Skip to content

වෙන ජාතියකට අයිති කෙනෙකුව විවාහ කරගැනීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

වෙන ජාතියකට අයිති කෙනෙකුව විවාහ කරගැනීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යෙහෝවා දෙවියන් හැම ජාතියකටම අයිති අයට එක සමානව සලකන නිසා වෙනත් ජාතියක කෙනෙකුව විවාහ කරගැනීම හෙළාදකින්නේ නැහැ. “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් . . . දෙවි ඔහුව පිළිගන්නවා” කියලයි බයිබලයේ කියන්නේ.—ක්‍රියා 10:34, 35.

 බයිබලයේ ඒ ගැන තවදුරටත් කියන දේ බලන්න.

ආරම්භය එක තැනකින්

 මිනිසුන් පොළොව පුරා ව්‍යාප්ත වුණේ පළමු මිනිසා හා ස්ත්‍රිය වන ආදම් සහ ඒවගෙන්. “ජීවත් වන සියලුදෙනාගේම මව” කියලා බයිබලේ ඒවව හඳුන්වන්නේ ඒ නිසයි. (උත්පත්ති 3:20) දෙවි “එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා.” (ක්‍රියා 17:26) ඒ නිසා අපි මොන ජාතියට අයිති වුණත් අපි හැමෝම එක පවුලක සාමාජිකයන්. නමුත් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ අය ජාති භේද හෝ කුල භේද බලනවා නම් ඔයා මොකද කරන්නේ?

විවාහ වෙන කෙනා එක්ක කතා කරන්න

 වෙනත් ජාතියක කෙනෙක් විවාහ වෙන එක දෙවියන් හෙළාදකින්නේ නැති වුණත් සමහර අය ඒ වගේ විවාහයන්ට කැමති නැහැ. (යෙසායා 55:8, 9) වෙනත් ජාතියක කෙනෙක් එක්ක විවාහ වෙන්න ඔයා අදහස් කරනවා නම් ඒ තැනැත්තා එක්ක පහත සඳහන් දේවල් ගැන කතා කරන්න.

  •   වටපිටාවේ ජීවත් වෙන අයගෙන් සහ පවුලේ අයගෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද?

  •   සමාජයෙන් එන්න පුළුවන් කරදරවලට මුහුණ දෙන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

 මේ විදිහට දෙන්නා ‘එකිනෙකාගේ අදහස්’ දැනගනිද්දී විවාහ ජීවිතයේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්.—හිතෝපදේශ 13:10; 21:5.