Skip to content

පටුනට යන්න

කාන්තාවන්ගේ ආරක්ෂාව - ඒ ගැන බයිබලයේ කියන දේ

කාන්තාවන්ගේ ආරක්ෂාව - ඒ ගැන බයිබලයේ කියන දේ

 කාන්තා හිංසනය ලෝකේ අස්සක් මුල්ලක් නෑර තියෙන ප්‍රශ්නයක්. ඔයාත් ඒකෙන් බැට කන කෙනෙක්ද? ඇත්තටම ඔයාගේ ආරක්ෂාව ගැන දෙවියන් ගොඩක් හිතනවා. එහෙම කියන්නේ ඇයි? ඒ වගේම කාන්තා හිංසනය නවත්තන්න ඔහු පියවර ගන්නවා. ඒ කොහොමද?

 “මං පොඩි කාලේ මගේ අයියා හැමදාම මට හොඳටම ගැහුවා. හරිම නරක විදිහට බැන්නා. මං බැන්දාට පස්සේ මගේ නැන්දම්මා කළෙත් ඒකමයි. එයායි, මාමණ්ඩියි මට සැලකුවේ හරියට වහලියකට වගේ. මට ජීවිතේ නැති කරගන්න හිතුණ වාර අනන්තයි.”—මදූ, a ඉන්දියාව.

 “කාන්තා හිංසනය නැති තැනක් ලෝකේ හොයාගන්න බැරි තරම්” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. හැම කාන්තාවන් තුන්දෙනෙක්ගෙන් එක් කෙනෙක්ම ජීවිතේ එක වතාවක් හරි හිංසනයට ලක් වෙනවා. ඒක සමහරවිට පහර දීමක් නැත්නම් ලිංගික හිංසනයක් වෙන්න පුළුවන්.

 ඔයාටත් එහෙම දෙයක් වෙලා තියෙනවාද? එහෙමනම් ඔයා යනයන තැන කවුරු හරි කෙනෙක් ඔයාට අතවරයක් කරයි, බනියි නැත්නම් පහර දෙයි කියලා ඔයාට බයක් දැනෙනවා ඇති. ගොඩක් අය කාන්තාවන්ව සලකන්නේ ‘කිසි වැඩකට නැති අය විදිහට’ කියලත් ඔයා හිතනවා ඇති. දෙවියන් හිතන්නෙත් එහෙමද?

කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන දෙවියන් ගොඩක් හිතනවා කියලා බයිබලයේ පෙන්නනවා.

දෙවියන් කාන්තාවන් ගැන හිතන්නේ කොහොමද?

 බයිබල් පදය: ‘දෙවි පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.’—උත්පත්ති 1:27.

 තේරුම: පුරුෂයන්ව වගේම ස්ත්‍රීන්වත් හැදුවේ දෙවියන්. ඉතින් අපි ඒ දෙගොල්ලන්ටම ගෞරව කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහු පුරුෂයන්ට කියන්නේ ‘තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවට ප්‍රේම කරන්න’ කියලයි. එහෙම නැතුව ගහලා බැනලා එයාලව පාලනය කරන්න නෙමෙයි. (එෆීස 5:33; කොලොස්සි 3:19) ඇත්තටම ඔහු කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා.

 “පුංචි කාලේ නෑදෑයෝ කීපදෙනෙක් මාව දූෂණය කළා. අවුරුදු 17දී මං වැඩ කරපු තැන ලොක්කා කිව්වා එයාත් එක්ක එකට හිටියේ නැත්නම් මාව අස් කරනවා කියලා. බැන්දාට පස්සෙත් මගේ මහත්තයායි, අම්මා තාත්තායි, අසල්වැසියෝයි මාව හරියට පහත් කළා. පස්සේ අපේ නිර්මාතෘ යෙහෝවා b ගැන මං ඉගෙනගත්තා. ඔහුට කාන්තාවන් කොච්චර වටිනවාද කියලා මං දැන් දන්නවා. ඔහු මට ගොඩක් ආදරෙයි, මට ගෞරව කරනවා.”—මරියා, ආර්ජන්ටිනාව.

හිතේ තුවාල හොඳ කරගන්න උදව්වක්

 බයිබල් පදය: “සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක් සිටියි.”—හිතෝපදේශ 18:24.

 තේරුම: විශ්වාසවන්ත යාළුවෙක්ට පුළුවන් ඔයාට උදව් කරන්න. කැමති නම් ඒ වගේ යාළුවෙක් එක්ක ඔයාට දැනෙන විදිහ ගැන කතා කරන්න.

 “මට අතවරයක් වුණා කියලා අවුරුදු 20ක් යන කල් කාටවත්ම කිව්වේ නෑ. මං හැම තිස්සේම හිටියේ දුකෙන්, කනස්සල්ලෙන්. මං මානසිකවත් වැටුණා. ඒත් පස්සේ මං යාළුවෙක්ට හැම දේම කිව්වා. එයා හොඳට අහගෙන හිටියා. මට දැනුණේ පුදුම සහනයක්.”—ඉලිෆ්, තුර්කිය.

 බයිබල් පදය: “ඇත්තටම [දෙවියන්] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

 තේරුම: හිතේ තියෙන දේ දෙවියන්ට කියද්දී ඔහු අහගෙන ඉන්නවා. (ගීතාවලිය 55:22; 65:2) ඔහු ඔයා ගැන ඇත්තටම සැලකිලිමත්. ඒ නිසා ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔහු ඔයාට උදව් කරයි.

 “යෙහෝවා ගැන ඉගෙනගද්දී මගේ හිතේ තුවාල හොඳ වෙන්න පටන්ගත්තා. දැන් මට හැම දේම යෙහෝවාට කියන්න පුළුවන්. ඔහු මට හැඟෙන විදිහ හොඳටම තේරුම්ගන්න යාළුවෙක්.”—ඇනා, බෙලිස්.

දෙවියන් කාන්තා හිංසනය නවත්තන දවසක් එයිද?

 බයිබල් පදය: ‘යෙහෝවා පියා නැති දරුවා හා පීඩිත වූ තැනැත්තා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ඔවුන් වෙතට අවධානය යොමු කරයි. එවිට මිහිපිට සිටින කිසිවෙක් බියෙන් නොසිටිනු ඇත.’—ගීතාවලිය 10:17, 18.

 තේරුම: ළඟදීම දෙවියන් අයුක්තිය, අසාධාරණය නැත්තටම නැති කරනවා. ඒකට කාන්තාවන්ට කරන හිරිහැරත් ඇතුළත්.

 “මිනිස්සු කාන්තාවන්ටයි, පුංචි දැරියන්ටයි කරන හිරිහැර යෙහෝවා ළඟදීම නැති කරනවා කියලා දැනගත්තාම මගේ හිතට දැනුණේ ලොකු සහනයක්. ඒක හරියට මගේ හිතේ තුවාල හොඳ කරපු බෙහෙතක් වගේ.”—රොබර්ටා, මෙක්සිකෝව.

 බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා. ඒකේ පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්. ඔයාගේ හිතට සහනයක් දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන දැනගන්න කැමති නම් ඔයාව හම්බ වෙන්න කෙනෙක්ව එවන්න කියලා ඉල්ලන්න.

 මේ ලිපිය ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

a නම් වෙනස් කර ඇත.

b යෙහෝවා කියන්නේ දෙවියන්ගේ නම. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද” කියන ලිපිය බලන්න.