Skip to content

දසයෙන් කොටස දීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

දසයෙන් කොටස දීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අතීතයේ ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා සැබෑ නමස්කාරයට සම්බන්ධ වැඩකටයුතු වෙනුවෙන් හැම අවුරුද්දකම එයාලට ලැබුණු ආදායමෙන් දසයෙන් කොටසක් ලබා දෙන්න කියලා. a දෙවියන් එයාලට කියලා තිබුණේ මෙහෙමයි. “වර්ෂයක් වර්ෂයක් පාසා ඔබේ කෙත්වතුවලින් නෙළාගන්නා අස්වැන්නෙන් දසයෙන් කොටසක් ඔබ වෙන් කරගත යුතුයි.”—ද්විතීය කතාව 14:22.

 දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්නු නීතියේ තමයි දසයෙන් කොටස දෙන එක සම්බන්ධයෙන් දීපු ආඥාව සඳහන් වෙලා තිබුණේ. ක්‍රිස්තියානීන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය පිළිපදින්න බැඳිලා නැති නිසා දසයෙන් කොටස දෙන්න අවශ්‍ය නැහැ. (කොලොස්සි 2:13, 14) ක්‍රිස්තියානීන් නමස්කාර කටයුතු වෙනුවෙන් සම්මාදම් කරන්න ඕන විදිහ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.”—2 කොරින්ති 9:7.

 දසයෙන් කොටස දීම ගැන “පරණ ගිවිසුමේ” සඳහන් දේ

 හුඟක් අය පරණ ගිවිසුම විදිහට හඳුන්වන බයිබලයේ මුල් කොටසේ දසයෙන් කොටස දීම ගැන කිහිප වතාවක්ම සඳහන් වෙලා තියෙනවා. වැඩි වාර ගණනක් සඳහන් වෙලා තියෙන්නේ මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට නීතිය දුන්නාට පස්සේ දසයෙන් කොටස දීපු අවස්ථා ගැනයි. හැබැයි ඊට කලින් දසයෙන් කොටස දීපු අවස්ථා දෙකක් ගැනත් සඳහන් වෙලා තියෙනවා.

මෝසෙස් මාර්ගයෙන් නීතිය දෙන්න කලින්

 දසයෙන් කොටස දීපු අය අතරින් බයිබලයේ මුලින්ම සඳහන් වෙන්නේ ආබ්‍රම් (ආබ්‍රහම්) ගැනයි. (උත්පත්ති 14:18-20; හෙබ්‍රෙව් 7:4) පේන විදිහට ආබ්‍රම් පූජකයෙක් හැටියටත් කටයුතු කරපු සාලම් නුවරේ රජුට එක අවස්ථාවකදී දසයෙන් කොටසක් දීලා තියෙනවා. ඒ අවස්ථාවෙන් පස්සේ ආබ්‍රහම්වත් එයාගේ දරුවන්වත් දසයෙන් කොටසක් දුන්නා කියලා බයිබලයේ කොහේවත් සඳහන් වෙලා නැහැ.

 දසයෙන් කොටස දීපු අය අතරින් බයිබලයේ දෙවෙනියට සඳහන් වෙන්නේ ආබ්‍රහම්ගේ මුනුපුරෙක් වන යාකොබ් ගැනයි. දෙවියන් තමන්ට ආශීර්වාද කළොත් තමන්ට ලැබෙන “සියල්ලෙන් දසයෙන් කොටසක්” දෙවියන්ට දෙනවා කියලා යාකොබ් පොරොන්දු වුණා. (උත්පත්ති 28:20-22) යාකොබ් ඒ පොරොන්දුව ඉටු කරන්න ඇත්තේ තමන්ගේ සත්ව රැළෙන් දසයෙන් කොටසක් දෙවියන්ට ලබා දීමෙන් වෙන්න ඇති කියලා සමහර බයිබල් විශාරදයන් කියනවා. යාකොබ් ඒ පොරොන්දුව ඉටු කරමින් දසයෙන් කොටස දුන්නත් එයාගේ පවුලේ අයට එහෙම කරන්න කියලා බල කළේ නැහැ.

මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වුණු දේ

 අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා ආගමික කටයුතු වෙනුවෙන් දසයෙන් කොටසක් ලබා දෙන්න කියලා.

