Skip to content

මිකායෙල් කියන්නේ කාටද?

මිකායෙල් කියන්නේ කාටද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 සමහර ආගම්වල මිකායෙල්ව “ශාන්ත මිකායෙල්” කියලත් හඳුන්වනවා. බයිබලයේ කියන විදිහට මිකායෙල් කියෙන්නේ යේසුස්ට. මේ පොළොවට එන්න කලින් වගේම මේ පොළොවෙන් ගියාට පස්සේ ඔහුව ස්වර්ගයේදී හැඳින්නුවේ ඒ නමින්. a මෝසෙස්ගේ මරණයෙන් පස්සේ සාතන් සහ මිකායෙල් අතර ඇති වුණු මතභේදයක් ගැනත් දෙවියන්ගේ පණිවිඩය අනාගතවක්තෘ දානියෙල්ට ගෙනියන්න මිකායෙල් දේවදූතයෙක්ට උදව් කරපු හැටිත් බයිබලයේ කියනවා. (දානියෙල් 10:13, 21; යූද් 9) මිකායෙල් කියන නමේ තේරුම “දෙවිට සමාන කවුද” කියන එකයි. ඒ නම ඔහුට හොඳින්ම ගැළපෙනවා. මොකද දෙවියන්ගේ පාලනය යුක්තිසහගතයි කියලා තහවුරු කරන්න වගේම දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔහු පියවර ගන්නවා.—දානියෙල් 12:1; එළිදරව් 12:7.

 ඒ වුණත් මිකායෙල් කියන්නේ යේසුස්ටමයි කියලා හරියටම කියන්න පුළුවන් කොහොමද? මේ කරුණු ගැන හිතලා බලන්න.

  •   අග්‍රදේවදූතයා. (යූද් 9) අග්‍රදේවදූතයා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ ‘දේවදූතයන්ගේ ප්‍රධානියා’ කියන එකයි. අග්‍රදේවදූතයා කියන වචනය බයිබලයේ සඳහන් වෙන්නේ තැන් දෙකක විතරයි. ඒ තැන් දෙකේදිම ඒ වචනය ඒක වචන ස්වරූපයෙනුයි තියෙන්නේ. ඒකෙන් තේරෙනවා ඉන්නේ එක අග්‍රදේවදූතයෙක් විතරයි කියලා. ඒ දෙකෙන් එක පදයක නැවත නැඟිටිලා ස්වර්ගයට ගිය යේසුස් ගැන මෙහෙම සඳහන් වෙනවා. “අග්‍රදේවදූතයා වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි.” (1 තෙසලෝනික 4:16) ඒකෙන් පැහැදිලි වෙන්නේ අග්‍රදේවදූතයා වන මිකායෙල් කියන්නේ යේසුස් කියලයි.

  •   මිකායෙල් දේවදූත සේනාවන්ට අණ දෙනවා. “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට [සාතන්ට] විරුද්ධව යුද්ධ කළෝය.” (එළිදරව් 12:7) බයිබලයේ මිකායෙල්ව ‘අධිපතීන්ගේ ප්‍රධානියා’ විදිහටත් “ශ්‍රේෂ්ඨ අධිපතියා” විදිහටත් හඳුන්වනවා. (දානියෙල් 10:13, 21; 12:1) ඒකෙන් පේන්නේ මිකායෙල්ට මොන තරම් බලයක් තියෙනවාද කියලයි. ග්‍රීක ලියවිල්ල ගැන හදාරන එක විශාරදයෙක් කියපු විදිහට ඒ වගේ යෙදුම්වලින් මිකායෙල්ව හඳුන්වන එකෙන් තේරෙනවා “එයා තමයි දේවදූත සේනාංකවල සෙන්පති” කියලා.

     දේවදූත සේනාවලට අණ දෙන්න බලය තියෙන තවත් කෙනෙක් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ස්වාමීන් වන යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ . . . ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.” (2 තෙසලෝනික 1:7, 8; මතෙව් 16:27) යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ “දේවදූතයන්වද බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි” කියලත් බයිබලයේ කියනවා. (1 පේතෘස් 3:21, 22) මිකායෙල් කියන්නෙත් දේවදූත සේනාංකවලට අණ දෙන ප්‍රධානියෙක් නම්, යේසුස් කියන්නෙත් දේවදූත සේනාංකවලට අණ දෙන ප්‍රධානියෙක් නම් ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවියන් දේවදූතයන්ට අණ දෙන්න දෙන්නෙක්ව පත් කළා කියන එකද? එක සේනාවකට අණ දෙන්න ප්‍රධානීන් දෙන්නෙක්ව යෙහෝවා දෙවි පත් කරයි කියලා හිතන්න බැහැ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් සහ මිකායෙල් කියන්නේ එක් කෙනෙක් කියලයි.

  •   ‘විපත්ති සහිත කාලයකදී’ මිකායෙල් ‘නැඟී සිටිනවා.’ (දානියෙල් 12:1) දානියෙල් පොතේ පැහැදිලි කරන විදිහට ‘නැඟී සිටිනවා’ කියද්දී රජ කෙනෙක් යම් වැදගත් පියවරක් ගන්න එක අදහස් වෙනවා. (දානියෙල් 11:2-4, 21) “දෙවිගේ ‘වචනය’” විදිහටත් “රජවරුන්ගේ රජු” විදිහටත් යේසුස් දෙවියන්ගේ සතුරන්ව විනාශ කරලා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව ආරක්ෂා කරන්න පියවර ගන්නවා. (එළිදරව් 19:11-16) යේසුස් ඒක කරන්නේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාව” සිදුවන කාලය අතරතුරේදියි.—මතෙව් 24:21, 42.

a බයිබලයේ සමහර අයව විවිධ නම්වලින් හඳුන්වලා තියෙනවා. උදාහරණයකට යාකොබ්ව ඊශ්‍රායෙල් විදිහටත් පේතෘස්ව සීමොන් විදිහටත් තදියස්ව යූදස් විදිහටත් හඳුන්වලා තියෙනවා.—උත්පත්ති 49:1, 2; මතෙව් 10:2, 3; මාක් 3:18; ක්‍රියා 1:13.