Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’

‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’

අරුණලු නැඟෙන හිමිදිරි යාමේ රාහබ් යෙරිකෝ මිටියාවත දෙස කවුළුවෙන් බලා සිටිනවා. ඇය දකින්නේ ඊශ්‍රායෙල් යුධ සේනාව නැවතත් පවුර වටේ ගමන් ඇරඹීමට සැරසෙන ආකාරයයි. සුළු මොහොතකින් සෙබළුන්ගේ පා ගමනින් දූවිලි නැංවෙනවා. අවට පරිසරයේ නිහැඬියාව බිඳලමින් හොරණෑ හඬ දසත පැතිරී යනවා.

රාහබ් ජීවත් වුණේ යෙරිකෝවෙයි. එම නුවරේ තිබූ වෙළඳසැල්, වීදී, නිවෙස් ගැන ඇය මනාව දැන සිටියා. ඊටත් වඩා එහි වැසියන් ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුණා. දිනෙන් දින ඊශ්‍රායෙල්වරුන් අමුතුම චාරිත්‍රයක් අනුගමනය කරමින් නගරය වටා ගමන් කරද්දී එහි වැසියන් බියෙන් සලිත වන ආකාරය රාහබ්ට නොදැනුණා නොවෙයි. නමුත් පවුරෙන් එපිට ඇසෙන හොරණෑ හඬින් නගරය දෙවනත් වෙද්දී ඇයට නම් එවන් බියක් දැනුණේ නැහැ.

හත්වෙනි දවසෙත් ඊශ්‍රායෙල් හමුදාව අලුයමින්ම යෙරිකෝව වටේ ගමන් ඇරඹුවා. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් අතර සිටින බවට සංකේතවත් කළ ගිවිසුම් පෙට්ටිය රැගෙන යන පූජකයන්වත් හොරණෑ පිඹිමින් යන පූජකයන්වත් ඔවුන්ට ඉදිරියෙන් සහ පිටුපසින් ගමන් කරන යුධ සේනාවත් රාහබ් දුටුවා. ඊශ්‍රායෙල්වරුන්ට පෙනෙන සේ රාහබ් රතු ලණුව කවුළුවෙන් පිටතට දමා තිබුණා. යුධ සේනාව යෙරිකෝවට පහර දෙන විට ඇගෙත් ඇගේ පවුලේ අයගෙත් ජීවිත ගැලවෙන බව, ඒ ලණුව ඇයට සිහිගැන්නුවා. රාහබ් ඇගේ ජාතියට ද්‍රෝහි වූ කාන්තාවක්ද? යෙහෝවා දෙවියන් නම් ඇය ගැන එසේ සිතුවේ නැහැ. ඔහු ඇයව සැලකුවේ ඔහු කෙරෙහි විශ්වාසය ඇතුව සිටි කාන්තාවක් ලෙසයි. දැන් අපි රාහබ්ගේ කතා පුවතේ ආරම්භයට ගිහින් ඇගෙන් උගත හැකි පාඩම් මොනවාද කියා බලමු.

රාහබ් නම් ගණිකාව

රාහබ් ගණිකාවක්ව සිටියා. සමහර බයිබල් විචාරකයන් ඒ කාරණය පිළිගන්න කොහෙත්ම කැමති වුණේ නැහැ. ඔවුන් පවසා සිටියේ ඇය ගණිකාවක් නොව තානායමක් පවත්වාගෙන ගිය ස්ත්‍රියක් කියායි. ඒත් ඇත්ත ඇති සැටියෙන් හෙළි කරන බයිබලයේ සඳහන් වෙන්නේ ඇය ගණිකාවක් බවයි. (යොෂුවා 2:1; හෙබ්‍රෙව් 11:31; යාකොබ් 2:25) රාහබ් ජීවත් වූ ඒ පිරිහුණු සමාජයේ ගණිකා වෘත්තියට පිළිගැනීමක් තිබුණා විය හැකියි. සමාජයේ මිම්මෙන් ඇයට මොන පිළිගැනීමක් තිබුණත් ඇගේ හිත ඇයට වධ දෙන්න ඇති. මන්ද යෙහෝවා දෙවියන් හරි වැරැද්ද තේරුම්ගන්න හෘදය සාක්ෂියක් හැමෝටම දී තිබෙනවා. (රෝම 2:14, 15) සමහරවිට රාහබ් එවැනි වෘත්තියකට යොමු වුණේ ඇගේ පවුලේ අයගේ ජීවිත රැකීමට වෙන මඟක් ඇයට නොතිබුණ නිසා විය හැකියි.

