Skip to content

පටුනට යන්න

අදටත් ගැළපෙන එදා නුවණ

හදවතින්ම සමාව දෙන්න

හදවතින්ම සමාව දෙන්න

බයිබල් ප්‍රතිපත්තිය: “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් . . . නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? පාපයක් කරන එක බයිබලයේ සමාන කරලා තියෙන්නේ ණය වීමකටයි. සමාව දෙන එක ඒ ණය කපාහරිනවා වගේ දෙයක්. (ලූක් 11:4) බයිබලයේ “සමාව දෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ අදහස, ණයක් ගෙවන්න කියලා බල නොකර “ණයෙන් නිදහස් කරනවා” කියන එකයි. අපිට වරදක් කරපු කෙනෙක්ට සමාව දෙන්න තීරණය කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ අපි ඔහුගෙන් ආපිට යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකයි. හැබැයි ඒකෙන් ඔහුගේ වැරදි හැසිරීම අනුමත කරනවා කියලවත් අපිට ඇති වුණ වේදනාව නැති වෙනවා කියලවත් අදහස් වෙන්නේ නැහැ. ඇත්තටම අපි උත්සාහ කරන්නේ “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු” තිබුණත් අමනාප නොවී ඉන්නයි.

අදට ගැළපෙනවාද? අපි කා අතිනුත් වැරදි වෙනවා. (රෝම 3:23) කවදා හරි දවසක අපේ වැරදිවලටත් අනිත් අයගෙන් සමාව ඉල්ලන්න වෙන නිසා සමාව දෙන එක ඥානවන්ත දෙයක්. ඒකෙන් යහපතක් වෙන්නේ අපිටමයි. ඒ කොහොමද?

සමාව නොදී අමනාපය, වෛරය පැසවන්න ඉඩහැරියොත් වෙන්නේ අපිටම හානි කරගන්න එකයි. අපේ සතුට නැති වෙනවා. සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න බැරි වෙනවා. මානසිකවත් වධ විඳින්න වෙනවා. ඒක අපේ සෞඛ්‍යයටත් හොඳ නැහැ. වෛද්‍ය යොඉචී චිඩා සහ මනෝ විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙක් වන ඇන්ඩෲ ස්ටෙප්ටෝ කිව්ව දේ සඟරාවක තියෙන්නේ මෙහෙමයි. “දැනට හොයාගෙන තියෙන තොරතුරුවලට අනුව කෝපය, වෛරය හෘදයාබාධවලට හේතුවක් වෙන්න පුළුවන්.”—Journal of the American College of Cardiology.

අනිත් අතට සමාව දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන බලන්න. මුළු හදවතින්ම සමාව දෙනවා නම් සාමය, එකමුතුකම රැකෙන නිසා මිතුදම් කැඩෙන්නේ නැහැ. අපි දෙවියන්වත් අනුකරණය කරනවා. මොකද දෙවියන් පසුතැවිලි වෙන පව්කාරයන්ට මුළු හදවතින්ම සමාව දෙනවා. ඔහු බලාපොරොත්තු වෙන්නේ අපිත් ඒ දේම කරයි කියලයි.—මාක් 11:25; එෆීස 4:32; 5:1.