Skip to content

පටුනට යන්න

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

යූදා පාළුකරයේ කඳු හා පර්වත කුහර පීරමින් ගිය පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් එක් කඳු විවරයක් අසල නැවතුණා. ඇයි ඔවුන් නතර වුණේ? කෞතුක වස්තුවක් නෙත ගැටුණු නිසාද? ඔව්. ඔවුන් ඉපැරණි ලෝහ භාණ්ඩ රැසක් සොයාගත්තා. එය නාහල් මිෂ්මා නිධානය ලෙස නම් කළා.

පැදුරකින් ඔතා තිබූ එම නිධානයේ ඉපැරණි භාණ්ඩ 400කට වඩා තිබුණු අතර ඉන් බොහොමයක් නිමවා තිබුණේ තඹවලින්. ඒ අතරේ ඔටුනු, රාජ යෂ්ටි සහ තවත් දේවල්ද තිබුණා. 1961 මාර්තු මාසයේ සොයාගත් මෙම නිධානය බයිබලය කියවන අයට නම් උනන්දුව ඇති කරන සොයාගැනීමක්. මන්ද ‘තූබල්-කායින් තඹවලින් සහ යකඩවලින් විවිධ උපකරණ සෑදූ’ බවට බයිබලයේ තියෙන වාර්තාව මේ සොයාගැනීමෙන් තවත් සහතික වෙනවා.—උත්පත්ති 4:22.

නාහල් මිෂ්මා නිධානයේ තිබූ භාණ්ඩ සෑදුවේ කවුද සහ ඒවා එම ස්ථානයට ආවේ කොහෙන්ද කියන එක ගැන විවිධ ප්‍රශ්න මතු වී ඇතත් එයට පිළිතුරු සොයාගැනීමට මේ වන තෙක් පුරාවිද්‍යාඥයන්ට හැකි වී නැහැ. කෙසේවෙතත් ඈත අතීතයේ පටන්ම, බයිබලයේ සඳහන් ඉපැරණි දේශවල තඹ කැණීම, ඒවා උණු කිරීම සහ වාත්තු කිරීම සිදු වී ඇති බව නම් එම සොයාගැනීමෙන් අපට තහවුරු වෙනවා.

පොරොන්දු දේශයේ තඹ ආකර

ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශය අද්දර සිටියදී මෝසෙස් ඔවුන්ට පැවසුවේ මෙසේයි. ‘කඳුකරයෙන් තඹ ඔබට අවශ්‍ය තරම් ලබාගන්න පුළුවන්.’ (ද්විතීය කතාව 8:7-9) ඊශ්‍රායෙලය සහ යොර්දානය අවට ෆෙනාන්, තිම්නා සහ කිර්බත් එන්-නාහස් වැනි ප්‍රදේශවල තඹ සෙවීමට හෑරූ ස්ථාන සහ ඒවා උණු කළ ස්ථාන ගණනාවක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. එයින් හෙළි වන්නේ කුමක්ද?

ෆෙනාන් සහ තිම්නා ප්‍රදේශවල තැනින් තැන දක්නට ලැබෙන වළවල්වලින් පැහැදිලි වෙන්නේ අවුරුදු 2,000ක කාලයක් පුරා එම ප්‍රදේශවල තඹ කැණීම් කර ඇති බවයි. තඹ අඩංගු කොළ පැහැති පැල්ලම් සහිත ගල් කැබලි ඒ ප්‍රදේශයේ අදටත් දැකගන්න තිබෙනවා. අතීතයේදී කැණීම් කළ අය ආයුධ භාවිත කරමින් පර්වත මතුපිට තිබූ තඹ මුලින් ලබාගත්තා. එම ස්ථානවල තඹ අවසන් වූ විට ඔවුන් පොළොව යටට විශාල පතල් සහ උමං හාරමින් තඹ රැස් කළා. එවැනි කාර්යයන් ගැන බයිබලයේ යෝබ් නමැති පොතේ ඉතා අලංකාරවත් ලෙස විස්තර කර තිබෙනවා. (යෝබ් 28:2-11) පතල් කැණීම ඉතා වෙහෙසකර වැඩක්. තුන්වෙනි සියවස සිට පස්වෙනි සියවස අතර කාලයේදී දඬුවම් නියම වූ දරුණු අපරාධකරුවන්ව රෝමවරුන් ෆෙනාන් ප්‍රදේශයේ තඹ පතල්වල වැඩ කිරීමට යොදාගත්තේ ඒ නිසයි.

ලෝපස්වලින් තඹ ලබාගත් පසු ඉවත දැමූ ලෝහ බොර තැනින් තැන කඳු ගැසී ඇති ආකාරය කිර්බත් එන්-නාහස් ප්‍රදේශයේ දක්නට තිබෙනවා. එයින් කියාපාන්නේ එම ප්‍රදේශයේ ලෝපස්වලින් තඹ ලබාගැනීම මහා පරිමාණයෙන් සිදු කර ඇති බව නොවේද? විශාරදයන් විශ්වාස කරන්නේ එම ප්‍රදේශයට ලෝපස් ගෙන ආවේ ඒ අවට තිබෙන ෆෙනාන් සහ තිම්නා යන ප්‍රදේශවලින් කියායි. තඹ ලබාගැනීමට සෙල්සියස් අංශක 1,200ක උෂ්ණත්වයකින් පැය අටත් දහයත් අතර කාලයක් පුරා ලෝපස් රත් කළ යුතු වුණා. ලෝපස් කිලෝග්‍රෑම් පහකින් ලබාගැනීමට හැකි වුණේ තඹ කිලෝග්‍රෑම් එකක් පමණයි.