රාහබ්ට ඇය ජීවත් වුණු සමාජ රටාවෙන් මිදෙන්න ලොකු වුවමනාවක් තිබූ බවට සැකයක් නැහැ. ඇය ජීවත් වුණේ සැහැසික ක්‍රියාවලින් පිරී තිබූ දේශයකයි. එපමණක් නොවෙයි ඔවුන් තමන්ගේම පවුලේ අය සමඟත් සතුන් සමඟත් ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා. (ලෙවී කතාව 18:3, 6, 21-24) එවැනි අශික්ෂිත ක්‍රියාවලට අනුබල දුන්නේ භූතයන්ගේ බලපෑමට ලක්ව තිබූ ඔවුන්ගේ ආගමයි. ඔවුන්ගේ දේවාලවලත් ගණිකාවන් සිටියා. මිනිසුන් වන්දනාමාන කළේ බාල් සහ මෝලෙක් යන බොරු දෙවිවරුන්ටයි. ඒ දෙවිවරුන්ට පූජා කරන්න ඔවුන් තම දූදරුවන්ව පවා පණපිටින් පිලිස්සුවා.

යෙරිකෝව ඇතුළු කානාන් දේශයේ ජාතීන් දුෂ්ට දේවල් කරද්දී දෙවියන් ඇස් කන් පියාගෙන සිටියේ නැහැ. ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලට අවසානයක් ගෙනෙන බව දෙවියන් මෙසේ පැවසුවා. “ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.” (ලෙවී කතාව 18:25) ඔවුන්ගේ අයුතුකම් නිසා ඒ ජාතීන්ව ටිකෙන් ටික විනාශ කරනවා කියා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට සහතික කළා. (ද්විතීය කතාව 7:22) ඊට සියවස් ගණනකට කලින් දෙවියන් පොරොන්දු වී තිබුණේ යෙරිකෝව ඇතුළු මුළු කානාන් දේශයම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට ලබා දෙන බවයි. යෙහෝවා දෙවියන් ‘කිසි බොරුවක් නොපවසන’ නිසා ඒ පොරොන්දුව ඉටු කරන බවට කිසිම සැකයක් නැහැ.—තීතස් 1:2; උත්පත්ති 12:7.

කානාන් දේශයේ පදිංචිව සිටි සමහර ජාතීන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි කියා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (ද්විතීය කතාව 7:1, 2) ඒ වන විටත් “මුළු පොළොවෙම විනිශ්චයකරු” වන යෙහෝවා දෙවියන් ඔවුන්ගේ සිත් සෝදිසි කර තිබූ නිසා ඔවුන් කොතරම් අන්තයටම පිරිහී සිටියාද කියා හොඳින්ම දුටුවා. (උත්පත්ති 18:25; 1 ලේකම් 28:9) එවන් පරිසරයක ජීවත් වුණ රාහබ්ට ඊශ්‍රායෙල්වරුන් ගැන අහන්න ලැබුණාම කෙසේ හැඟෙන්න ඇද්ද? එවකට පැවති ලෝකයේ රණශූර හමුදාවක් වූ ඊජිප්තුවරුන්ව පරාජය කර ඔවුන්ට බැළ මෙහෙවරකම් කළ ඊශ්‍රායෙල්වරුන්ව දෙවියන් ගලවාගත් ආකාරය ඇය අසා තිබුණා. ඒ ඊශ්‍රායෙල්වරුන් දෙවියන්ගේ උපකාරයෙන් යෙරිකෝවටත් පහර දෙන්නයි සැරසුණේ. ඒත් ඒ නගරයේ වැසියන් කිසිදු තැකීමකින් තොරව දිගටම පව්කාර ක්‍රියාවල නියැලුණා. යෙරිකෝව ඇතුළු කානාන් දේශයේ වැසියන්ව “අකීකරුව ක්‍රියා කළ” සෙනඟක් ලෙස බයිබලයේ හඳුන්වා තිබීම පුදුමයක් නොවේ.—හෙබ්‍රෙව් 11:31.

