Skip to content

පටුනට යන්න

අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්

අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්

 අතීතයේ මුද්‍රාවන් හදලා තිබුණේ මැටි නැත්නම් ඉටි පෘෂ්ඨයක් මත යම් දෙයක් කොටන අරමුණින්. ප්‍රමාණයෙන් කුඩා අච්චු වුණු ඒවා විවිධ හැඩයන්වලින් නිර්මාණය කරලා තිබුණා. උදාහරණෙකට සමහර මුද්‍රාවන් කේතුවක, කොටුවක, සිලින්ඩරයක, සතුන්ගේ ඔළුවක හැඩයටයි හදලා තිබුණේ. අතීතයේදී මුද්‍රා භාවිත වුණු විවිධ අවස්ථා තිබිලා තියෙනවා. උදාහරණෙකට ලියවිල්ලක අයිතිය තහවුරු කරන්න එහෙමත් නැත්නම් ඒක අව්‍යාජ එකක් කියලා තහවුරු කරන්න ඒක මුද්‍රා කළා. මල්ලක තිබුණු දේවල් ආරක්ෂා කරගන්නත් ඒක මුද්‍රා කළා. ඒ වගේම දොරකින් ඇතුල් වෙන එක නැත්නම් සොහොන් ගෙයකට ඇතුල් වෙන එක වළක්වන්නත් ඒවා මුද්‍රා කළා.

පර්සියානු පාලකයෙක් වුණු 1වෙනි දාරියුස් දඩයම් කරන ආකාරය පෙන්වන සිලින්ඩරාකාර මුද්‍රාවක් සහ එය මැටි මත කොටා තියෙන අයුරු

 අතීතයේදී මුද්‍රා සකස් කරලා තිබුණේ ඇටකටු, හුණුගල්, ලෝහ, අඩු වටිනාකමක් තියෙන මැණික් ගල් සහ ලී වගේ දේවල් යොදාගෙනයි. සමහර අවස්ථාවලදී අයිතිකරුගේ නම සහ ඒ කෙනාගේ පියාගේ නම මුද්‍රාවේ කොටලා තිබුණා. සමහර මුද්‍රාවල අයිතිකරුට තියෙන තනතුරත් කොටලා තිබුණා.

 යම් ලියවිල්ලක් අව්‍යාජ එකක් කියලා තහවුරු කරන්න අයිතිකරු ඒ ලියවිල්ල මත මැටි, ඉටි නැත්නම් වෙනත් මෘදු ද්‍රව්‍යයක් දාලා ඒ මත මුද්‍රාව තියලා ඒක මුද්‍රා කළා. (යෝබ් 38:14) ටික වෙලාවක් ගියාම ඒ ද්‍රව්‍යය වේළෙන නිසා ලියවිල්ල ආරක්ෂා වුණා. ලියවිල්ල ඒ විදිහට ආරක්ෂා කළේ ඒක ඇරලා ලියවිල්ලේ කරුණු වෙනස් කරන එක නැත්නම් අයුතු විදිහට ඒ තොරතුරු යොදාගන්න එක වළක්වගන්නයි.

බලතල පවරන්නත් මුද්‍රාවන් භාවිත කරලා තියෙනවා

 කෙනෙක් තමන් සතු බලතල තව කෙනෙක්ට පවරන්න ඕන වුණාම තමන්ගේ මුද්‍රාව ඒ කෙනාට භාර දුන්නා. උදාහරණයකට අතීතයේදී ඊජිප්තුවේ පාරාවෝ සහ හෙබ්‍රෙව් ජාතියට අයිති කෙනෙක් වුණු යාකොබ්ගේ පුත් යෝසෙප් අතර වුණු සිද්ධියක් බලන්න. යෝසෙප් ඊජිප්තුවේ හිටියේ වහලෙක් විදිහට. හැබැයි කිසිම සාධාරණ හේතුවක් නැතුව එයාව හිරේ දැම්මා. කාලයක් ගියාට පස්සේ පාරාවෝ එයාව නිදහස් කරලා රටේ අගමැති තනතුර එයාට භාර දුන්නා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘පාරාවෝ ඔහුගේ මුද්ද [මුද්‍රා තබන මුද්ද] ගලවා යෝසෙප්ගේ ඇඟිල්ලේ දැමුවේය. අගනා ලිනන් රෙදිවලින් මහන ලද ඇඳුමක් ඔහුට අන්දවා රන් මාලයක්ද පැළඳුවේය.’ (උත්පත්ති 41:42, පාදසටහන) ඒ මුද්ද ලැබුණු නිසා තමන්ට පැවරුණු කාර්යය ඉටු කරන්න යෝසෙප්ට අවශ්‍ය බලතල ලැබුණා.

