Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

අපේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න

අපේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න

2024 අප්‍රියෙල් 1

 “අපේ නමස්කාර මධ්‍යස්ථානයට මං ගොඩක් ආසයි! මොකද එහෙදිනෙ මට මගේ සහෝදර සහෝදරියන්ව හම්බ වෙන්නේ.” එහෙම කිව්වේ කොලොම්බියාවේ ඉන්න තරුණ සහෝදරියක් වන නිකෝල්. ඔයාට හිතෙන්නෙත් එහෙමද?

 ලෝකේ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන 63,000ක් විතර තියෙනවා. ඒවාට ගිහින් නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න අපිට පුළුවන්. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් ඒවාවලින් වෙනවා. කොලොම්බියාවේ ඉන්න ස්ථාවර පුරෝගාමියෙක් වන ඩේවිඩ් මෙහෙම කියනවා. “අපේ නමස්කාර මධ්‍යස්ථාන නිසා අපි උගන්වන දේවල්වලට ලොකු වටිනාකමක් එකතු වෙනවා. අපි අපේ නමස්කාර මධ්‍යස්ථාන කොච්චර ලස්සනට, පිළිවෙළට තියාගන්නවාද කියලා අලුතෙන් එන අය දැක්කාම එයාලා පුදුම වෙනවා.” ඒත් ඒක ඉබේ වෙන දෙයක් නෙමෙයි. අපි නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදු කරන්න, ඒවා නඩත්තු කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම ඒ වැඩ වෙන්නේ කොහොමද?

නඩත්තු වැඩ සංවිධානය කරන්නේ කොහොමද?

 නමස්කාර මධ්‍යස්ථානයක් නඩත්තු කරන වැඩේ මූලිකවම පැවරිලා තියෙන්නේ ඒක පාවිච්චි කරන සභාවලට. ඒ නිසා ඒ සභාවල ඉන්න සහෝදර සහෝදරියන් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානය නිතරම පිරිසිදු කරනවා. ඒ වගේම පොඩි දෙයක් ලොකු අලුත්වැඩියාවක් කරන්න වෙන තත්වයකට පත් වෙන්න කලින් එයාලා ඒක හොඳට නඩත්තු කරනවා. පොඩි පොඩි අලුත්වැඩියා වැඩත් කරනවා.

 සභාවේ අයට නඩත්තු වැඩ හරියට කරන්න උදව් කරන්න ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය (LDC) නඩත්තු පුහුණුකරුවන් විදිහට සහෝදරයන්ව පත් කරලා තියෙනවා. එක නඩත්තු පුහුණුකරුවෙක් නමස්කාර මධ්‍යස්ථාන හයත් දහයත් අතර ප්‍රමාණයක් බලාගන්නවා. එයා සභාවලට ගිහින් ඒ සභාවේ අයට එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන විදිහ කියලා දෙනවා. ඒ වගේම හැම අවුරුදු තුනකටම වතාවක් එයා ඒ නමස්කාර මධ්‍යස්ථාන පරීක්ෂා කරලා අනතුරක් වෙන්න පුළුවන් දෙයක් තියෙනවාද, නඩත්තු කරන්න දේවල් තියෙනවාද කියලා බලනවා.

අපේ නමස්කාර මධ්‍යස්ථාන හොඳ තත්වයකින් තියාගන්න නඩත්තු පුහුණුකරුවන් අපිට උදව් කරනවා

 ඒ සහෝදරයන්ගෙන් ලැබෙන පුහුණුව සභාවල අය ගොඩක් අගය කරනවා. ඉන්දියාවේ ඉන්න සහෝදරි ඉන්දුමතී මෙහෙම කියනවා. “ඒ පුහුණුව නම් නියමයි! අපේ නමස්කාර මධ්‍යස්ථානය හොඳ තත්වයක තියාගන්නේ කොහොමද කියලා දැනගන්න ලැබුණ එක ඇත්තටම වටිනවා.” කෙන්යාවේ ඉන්න සහෝදර එවන්ස් කියන්නේ මෙහෙමයි. “පොඩි පොඩි අලුත්වැඩියා වැඩ ඉක්මනට කරන එකෙන් ලොකු වියදමක් යන අලුත්වැඩියාවන් නතර කරගන්න පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා අපි ඉගෙනගත්තා.”