රාහබ් ඒ සැමට වඩා වෙනස්. යෙහෝවා දෙවියන් පිළිබඳව අසා තිබූ දේවල් ගැන ඇය කල්පනා කරන්න ඇති. කානාන් දේශයේ දෙවිවරුන් සහ යෙහෝවා දෙවියන් අතර තිබූ වෙනස ඉතා පැහැදිලියි. ඒ දේශයේ දෙවිවරුන් නිසා මිනිසුන් පීඩාවට පත් වුණත් යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් සටන් කළ දෙවි කෙනෙක්. කානාන් දේශයේ දෙවිවරුන් නිසා මිනිසුන් ඉතා පහත් ක්‍රියාවලට යොමු වුණත් යෙහෝවා ඔහුගේ සෙනඟට ඉතා උසස් ප්‍රතිපත්ති දුන් දෙවි කෙනෙක්. ඒ දේශයේ දෙවිවරුන්ට කළ ඉතා පිළිකුල් ආගමික චාරිත්‍ර සඳහා වෙළඳ භාණ්ඩ ලෙස ස්ත්‍රීන්ව යොදාගැනුණත් යෙහෝවා දෙවියන් නම් ස්ත්‍රීන්ව සැලකුවේ වටිනා අය හැටියටයි. යෙරිකෝවට පහර දීමට ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟින් මෙගොඩ කඳවුරු බැඳගෙන සිටින බව ආරංචි වූ රාහබ්ට තම සෙනඟ ගැන භයක් දැනෙන්න ඇති.

වැරදි ජීවන රටාවකට කොටු වී, ඉන් මිදීමට මඟක් නොදැන තමන්ගේ ආත්ම ගෞරවය සහ සතුට අහිමි කරගත් රාහබ් වැනි අය අදත් සිටිනවා. ඒ අයට හැඟෙන්නේ තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලයි. රාහබ්ගේ කතාව එවැනි අයට ගෙන දෙන්නේ මහත් සහනයක්. මන්ද යෙහෝවා දෙවියන්ට සෑම කෙනෙක්වම වටිනා බව ඉන් කියැවෙනවා. ‘දෙවියන් අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි.’ (ක්‍රියා 17:27) ඔහුව විශ්වාස කරන අයට සහනය ලබා දෙන්න ඔහු ආශාවෙන් බලා සිටිනවා. රාහබ්ට එවන් විශ්වාසයක් තිබුණාද?

ඇය ඔත්තුකරුවන්ව සාදරයෙන් පිළිගත්තා

දවසක් නාඳුනන පුරුෂයන් දෙදෙනෙක් රාහබ්ගේ නිවසට පැමිණියා. සමහරවිට ඔවුන් කවුද කියා දුටු සැණින් ඇයට තේරෙන්න ඇති. ඒ වෙනකොට යෙරිකෝවේ හැමෝම විමසිල්ලෙන් සිටියේ ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් යෙරිකෝවට එයිද කියලයි. ගණිකාවක් වූ රාහබ්ගේ නිවසට නාඳුනන පුරුෂයන් යන එන එක අසාමාන්‍ය දෙයක් වුණේ නැහැ. ඒත් ඔවුන් දෙදෙනා පැමිණියේ නවාතැන් ගැනීම සඳහා මිසක් වෙන කිසි අරමුණකින් නොවෙයි.

ඔවුන් ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ හමුදාවේ අණ දෙන නිලධාරියා වූ යොෂුවාගේ අණ පරිදි ඔවුන් පැමිණ සිටියේ දේශයේ තොරතුරු දැනගන්නයි. යෙරිකෝව, ඊශ්‍රායෙල්වරුන් වැටලීමට සැරසුණු පළමු නගරය වූ අතර එය කානාන් දේශයේ බලවත්ම නගරය විය හැකියි. ඒ නිසා ඊට පහර දීමට පෙර එහි තොරතුරු දැන සිටීම ප්‍රයෝජනවත් බව යොෂුවාට සිතෙන්න ඇති. මේ ඔත්තුකරුවන් දෙදෙනා ගණිකාවක් වූ රාහබ්ගේ නිවස තෝරාගත්තේ ඉතා සැලසුම්සහගතවයි. එක අතකින් ඇගේ නිවසට නාඳුනන පුරුෂයන් යන එන එක සාමාන්‍ය දෙයක් වූ නිසා කිසිම කෙනෙකුට ඔවුන් ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. අනිත් අතට මිනිසුන් කතාබහ කරන දේවල් අසා නගරයේ සැබෑ තත්වය ගැන තොරතුරු ලබාගන්නත් ඔවුන්ට යටි අරමුණක් තිබෙන්න ඇති.

