයෙක්ට පාපෝච්චාරණය කෙරුවොත් මට පව් සමාව ලැබෙනවා.”

 දෙවියන්ට විරුද්ධව කරන වැරදිවලට සමාව දෙන්න මිනිසුන්ට අද දින අධිකාරියක් දීලා නැහැ. තමන් කරපු පාපයක් ගැන තව කෙනෙක්ට කිව්වාම ඒ වරද හදාගන්න උදව්වක් ලැබුණත් පාපයට සමාව දෙන්න පුළුවන් දෙවියන්ට විතරයි.—එෆීස 4:32; 1 යොහන් 1:7, 9.

 එහෙමනම්, “ඔබ ඕනෑම කෙනෙකුගේ පව්වලට සමාව දුන්නොත් ඔවුන්ට සමාව ලැබෙයි. නමුත් ඔබ යම් කෙනෙකුගේ පව්වලට සමාව නොදුන්නොත් ඔවුන්ට සමාවක් ලැබෙන්නේ නැහැ” කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ ඇයි? (යොහන් 20:23) ඔහු පැහැදිලි කරමින් හිටියේ ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබුණාම ඔවුන්ට ලබා දෙන විශේෂ අධිකාරියක් ගැනයි.—යොහන් 20:22.

 පොරොන්දු වුණ විදිහටම ක්‍රි.ව. 33දී ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබුණා. (ක්‍රියා 2:1-4) අනනියස් සහ සෆීරා සම්බන්ධයෙන් කටයුතු කරද්දී යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පේතෘස් ඒ අධිකාරිය පාවිච්චි කෙරුවා. දෙවියන්ගේ බලයේ උපකාරයෙන් පේතෘස්ට දැනගන්න ලැබුණා ඔවුන් යෙදුව කූට උපක්‍රමය ගැන. ඔහු දුන්න විනිශ්චයෙන් පැහැදිලි වුණේ ඔවුන් කරපු පාපයට සමාව ලැබුණේ නැහැ කියලයි.—ක්‍රියා 5:1-11.

 යේසුස්ගේ ගෝලයන්ට ආශ්චර්යවත් විදිහට ලැබුණ ඒ බලයත්, සුව කිරීමේ හා අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාත් ඔවුන්ගේ මරණය එක්කම නැති වෙලා ගියා. (1 කොරින්ති 13:8-10) ඒ නිසා අද ඉන්න කිසි මිනිසෙක්ට තවත් මිනිසෙක්ගේ පව් සමා කරන්න හැකියාවක් නැහැ.