Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

ළමා වියෙන් යොවුන් වියට යන දරුවා

ළමා වියෙන් යොවුන් වියට යන දරුවා

ප්‍රශ්නය

ඔයාගේ දරුවා ඉපදුණ දවස ඔයාට අද වගේ මතක ඇති. ඒත් දැන් එයා පුංචි ළමයෙක් නෙමෙයි. ළමා විය අතහැරලා යොවුන් වියට පා නඟන්න එයා දැන් ලෑස්තියි.

වැඩි වියට පත්වෙද්දී ඇති වෙන කායික හා මානසික වෙනස්කම් නිසා ඔයාගේ දුවට, පුතාට ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒකට සාර්ථකව මුහුණ දෙන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

දැනගන්න ඕන දේ

වැඩි වියට පැමිණෙන වයස. සමහර දරුවන් අවුරුදු 8දී වැඩි වියට පත් වුණත් තවත් අය එහෙම වෙන්නේ අවුරුදු 15ක් 16ක් වුණාමයි. එක පොතක ඒ ගැන කියන්නේ “වැඩි වියට පත් වෙන වයස හරියටම කියන්න බැහැ” කියලයි.—Letting Go With Love and Confidence.

පෙනුම ගැන හිතන කාලයක්. මේ කාලෙදී දරුවන් එයාලගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත්. ජැරඩ් * ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මගේ පෙනුම ගැනයි හැසිරෙන විදිහ ගැනයි මං ඕනෑවට වඩා හිතුවා. අනිත් අය මාව අමුතු කෙනෙක් විදිහට දකියිද කියලත් මට හිතුණා.” ඒ වයසෙදි කුරුලෑ ආවම කෙනෙක් තවත් මානසිකව වැටෙනවා. ඒ ගැන කෙලී මෙහෙම කිව්වා. “මගේ මූණ කුරුලෑවලින් පිරුණා. මං කොච්චර කැතද කියලා හිතලා මං හුඟක් අඬලා තියෙනවා.”

අඩු වයසින් වැඩි වියට පත් වීම අභියෝගයක්. මේක ගොඩක් බලපාන්නේ ගැහැනු ළමයින්ට. මොකද අනිත් ගැහැනු ළමයින්ට කලින් එයාලාගේ පියයුරු සහ උකුල වර්ධනය වෙන නිසා අනිත් අය එයාලට විහිළු කරන්න පුළුවන්. එක පොතක සඳහන් වුණේ “ලිංගික සම්බන්ධකම් පවත්වන්න කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයිගේ අවධානයටත් එයාලව ලක් වෙන්න පුළුවන්” කියලයි.—A Parent’s Guide to the Teen Years.

තාම වැඩිහිටියෙක් නෙමෙයි. “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත” කියලා බයිබලයේ හිතෝපදේශ 22:15 කියනවා. දරුවෙක් වැඩි වියට පත් වුණා කියලා ඒ දේ වෙනස් වෙන්නේ නැහැ. මොකද වැඩි වියට පත් වුණාට “වැඩිහිටියෙක් වගේ හිතලා බලලා තීරණ ගන්න, වගකීමෙන් වැඩ කරන්න සහ තමාවම පාලනය කරගන්න ඒ දරුවා තාම දන්නේ නැහැ” කියලා පොතක සඳහන් වෙනවා.—You and Your Adolescent.

කරන්න පුළුවන් දේ

කලින්ම කියලා දෙන්න. ඔයාගේ දුව වැඩි වියට පත් වෙන්න කලින් ඔසප් වීම වෙන විදිහ හා ඇයි එහෙම වෙන්නේ කියලා එයාට කියන්න. ඒ වගේම මුල් වතාවට රාත්‍රියේදී ශුක්‍රාණු පිට වීමක් සිදු වෙන්න කලින් ඔයාගේ පුතාට ඒ ගැන කියලා දෙන්න. මොකද මේ දේවල් වෙන්නේ එකපාරටම නිසා දරුවන් කලබල වෙන්න, බය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන කතා කරද්දී දරුවන්ව බය නොකර ඒ වෙනස හොඳ දෙයක් කියලා එයාලට කියන්න. වැඩිහිටියෙක් වෙන්න එයාගේ ශරීරය හැඩ ගැහෙන්නේ මේ කාලයේදීයි කියලා එයාලට තේරුම් කරලා දෙන්න.—බයිබල් ප්‍රතිපත්තිය: ගීතාවලිය 139:14