බයිබලයේ සඳහන් වෙන්නේ රාහබ් ඊශ්‍රායෙල් ජාතික ‘පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගත්’ බවයි. (යාකොබ් 2:25) ඔවුන් දෙදෙනා පැමිණියේ මොන අරමුණින්ද කියා ඇය නොදැන සිටියත් ඇය ඔවුන්ට නවාතැන් දුන්නා. ඒ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ගැන තවත් තොරතුරු දැනගැනීමේ අරමුණින් විය හැකියි.

ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙක් රාහබ්ගේ නිවසට පැමිණ ඇති බවට වූ ආරංචිය පැතිරුණා. විගස ක්‍රියාත්මක වූ රජ තම පණිවිඩකරුවන්ව රාහබ්ගේ නිවසට යැව්වා. තම නිවසට පිළිගත් අමුත්තන් දෙදෙනා කවුද කියා ඒ වන විට රාහබ් හොඳින් දැන සිටියා. ඇය ඔවුන් දෙදෙනාට ආරක්ෂාව සැලසුවොත් ඇයවත් ඇගේ පවුලේ අයවත් මරා දමන්න රජු නියෝග කරයිද? සතුරු ජාතීන්ව තම නිවසට පිළිගැනීම නිසා නගරයේ වැසියන් රාහබ්වත් ඇගේ පවුලේ අයවත් මරා දමයිද? මෙය තීරණාත්මක මොහොතක්. යෙහෝවා දෙවියන් ඇගේ දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ බව ඇයට විශ්වාස නම් ඔහුගේ පැත්ත ගන්න මෙය හොඳම අවස්ථාවයි.

රාහබ් තැනට සුදුසු නුවණ පාවිච්චි කළා. ඇය විගස ඔත්තුකරුවන් දෙදෙනාව, තම නිවසේ පියස්ස උඩ වියළීමට දමා තිබූ හණ දඬු යට සැඟෙව්වා. ඉන්පසු ඇය රජුගේ පණිවිඩකරුවන්ට පැවසුවේ මෙසේයි. “මිනිස්සු නම් ආවා. නමුත් ඒ අය කොහේ ඉඳන් ආවාද කියා කියන්න මම දන්නේ නැහැ. ඔවුන් කළුවර වැටෙද්දී නගරයෙන් පිට වෙලා ගියා. නගරයේ දොරටු වහන වේලාවේදී වගේ තමයි ඔවුන් ගියේ. නමුත් ඔවුන් කොහේට ගියාද කියන්න නම් මම දන්නේ නැහැ. ඉක්මනට ගියොත් ඒ මිනිසුන්ව අල්ලගන්න ඔබට පුළුවන් වෙයි.” (යොෂුවා 2:4, 5) ඒ වදන් පවසන විට රාහබ්ගේ හද ගැස්ම වැඩි වුණ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වෙනස රාජ දූතයන්ට දැනෙයිදෝ කියා ඇයට මහත් චකිතයක් ඇති වෙන්න ඇති.

රාහබ් දිවි පරදුවේ තබා දෙවියන්ගේ සේවකයන් දෙදෙනාව ආරක්ෂා කළා

රාහබ් කියූ දේ විශ්වාස කළ පණිවිඩකරුවන් ඔවුන්ව අල්ලාගැනීමට යොර්දාන් ගඟේ තොටුපොළ පැත්තට දිව ගියා. (යොෂුවා 2:7) සැලැස්ම සාර්ථක වූ නිසා රාහබ් සැනසුම් සුසුමක් හෙළන්න ඇති. ඇය තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඔවුන්ට තොරතුරු හෙළි නොකළ නිසා යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ගේ දිවි රැකුණා.

එසැණින්ම පියස්සට දිව ගිය රාහබ්, තමා කළ දෙය ඔත්තුකරුවන්ට පවසා තවත් වැදගත් තොරතුරක්ද හෙළි කළා. එනම් මුළු නගරයේම වැසියන් ඊශ්‍රායෙල්වරුන් ගැන බියෙන් තැතිගෙන සිටින බවයි. ඒ පණිවිඩය අසා ඔවුන් දෙදෙනා සතුටු වෙන්න ඇති. යෙහෝවා දෙවියන්ගේ අසීමිත බලය ගැන අසා දුෂ්ට කානානිවරුන්ගේ බිය දෙගුණ තෙගුණ වෙන්න පටන්ගත්තා. රාහබ් ඊළඟට පැවසූ දෙයින් ඇගේ විශ්වාසය ගැන වටිනා තොරතුරක් හෙළි වෙනවා. ඇය පැවසුවේ “අහසටත් පොළොවටත් අධිපති වෙන කවුරුත් නෙමෙයි, ඔබේ දෙවි යෙහෝවා බව ස්ථිරයි” කියායි. (යොෂුවා 2:11) දෙවියන් ගැන අසන්න ලැබුණු තොරතුරුවලින් ඔහුව විශ්වාස කළ හැකි බව රාහබ්ට සක්සුදක් සේ පැහැදිලි වුණා. ඇගේ ඒ විශ්වාසය අපිට මොන තරම් වටිනා ආදර්ශයක්ද!