වියදම් පියවගන්න විදිහ

 නමස්කාර මධ්‍යස්ථානවල එදිනෙදා වියදම්වලට සහ නඩත්තු වියදම්වලට හැම අවුරුද්දකම ඩොලර් a සියගාණක් නැත්නම් දහස්ගාණක් වුණත් වැය කරන්න වෙනවා. ඒ ගාණ තීරණය වෙන්නේ ඒ නමස්කාර මධ්‍යස්ථානය තියෙන තැන, ඒක කොච්චර පරණද, ඒක සභාවන් කීයක් පාවිච්චි කරනවාද කියන දේවල් මතයි. ඒ වියදම් පියවගන්නේ කොහොමද?

 නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට යන වියදම පියවගන්නේ සභාවේ අය දෙන සම්මාදම්වලින්. කසක්ස්තානයේ ඉන්න ඇලෙක්සැන්ඩර් මෙහෙම කියනවා. “ලැබෙන සම්මාදම්වලින් කොටසක් ඉන්ටර්නෙට්, වතුර සහ විදුලි බිල් ගෙවන්න වෙන් කරනවා. තව කොටසක් පාවිච්චි කරන්නේ ටිෂූ, ග්ලව්ස්, පිරිසිදු කරන ද්‍රව්‍ය සහ තීන්ත වගේ දේවල් ගන්න.” ඉතුරු වෙන සම්මාදම් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ලෝකේ පුරාම වෙන ලොකු වියදමක් යන විශාල නඩත්තු වැඩ කරන්න ඒ සම්මාදම් පාවිච්චි කරනවා.

ලොකු නඩත්තු වැඩ

 සාමාන්‍යයෙන් නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට මාසෙකට යම් නිශ්චිත මුදලක් වෙන් කරනවා. නඩත්තු වැඩක් කරන්න වෙද්දී ඒකට යන වියදම මාසෙකට වෙන් කරපු මුදල වගේ දෙගුණයකට හෝ තුන්ගුණයකට වඩා වැඩි නම් වැඩිමහල්ලන් ඒ ගැන නඩත්තු පුහුණුකරු එක්ක කතා කරලා LDC එකෙන් අවසර ගන්න ඕනේ. අවසර ලැබුණොත් සාමාන්‍යයෙන් කරන්නේ ලෝක ව්‍යාප්ත සේවයට ලැබෙන සම්මාදම්වලින් ඒ වියදම පියවන එකයි. 2023 සේවා වසරේදී ඒ වගේ ලොකු නඩත්තු වැඩ 8,793ක් කරලා තියෙනවා. ඒවාට වැය වුණ මුළු වියදම ඩොලර් මිලියන 76.6ක්. උදාහරණ දෙකක් බලමු.

 ඇංගෝලාවේ අවුරුදු 15ක් පරණ නමස්කාර මධ්‍යස්ථානයක් තිබුණා. ඒකේ විදුලි පද්ධතිය අලුතින්ම සවි කරන්න වුණා. ඒකේ බිත්ති පුපුරලා තිබුණ තැන් කීපයක්ම තිබුණා. ඒ වගේම බටවලින් වතුර කාන්දු වෙලා ඒවා අසල්වැසියන්ගේ ගෙවල් ඇතුළටත් එනවා කියලා එයාලා පැමිණිලි කරලා තිබුණා. ඉතින් ඒ දේවල් හරිගස්සන්න LDC එක සැලසුම් කළා. ඒකට ඩොලර් 9,285ක් වියදම් වුණා. ඒ අඩුපාඩුකම් හරිගස්සපු එක ගැන අසල්වැසියන් සහෝදරයන්ට ස්තූති කළා වගේම ඒ වැඩ ටික කරපු විදිහ ගැනත් එයාලා පුදුම වුණා.

ඇංගෝලාවේ අලුත්වැඩියා කරපු නමස්කාර මධ්‍යස්ථානයක්

 පෝලන්තයේ තිබුණ එක නමස්කාර මධ්‍යස්ථානයකත් අඩුපාඩු කිහිපයක් තිබුණා. ඒකේ වහලෙන් වතුර කාන්දු වුණා වගේම බිමට දාලා තිබුණ කාපට් තිබුණෙත් ආයේ පාවිච්චි කරන්න බැරි තත්වයක. LDC එකෙන් ඒවා හදන්න අනුමැතිය දුන්නා. ඉතින් එයාලා වහලේ අලුත්වැඩියා කරලා බිමට අලුතින්ම කාපට් දැම්මා. ඒකට ගිය වියදම ඩොලර් 9,757ක්. ඒ වැඩ කරපු නිසා තව අවුරුදු ගාණක් යන කල් ඒ ශාලාවේ ලොකු නඩත්තු වැඩක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