  •   මුලින්ම සඳහන් වෙන්නේ ආගමික කටයුතු වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු ලෙවීවරුන් වෙනුවෙන් වෙන් කළ දසයෙන් කොටස ගැනයි. වගා කරන්න ඉඩම් නොතිබුණු පූජකයන් ඇතුළු හැම ලෙවීවරයෙක්ගේම අවශ්‍යතාවන් සපුරගන්න ඒ දසයෙන් කොටස ප්‍රයෝජනවත් වුණා. (ගණන් කතාව 18:20, 21) සෙනඟ පූජකයන් නොවන ලෙවීවරුන්ට දසයෙන් කොටසක් දුන්නාට පස්සේ ඒ ලෙවීවරුන් එයාලට ලැබුණු හොඳම දෙයින් දසයෙන් කොටසක් පූජකයන් වෙනුවෙන් පරිත්‍යාග කළා.—ගණන් කතාව 18:26-29.

  •   පේන විදිහට හැම අවුරුද්දකම තවත් දසයෙන් කොටසක් වෙන් කරන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. (ද්විතීය කතාව 14:22, 23) එහෙම වෙන් කරපු එකෙන් ලෙවීවරුන්ට වගේම ලෙවීවරුන් නොවන අයටත් ප්‍රයෝජන ලැබුණා. ඊශ්‍රායෙල්වරුන් ඒ වෙන් කරගත්ත දසයෙන් කොටස විශේෂ උත්සව අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම සමහර අවුරුදුවලදී හුඟක් දුප්පත් අයට උදව් කරන්නත් එයාලා ඒවා පාවිච්චි කළා.—ද්විතීය කතාව 14:28, 29; 26:12.

 දසයෙන් කොටස ගණන් බැලුවේ කොහොමද? ඊශ්‍රායෙල්වරුන් හැම අවුරුද්දකම තමන්ගේ භූමියේ පලදාවෙන් දසයෙන් කොටසක් වෙන් කළා. (ලෙවී කතාව 27:30) දසයෙන් කොටස දෙද්දී ඒ අය පලදාව වෙනුවට මුදල් දෙන්න තීරණය කළා නම් දසයෙන් කොටසේ වටිනාකමත් ඊට අමතරව ඒ වටිනාකමෙන් සියයට 20කුත් එයාලට දෙන්න සිද්ධ වුණා. (ලෙවී කතාව 27:31) ‘එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙක්ගෙන් එක් කෙනෙක්’ ගාණේ දෙන්න කියලත් එයාලට අණ කරලා තිබුණා.—ලෙවී කතාව 27:32.

 සතුන්ගෙන් දසයෙන් කොටස තෝරගනිද්දී ගාලෙන් එළියට එන හැම දහවෙනි සතාවම ඒ සඳහා වෙන් කරන්න කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. තෝරගත්ත සතුන්ව පරීක්ෂා කර බලන්න එපා කියලත් උන් වෙනුවට වෙන සතුන්ව හරි සල්ලි හරි දෙන්න එපා කියලත් එයාලට කියලා තිබුණා. (ලෙවී කතාව 27:32, 33) හැබැයි විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන් වෙන් කරගත්ත දසයෙන් කොටසට අයිති දේවල් විකුණලා මුදල් කරගන්න එයාලට අවසර තිබුණා. දුර ඈත පළාත්වල ඉඳන් උත්සව සමරන්න ආපු ඊශ්‍රායෙල්වරුන්ට ඒ සැලැස්ම නිසා ලොකු සහනයක් ලැබුණා.—ද්විතීය කතාව 14:25, 26.

 දසයෙන් කොටස ලබා දුන්නේ කොයි අවස්ථාවලදීද? හැම අවුරුද්දකම ඊශ්‍රායෙල්වරුන් දසයෙන් කොටස ලබා දුන්නා. (ද්විතීය කතාව 14:22) හැබැයි හත්වෙනි අවුරුද්දේදී එයාලා එහෙම කළේ නැහැ. මොකද හත්වෙනි අවුරුද්ද සබත් අවුරුද්දක් වුණ නිසා ඒ අවුරුද්දේ විවේක ගන්න කියලත් කිසිම දෙයක් වගා කරන්න එපා කියලත් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. (ලෙවී කතාව 25:4, 5) ඊශ්‍රායෙල්වරුන් දෙවෙනියට වෙන් කරගත්ත දසයෙන් කොටස හැම අවුරුදු තුනකටම සහ හයකටම සැරයක් දුප්පත් අය එක්කත් ලෙවීවරුන් එක්කත් බෙදාගත්තා.—ද්විතීය කතාව 14:28, 29.