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ජය අත් කර දෙන බවට රාහබ්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා නගරයට පහර දෙන විට ඇගෙත් ඇගේ පවුලේ අයගෙත් ජීවිත රැක දෙන්න කියා රාහබ් ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා. ඊට එකඟ වූ ඔවුන් තමන් ආ වග රහසක්ව තබාගන්න කියා ඇයට පැවසුවා. පවුරේ තිබූ ඇගේ නිවසේ කවුළුවේ ඊශ්‍රායෙල් සෙබළුන්ට පෙනෙන සේ රතු ලණුව ගැටගසා තබන්න කියාත් පැවසුවා.—යොෂුවා 2:12-14, 18.

විශ්වාසයක් ඇති වෙන ආකාරය ගැන අපිට රාහබ්ගේ සිද්ධියෙන් වැදගත් කාරණයක් ඉගෙනගන්න පුළුවන්. “විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණක් බව” බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 10:17) යෙහෝවා දෙවියන්ගේ බලය සහ සාධාරණකම ගැන අසා තිබූ රාහබ් ඔහු කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති කරගත්තා. එදාට වඩා අද අපිට දෙවියන් ගැන බොහෝ දේවල් ඉගෙනගන්න හැකියාව තිබෙනවා. බයිබලයේ දෙවියන් ගැන සඳහන් දේවල් කියවා ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්න අපි උත්සාහ කරනවාද?

දැවැන්ත පවුර පොළොවට සමතලා වෙයි

රාහබ්ගේ උපදෙස් අනුව ඔත්තුකරුවන් දෙදෙනා කවුළුවේ ගැටගසා තිබූ ලණුව ආධාරයෙන් හීන් සීරුවේ පවුරෙන් පහළට බැස කඳුකරය දෙසට ගොස් සැඟවුණා. යෙරිකෝවේ උතුරු දෙසට වෙන්න තිබූ කඳු බෑවුම්වල සැඟවී සිටිය හැකි ගුහා තිබුණා. එමනිසා අවදානම පහ වන තුරු ඔවුන් එහි සැඟවී ඉන්න ඇති. ඉන්පසු රාහබ්ගෙන් ලැබුණු සතුටුදායක ආරංචිය ඇතුව නැවතත් ඊශ්‍රායෙල් කඳවුරට යන්න ඔවුන්ට හැකි වුණා.

රාහබ්ට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ගැන විශ්වාසයක් තිබුණා

යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් ලෙස යොර්දාන් ගඟේ ජල පහර නතර කර ඊශ්‍රායෙල්වරුන්ට ඒ හරහා එගොඩ වීමට මඟ විවෘත කළා. (යොෂුවා 3:14-17) ඒ ගැන ආරංචි වූ විට යෙරිකෝවේ වැසියන් භයෙන් භිරාන්ත වුවත් රාහබ්ගේ විශ්වාසය නම් තවත් ශක්තිමත් වුණා.

යෙරිකෝවේ පවුර වටා ඊශ්‍රායෙල් හමුදාව ගමන් ඇරඹුවේ ඉන්පසුවයි. දවසකට වතාවක් බැගින් දවස් හයක් පුරා ඔවුන් එසේ ගමන් කළා. ඒත් හත්වෙනි දවස ඊට වඩා බොහෝ වෙනස් දවසක් වුණා. මේ ලිපියේ මුලින්ම සඳහන් වූ පරිදි අලුයමින් ඔවුන් ගමන් ඇරඹුවා. මෙදින එක් වතාවක් නොව කිහිප වතාවක්ම නොනවත්වා සෙබළුන් පවුර වටා ගමන් කළා.—යොෂුවා 6:15.