පුරාණ ඊශ්‍රායෙල් කාලයේදී

ඊශ්‍රායෙල්වරුන් සීනයි කන්ද අවට සිටි කාලයේදී යෙහෝවා දෙවියන් ඔවුන්ට පැවසුවා ශුද්ධ කූඩාරම සෑදීමට එම ප්‍රදේශවල තිබෙන ලෝහ යොදාගන්න කියලා. (නික්මයාම 27වෙනි පරිච්ඡේදය) පසු කාලයේදී යෙරුසලමේ දේවමාලිගාව සෑදීමටත් තඹ යොදාගත්තා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයට යෑමට පෙර හෝ එහි සිටි කාලයේදී ලෝහ භාණ්ඩ සෑදීමට හොඳින් දැනුම ලබාගන්න ඇති. ඊජිප්තුවෙන් නිදහස් වී එන විට රන් වස්සෙකුගේ රූපයක් සෑදීමට ඔවුන්ට හැකි වුණේ ඒ නිසයි. ශුද්ධ කූඩාරමේ වැඩකටයුතු සඳහා විශාල තඹ භාජන, හැළි, සවල් සහ කොකු සෑදීමටත් ඔවුන් එම දැනුම යොදාගත්තා.—නික්මයාම 32:4.

පසු කාලයකදී ඊශ්‍රයෙල් සෙනඟ මන්නා සහ ජලය සම්බන්ධයෙන් දෙවියන්ට විරුද්ධව මැසිවිලි නැඟුවේ තඹ බහුලව තිබූ පූනොන් එනම් නවීන දින ෆෙනාන් ප්‍රදේශය අවටදී විය හැකියි. මැසිවිලි නැඟූ නිසා දඬුවමක් ලෙස යෙහෝවා දෙවියන් සෙනඟ අතරට විෂ සර්පයන් එවූ අතර සර්පයන් දෂ්ට කළ නිසා බොහෝදෙනෙක් මිය ගියා. ඉන්පසු පසුතැවිලි වූ සෙනඟ වෙනුවෙන් මෝසෙස් දෙවියන්ට කන්නලව් කළ විට දෙවියන් මෝසෙස්ට පැවසුවේ තඹවලින් සර්පයෙකුගේ හැඩයට රූපයක් සාදා එය කණුවක සවි කරන්න කියායි. එම වාර්තාවේ පෙන්වන්නේ “සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට ඔහු මිය ගියේ නැත” කියායි.—ගණන් කතාව 21:4-10; 33:43.

සලමොන් රජුගේ කාලයේදී

යෙරුසලමේ දේවමාලිගාව සෑදීමට විශාල වශයෙන් තඹ යොදාගත්තා

සලමොන් රජු යෙරුසලමේ දේවමාලිගාව සෑදීමට විශාල වශයෙන් තඹ යොදාගත්තා. ඉන් බොහෝ ප්‍රමාණයක් ලැබුණේ ඔහුගේ පියා වූ දාවිත් රජ සිරියන්වරුන් යටත් කරගැනීමේදී ලබාගත් තඹවලිනුයි. (1 ලේකම් 18:6-8) දේවමාලිගාවේ පූජකයන්ට පිරිසිදු වීමට වතුර රැස් කිරීම සඳහා විශාල වටකුරු තඹ භාජනයක් තිබුණා. එහි ජල ධාරිතාව ලීටර් 66,000ක් වූ අතර “තඹ මුහුද” ලෙසත් එය හැඳින්වූවා. එහි බර ටොන් 30ක් පමණ විය හැකියි. (1 රාජාවලිය 7:23-26, 44-46) තවද දේවමාලිගාවට ඇතුල් වෙන ස්ථානයේ විශාල තඹ කුලුනු දෙකක්ද තිබුණා. කුලුනුවල මැද හිස්ව තිබුණා. කුලුනක බිත්තියේ ගනකම සෙන්ටිමීටර් 7.5ක්ද විෂ්කම්භය මීටර් 1.7ක්ද උස මීටර් 8ක්ද වුණා. කුලුනුවල මුදුනේ තිබූ ගෝලාකාර කොටසේ උස මීටර් 2.2යි. (1 රාජාවලිය 7:15, 16; 2 ලේකම් 4:17) මේ සෑම දෙයක්ම සෑදීමට කොතරම් තඹ ප්‍රමාණයක් යොදාගන්න ඇද්දැයි සිතාගත නොහැකි තරම්.

බයිබලය ලියූ කාලවලදී මිනිසුන්, බහුලව යොදාගත් ලෝහයක් වුණේ තඹයි. උදාහරණයකට ආයුධ, විලංගු, අත්තාලම් සහ දොරටු සෑදීමට තඹ භාවිත කළා. (1 සාමුවෙල් 17:5, 6; 2 රාජාවලිය 25:7; 1 ලේකම් 15:19; ගීතාවලිය 107:16) යේසුස්ද “තඹ කාසි” ගැන කතා කළ අතර පාවුල් ඔහුගේ ලිපියක “ඇලෙක්සැන්ඩර් නමැති තඹකරුවා” ගැන සඳහන් කර තිබෙනවා.—මතෙව් 10:9; 2 තිමෝති 4:14.

නාහල් මිෂ්මා නිධානයේ සුලමුල වගේම අතීතයේදී භාවිත කළ තඹ භාණ්ඩවල සුලමුලත් පුරාවිද්‍යාඥයන්ට සහ ඉතිහාසඥයන්ට තවමත් අභිරහසක්. කෙසේවුවත් බයිබලයේ පැහැදිලිවම වාර්තා කර තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන් සිටියේ සැබවින්ම ‘කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගැනීමට’ හැකි වූ “සරුසාර දේශයක” බවයි.—ද්විතීය කතාව 8:7-9.