 දසයෙන් කොටස දුන්නේ නැති අයට දඬුවමක් නියම කරලා තිබුණාද? නැහැ. ඊශ්‍රායෙල්වරුන් දසයෙන් කොටස දුන්නේ ඒක දෙවියන්ට දෙන්න ඕන දෙයක් කියලා එයාලා තේරුම් අරන් හිටිය නිසා මිසක් ඒක දුන්නේ නැත්නම් දඬුවමක් ලැබෙයි කියලා බය වුණු නිසා නෙවෙයි. දසයෙන් කොටස දුන්නාට පස්සේ දෙවියන්ට ඒ ගැන කියන්න කියලත් දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලන්න කියලත් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. (ද්විතීය කතාව 26:12-15) දසයෙන් කොටස දෙන්නේ නැති එක දෙවියන් සැලකුවේ ඔහුගෙන් යමක් සොරකම් කරනවා හා සමාන දෙයක් හැටියටයි.—මලාකි 3:8, 9.

 දසයෙන් කොටස දෙන එක ලොකු බරක් වුණාද? නැහැ. මොකද ඊශ්‍රායෙල්වරුන් තමන්ගේ මුළු ආදායමෙන් දසයෙන් කොටස දුන්නොත් කියා නිම කළ නොහැකි තරම් ආශීර්වාද ලබා දෙනවා කියලත් කිසිම දෙයකින් හිඟයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලත් දෙවියන් එයාලට පොරොන්දු වෙලා තිබුණා. (මලාකි 3:10) අනිත් අතට ඊශ්‍රායෙල්වරුන් දසයෙන් කොටස දුන්නේ නැති අවස්ථාවලදී ජාතියක් හැටියට එයාලට දුක් විඳින්න සිද්ධ වුණා. එයාලට දෙවියන්ගේ ආශීර්වාදයත් නැති වුණා. ඒ විතරක් නෙවෙයි දෙවියන්ට නමස්කාර කරන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරන එකට අවධානය දෙන්න පූජකවරුන්ට සහ ලෙවීවරුන්ට බැරි වුණා. මොකද එයාලගේ අවශ්‍යතා සපුරගන්න එයාලට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුණා.—නෙහෙමියා 13:10; මලාකි 3:7.

 දසයෙන් කොටස දීම ගැන “අලුත් ගිවිසුමේ” සඳහන් දේ

 යේසුස් මේ පොළොවේ ජීවත් වුණු කාලයේදීත් දසයෙන් කොටස දීමේ සැලැස්ම ක්‍රියාත්මක වුණා. හැබැයි යේසුස් මැරුණාට පස්සේ ඒ සැලැස්ම අහෝසි වුණා.

යේසුස් පොළොවේ ජීවත් වුණු කාලයේදී

 හුඟක් අය අලුත් ගිවිසුම විදිහට හඳුන්වන බයිබලයේ දෙවෙනි කොටසේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා යේසුස් පොළොවේ ජීවත් වුණු කාලයේදීත් ඊශ්‍රායෙල්වරුන් දිගටම දසයෙන් කොටස දීලා තියෙනවා කියලා. ඊශ්‍රායෙල්වරුන් දසයෙන් කොටස ගෙවන්න ඕනෙ කියලා යේසුස් කිව්වත් ඒ සම්බන්ධයෙන් අන්තයටම ගිය ආගමික නායකයින්ව ඔහු හෙළාදැක්කා. මොකද යේසුස් දැනගෙන හිටියා ඒ අය සුළු සුළු කාරණාවලට අවධානය දුන්නත් “යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා” ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ කියලා.—මතෙව් 23:23.

යේසුස් මිය ගියාට පස්සේ

 යේසුස් මැරුණාට පස්සේ දසයෙන් කොටස දෙන එක තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. මොකද යේසුස්ගේ ජීවිත පූජාවෙන් දසයෙන් කොටස දීම පිළිබඳ නීතිය ඇතුළුව මෝසෙස්ගේ නීතිය අහෝසි වුණා. ඒ කියන්නේ අවලංගු වුණා.—හෙබ්‍රෙව් 7:5, 18; එෆීස 2:13-15; කොලොස්සි 2:13, 14.

a දසයෙන් කොටස දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ “කෙනෙක්ට ලැබෙන ආදායමෙන් දසයෙන් කොටසක් යම් විශේෂිත අරමුණක් වෙනුවෙන් පරිත්‍යාග කරන එකයි. බයිබලයේ සඳහන් වෙන දසයෙන් කොටස වෙන් කළේ ආගමික කටයුතු වෙනුවෙනුයි.”—Harper’s Bible Dictionary, page 765.