Skip to content

දානියෙල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

දානියෙල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දානියෙල් කියන්නේ ඉතිහාසයේ ජීවත් වුණ හරිම සුවිශේෂී යුදෙව් අනාගතවක්තෘවරයෙක්. එයා ජීවත් වුණේ යේසුස් මේ පොළොවට එන්න අවුරුදු 600කට විතර කලින්. දෙවියන් එයාට සිහිනවල අර්ථය පැහැදිලි කරන්න හැකියාව දුන්නා. ඒ වගේම දර්ශන මාර්ගයෙන් අනාගතේදී සිද්ධ වෙන දේවල් දැනුම් දුන්නා. ඒ විතරක් නෙවෙයි එයාගෙම නමින් බයිබලේ පොතක් ලියන්නත් දෙවියන් මඟ පෙන්නුවා.—දානියෙල් 1:17; 2:19.

දානියෙල් කියන්නේ කවුද?

 දානියෙල් හැදී වැඩුණේ යූදා දේශයේ. එහේ තමයි යෙරුසලම සහ යුදෙව්වන්ගේ දේවමාලිගාව තිබුණේ. ක්‍රි.පූ. 617 බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යෙරුසලම අත් පත් කරගෙන ඒ “දේශයේ උත්තමයන්ව” වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා. (2 රාජාවලිය 24:15; දානියෙල් 1:1) දානියෙලුත් ඒ අතර හිටියා. ඒ වෙද්දී එයා යෞවන වයසේ ඉන්න ඇති.

 බැබිලෝනියේදී දානියෙල්ට වගේම ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඇතුළු යෞවනයන් කීපදෙනෙක්ට රාජධානියේ ඉහළ නිලතල දරන්න විශේෂ පුහුණුවක් දුන්නා. එහෙදී දෙවියන් පිළිකුල් කරපු දේවල් කරන්න කොච්චර බලපෑම් ආවත් දානියෙලුයි, එයාගේ යාළුවෝ තුන්දෙනායි දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (දානියෙල් 1:3-8) ඒ අවුරුදු තුනක පුහුණුව ඉවර වුණාට පස්සේ නෙබුකද්නෙෂර් රජ එයාලගේ දැනුම සහ දක්ෂතා පරීක්ෂා කළා. රජ තේරුම්ගත්තා එයාලා ‘මුළු රාජධානියේම හිටිය මන්තර ගුරුකම් කරන පූජකයන්ට හා පේන කියන්නන්ට වඩා දහස් ගුණයකින් දක්ෂ අය’ කියලා. ඒ නිසා රජ දානියෙල්වයි, එයාගේ යාළුවෝ තුන්දෙනාවයි රාජධානියේ ඉහළ නිලතල දරන්න පත් කළා.—දානියෙල් 1:18-20.

 ඊට දශක ගාණකට පස්සේ දානියෙල්ව හදිස්සියේම රජමාලිගාවට කැඳෙව්වා. පේන විදිහට ඒ වෙද්දී එයා හිටියේ අවුරුදු 90 ගණන්වල. ඒ කාලේ බැබිලෝනිය පාලනය කළේ බෙල්ෂසර් කියලා රජ කෙනෙක්. එයා දානියෙල්ට කිව්වා ආශ්චර්යවත් විදිහට බිත්තියේ ලියවුණ අකුරු කීපයක අර්ථය පැහැදිලි කරලා දෙන්න කියලා. දෙවියන්ගේ උදව්වෙන් දානියෙල් ඒක පැහැදිලි කළා. දානියෙල් කිව්වා මේදියවරුන් සහ පර්සියානුවන් ඇවිල්ලා බැබිලෝනිය අත් පත් කරගන්නවා කියලා. කිව්ව විදිහට එදා රෑම ඒ දේ සිද්ධ වුණා.—දානියෙල් 5:1, 13-31.

 ඊටපස්සේ බැබිලෝනිය පාලනය කළේ මේද-පර්සියානු අධිරාජ්‍යයෙන්. ඒ වෙද්දී දානියෙල් රජ මාලිගාවේ උසස් නිලයක් දරපු කෙනෙක්. හැබැයි එයාට ඊටත් වඩා උසස් තනතුරක් දෙන්න දාරියුස් රජ තීරණය කරලා තිබුණා. (දානියෙල් 6:1-3) ඒ ගැන ඊර්ෂ්‍යා කරපු අනිත් උසස් නිලධාරීන් කුමන්ත්‍රණයක් කරලා දානියෙල්ව සිංහ ගුහාවට දැම්මා. හැබැයි යෙහෝවා දෙවියන් එයාව බේරගත්තා. (දානියෙල් 6:4-23) දානියෙල්ගේ ජීවිතේ අවසාන කාලේදී දේවදූතයෙක් එයා ළඟට ඇවිල්ලා දෙපාරක්ම කිව්වා “ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” කියලා. (දානියෙල් 10:11, 19) ඒකෙන් යෙහෝවා සහතික කළා ඔහුගේ හිතේ දානියෙල් ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා.

 ඒ සිද්ධීන් වෙන්න ඇත්තේ කොහොමද කියලා දැනගන්න ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල්’ කියන කොටස් දෙකකින් යුත් බයිබල් නාට්‍යය බලන්න.