 අතීතයේ ඊශ්‍රායෙලයේ ජීවත් වුණු යෙසබෙල් රැජින නාබොත් කියන පුද්ගලයාව මරා දමන්න තම ස්වාමිපුරුෂයා වුණු ආහබ් රජුගේ මුද්‍රාව යොදාගත්තා. කිසිම වරදක් නොකරපු නාබොත් දෙවියන්ට ශාප කළා කියන බොරු චෝදනාව පිට මරලා දාන්න කියලා ආහබ්ගේ නමින් ලියුම් ලියලා ඒවා එයා වැඩිමහල්ලන් කීපදෙනෙක්ට යැව්වා. ඒ ලියුම් රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරපු නිසා එයාගේ දුෂ්ට උපාය සාර්ථක වුණා.—1 රාජාවලිය 21:5-14.

 පර්සියානු රජෙක් වුණු අහෂ්වේරොෂ් තමන් පනවපු නියෝග ස්ථිර කරන්න තම මුද්‍රාව යොදාගෙන තියෙනවා.—එස්තර් 3:10, 12.

 බයිබල් ලේඛකයෙක් වුණු නෙහෙමියා වාර්තා කරලා තියෙනවා ඊශ්‍රායෙලයේ අධිපතීන්, පූජකයන් සහ ලෙවීවරුන් යම් ලිඛිත ගිවිසුමකට එකඟත්වය පල කරන්න තමන්ගේ මුද්‍රාවන් යොදාගත්තා කියලා.—නෙහෙමියා 1:1; 9:38.

 යම් ස්ථානයකට ඇතුල් වෙන එක සහ පිටතට එන එක වළක්වන්න මුද්‍රාවන් යොදාගත්ත අවස්ථා දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එක අවස්ථාවක් තමයි අනාගතවක්තෘවරයෙක් වුණු දානියෙල්ව සිංහ ගුහාවකට දාපු අවස්ථාව. බයිබලයේ ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. “ඔවුහු ගුහාවේ කට විශාල ගලකින් වසා රජුගේ [මේද පර්සියාවේ රජ වුණු දාරියුස්ගේ] මුද්දෙන් හා උසස් නිලධාරීන්ගේ මුදුවලින් එම ගලට මුද්‍රාවක් තැබුවෝය. ඔවුන් එසේ කළේ දානියෙල් සම්බන්ධයෙන් ගත් ඒ තීරණය වෙනස් නොකරන පිණිසය.”—දානියෙල් 6:17.

 අනිත් අවස්ථාව තමයි යේසුස් ක්‍රිස්තුස්ගේ ශරීරය සොහොන් ගෙයක තැන්පත් කරපු අවස්ථාව. බයිබලයේ සඳහන් වෙනවා යේසුස්ගේ සතුරන් “ගල මුද්‍රා කර, මුරකරුවන් ලවා සොහොන් ගෙය මුර කිරීමට පියවර” ගත්තා කියලා. (මතෙව් 27:66) ඒ ගල මුද්‍රා කරන්න භාවිත කළ මුද්‍රාව රෝම ආණ්ඩුවේ නිලමුද්‍රාව වුණා නම් “සොහොන් ගෙයි දොරකඩත් එය වසා දැමූ ගලත් අතරට මැටි හෝ ඉටි තවරලා ඒ මත මුද්‍රාව තබන්න ඇති” කියලා මතෙව් පොත ගැන අදහස් දක්වපු බයිබල් විශාරදයෙක් වන ඩේවිඩ් ටර්නර් කියලා තියෙනවා.

 අතීතයේ භාවිත වුණු මුද්‍රාවන් ගැන දැනගන්න ලැබෙන තොරතුරුවලින් අතීතය ගැන හුඟක් වැදගත් තොරතුරු දැනගන්න පුළුවන් නිසා පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ඒ තොරතුරු ගැන හොයලා බලන එකට මොන තරම් වැදගත්කමක් හිමි වෙලා තියෙනවාද කිව්වොත් මෑත කාලයේදී ඒක වෙනමම විෂයක් විදිහට හදාරන්නත් පටන් අරන් තියෙනවා.