පෝලන්තයේ නමස්කාර මධ්‍යස්ථානයක් අලුත්වැඩියා කරමින්

නඩත්තු වැඩවලින් යෙහෝවාට ගෞරවය ලැබෙනවා

 නිතර කරන නඩත්තු වැඩ නිසා වටිනා සම්මාදම් ඉතුරු වෙනවා විතරක් නෙමෙයි ඒකෙන් යෙහෝවා දෙවියන්ටත් ලොකු ගෞරවයක් ලැබෙනවා. ෂෝන් ටොංගාවල ඉන්න සහෝදරයෙක්. එයා මෙහෙම කියනවා. “නඩත්තු වැඩ හොඳින් කෙරෙන නිසා අපිට පිරිසිදුවට, පිළිවෙළකට තියෙන ශාලාවක යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේ තැනක් දැක්කාම අවට ඉන්න අයටත් යෙහෝවා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. අපි අපේ නමස්කාර මධ්‍යස්ථානයට එන්න කියලා අනිත් අයට ආරාධනා කරන්නේ හරිම ආසාවෙන්.”

ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

 අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන, නඩත්තු කරන වැඩවලට හවුල් වෙන්න අපි හැමෝටම පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ඉන්න නඩත්තු පුහුණුකරුවෙක් වන මරීනෝ මෙහෙම කියනවා. “අපේ නමස්කාර මධ්‍යස්ථානය බලා කියා ගන්න ලැබිලා තියෙන අවස්ථාව හරිම වටිනා වරප්‍රසාදයක්. ඒකට හවුල් වෙන්න අපි හැමෝටම පුළුවන්. අපි එහෙම කරද්දී සහෝදරයන්ගේ වටිනා සම්මාදම් ඉතුරු වෙනවා වගේම ඒවා ඇත්තටම ඕනෙ කරන තැන්වලට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා.”

 ඉන්දියාවේ ඉන්න සහෝදර ජොයෙල් එයා යන නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට හරිම ආසාවෙන් හවුල් වෙන කෙනෙක්. එයා කියන්නේ මෙහෙමයි. “සහෝදරයන් එක්ක එකට වැඩ කරද්දී පාරාදීසයේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා හිතින් මවාගන්න මට පුළුවන්.” කලින් සඳහන් කරපු නිකෝල් මෙහෙම කියනවා. “ළඟදී දවසක සහෝදරයෝ එකතු වෙලා අපේ නමස්කාර මධ්‍යස්ථානයේ බාත්රූම් එකේ වතුර ලීක් එකක් හදහද හිටියා. ඒ වෙලාවේ මම කළේ බිම මොප් කරපු එක. ඇත්ත ලීක් එක හරිගස්සන්න මට මුකුත් කරන්න බැරි වුණා. ඒත් කාටවත් අනතුරක් වෙන එක නවත්තන්න නම් මට පුළුවන් වුණා.”

 ඔයාගේ නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩවලට හවුල් වෙන්න ඔයාත් කැමති නම් ඒ ගැන ඔයාගේ සභාවේ වැඩිමහල්ලන්ට කියන්න. ඒ වගේම සම්මාදම් කරන්නත් ඔයාට පුළුවන්. එහෙම කරද්දී ඔයාගේ නමස්කාර මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම තියෙන නමස්කාර මධ්‍යස්ථානවල නඩත්තු වැඩ කරන්නත් ඔයාට උදව් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ශාලාවේ තියෙන සම්මාදම් පෙට්ටිවලට ඔයාගේ සම්මාදම් දාන්න. එහෙම නැත්නම් donate.pr418.com හරහාත් ඔයාට සම්මාදම් කරන්න පුළුවන්. ඔයා මුළු හිතින්ම යෙහෝවාට දෙන දේ අපි ගොඩක් අගය කරනවා.

නමස්කාර මධ්‍යස්ථාන රැකබලා ගන්න වැඩවලට හවුල් වෙන්න අපි හැමෝටම පුළුවන්.

a මේ ලිපියේ තියෙන හැම මුදලක්ම දක්වලා තියෙන්නේ ඇමරිකානු ඩොලර්වලින්.