හැම දෙයක්ම කියලා දෙන්න. ජෝන් මෙහෙම කියනවා. “වැඩි වියට පත් වෙන එක ගැන අම්මලා මාත් එක්ක කතා කරපු වෙලාවේ හංගන්නේ නැතුව හැම දෙයක්ම කිව්වා නම් හොඳයි කියලා මට හිතුණා.” ආලානාට හැඟුණෙත් ඒ වගේ දෙයක්. “මගේ ඇඟේ වෙන වෙනස්කම් ගැන තේරුම්ගන්න අම්මා මට උදව් කළා. ඒත් මගේ හැඟීම් වෙනස් වෙද්දී ඒකට මුහුණ දෙන්නත් අම්මා මට උදව් කළා නම් කොච්චර හොඳයිද කියලා මට හිතුණා.” දරුවන් එක්ක මේ ගැන කතා කරන එක අමාරු වුණත් හංගන්නේ නැතුව හැම දෙයක්ම කියලා දෙන එක වටිනවා.—බයිබල් ප්‍රතිපත්තිය: ක්‍රියා 20:20.

හිතේ තියෙන දේ කියන්න පෙලඹෙන ප්‍රශ්න අහන්න. මේ වගේ විෂයක් ගැන දෙමාපියන් එක්ක කතා කරන්න දරුවන් අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කෙළින්ම අහනවා වෙනුවට මේ වගේ දෙයක් කරන්න. ඔයාට ඉන්නේ දුවෙක් නම්, “ලොකු ළමයෙක් වෙන එක ගැන ඔයාගේ යාළුවෝ කතා කරනවාද? ලොකු ළමයෙක් වුණු අයට අනිත් අය විහිළු කරනවාද” කියලා එයාගෙන් අහන්න. පුතෙක් නම් “තාම රැවුලවත් ඇවිල්ලා නෑ” කියලා යාළුවෝ අනිත් අයට විහිළු කරනවාද කියලා අහන්න. අනිත් අය මේ තත්වෙට මුහුණ දෙන විදිහ ගැන අහද්දී තමන්ට හැඟෙන විදිහ ගැනත් බය නැතුව කතා කරන්න දරුවන් පෙලඹෙයි. එයාලා ඒ ගැන කියද්දී බයිබලයේ තියෙන මේ උපදෙස අදාළ කරගන්න. ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න.’—යාකොබ් 1:19.

‘ප්‍රඥාව හා සිතීමේ හැකියාව’ දියුණු කරගන්න උදව් කරන්න. (හිතෝපදේශ 3:21) දරුවෙක් වැඩි වියට පත් වෙන වයසෙදී එයාගේ තීරණ ගැනීමේ හැකියාවත් වර්ධනය වෙන්න පටන්ගන්නවා. ඒ නිසා මේ කාලයේදී හොඳ සාරධර්ම දරුවාට උගන්වන්න. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් හොඳට හිතලා බලලා තීරණ ගන්න දරුවාට ඒක උදව් වෙයි.—බයිබල් ප්‍රතිපත්තිය: හෙබ්‍රෙව් 5:14.

උත්සාහය අත්හරින්න එපා. හුඟක් දරුවන් වැඩි වියට පත් වෙන එක ගැන කතා කරන්න අදිමදි කරනවා. ඒත් එක පොතක කියන්නේ වැඩි වියට පත් වීම ගැන කතා කරන්න “දරුවන් එච්චර කැමති නැහැ, උනන්දු නැහැ කියලා පෙන්නුවත් ඇත්තටම ඒ දේවල් ගැන දැනගන්න එයාලට තියෙන්නේ ලොකු ආසාවක්” කියලයි.—You and Your Adolescent.

^ 8 ඡේ. නම් වෙනස් කර ඇත.