හත්වෙනි දවසේ වට හතක් ගමන් කළ පසු යුධ සේනාව නතර වුණා. හොරණෑ හඬක්වත් පා ගැටෙන හඬක්වත් නොමැතිව මුළු පරිසරයේම තිබුණේ ලොකු නිහැඬියාවක්. මේ කුමක්ද වෙන්නේ කියා සිතමින් මුළු නගරයම තැතිගෙන සිටින්න ඇති. මොහොතකින් යොෂුවාගෙන් ලැබුණු අණ ක්‍රියාත්මක කළ මුළු ඊශ්‍රායෙල් සේනාවම එක හඬින් කෑගැසුවා. පවුරු උඩ සිටි මුරකරුවන් මේ නම් අමුතුම සටන් ක්‍රමයක්යයි සිතමින් සිටියා නම් ඔවුන්ට වැඩි වේලාවක් එසේ සිතීමට ලැබුණේ නැහැ. ඒ දැවැන්ත පවුර දෙදරා නිමේෂයකින් පොළොවට පතිත වුණා. එයින් නැඟුණු දූවිලි වලාවන් ඈත් මෑත් වූ විට දිස් වුණේ රාහබ්ගේ නිවස තිබූ පවුරේ කොටස පමණක් කිසිදු හානියකින් තොරව පෙර සේම රැඳී තිබූ ආකාරයයි. එසේ රාහබ්ගෙත් පවුලේ අයගෙත් දිවි රැකුණේ ඇගේ නොසැලෙන විශ්වාසය නිසයි. යෙහෝවා දෙවිගේ රැකවරණය අද්දුටු රාහබ්ට ඒ මොහොතේ ඇති වූ හැඟීම් ඔබට සිතාගන්න පුළුවන්ද! *යොෂුවා 6:10, 16, 20, 21.

රාහබ්ගේ විශ්වාසය නිසා ඊශ්‍රායෙල්වරුන් ඇයට ගෞරව කළා. ඇගේ නිවස පමණක් ඉතුරු වී තිබෙන ආකාරය දකිද්දී ඇයට යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය තිබෙන බව ඊශ්‍රායෙල්වරුන්ට මනාව පැහැදිලි වුණා. ඒ නිසා යෙරිකෝව අත් පත් කරගත් පසු රාහබ්ට ඔවුන්ගේ කඳවුර අසලම ජීවත් වීමට ලැබුණා. කාලයකට පසු ඇය ඊශ්‍රායෙල් ජාතික සල්මොන් හා විවාහ වුණා. ඔවුන් දෙදෙනාට ඉපදුණු දරුවාගේ නම බෝවස්. ඔහුත් දෙවියන් කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබූ පුරුෂයෙක්. ඔහු මෝවබ් ජාතික රූත් හා විවාහ වුණා. * (රූත් 4:13, 22) දෙවියන් කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබූ ඔවුන්ගේ පෙළපතිනුයි දාවිත් රජු සහ යේසුස් ක්‍රිස්තුස් උපත ලැබුවේ.—යොෂුවා 6:22-25; මතෙව් 1:5, 6, 16.

යෙහෝවා දෙවියන්ට අප සෑම කෙනෙකුවම වටිනවා යන වැදගත් කාරණය රාහබ්ගේ කතා පුවතෙන් තේරුම්ගන්න පුළුවන්. ඔහු අපිව දකින අපේ සිත් කියවන දෙවි කෙනෙක්. ඒ නිසා කෙනෙක් තුළ ඔහු ගැන පුංචි හෝ විශ්වාසයක් තිබෙන බව දකින විට එයින් ඔහු සතුටු වෙනවා. රාහබ්ගේ විශ්වාසය නිසා ඇය ක්‍රියා කිරීමට පෙලඹුණා. ඇයව ‘ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඇගේ ක්‍රියාව නිසා’ බව බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 2:25) අපිත් ඇගේ විශ්වාසය ආදර්ශයට ගැනීම මොන තරම් වටිනවාද!

^ 27 ඡේ. ඔත්තුකරුවන් දෙදෙනා රාහබ් සමඟ ඇති කරගත් ගිවිසුම යෙහෝවා දෙවියන්ද අනුමත කළා.

^ 28 ඡේ. රූත් සහ බෝවස් ගැන වැඩි විස්තර දැනගන්න 2012 ජූලි 1 සහ ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “අනුකරණය කිරීමට වටිනා ආදර්ශ” යන ලිපි බලන්න.