Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

දරුවා ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න අසනවාද?

දරුවා ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න අසනවාද?

බොහෝ දරුවන් අදහන්නේ දෙමාපියන්ගෙන් උරුම වූ ආගමයි. (2 තිමෝති 3:14) නමුත් සමහර දරුවන් එසේ කරන්නේ නැහැ. ඔබේ දරුවා ආගමික විශ්වාසයන් ගැන ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබට කළ හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම අභියෝගයට මුහුණ දෙන අයුරු මෙම ලිපියේ සඳහන් වෙනවා.

“අම්මගෙයි තාත්තගෙයි ආගමේ තියෙන ප්‍රතිපත්ති පිළිපදින්න මම කැමති නැහැ. මට දැන් ඒක ඇති වෙලා තියෙන්නේ.”—18 හැවිරිදි කෝරා. *

ජීවත් වීමට අවශ්‍ය හොඳම උපදෙස් සඳහන් වන්නේ බයිබලයේ කියා ඔබ විශ්වාස කරන නිසා ඔබේ දරුවාටත් ඒ දේවල් කියා දෙන්න ඔබ උපරිමය කරන බවට කිසිම සැකයක් නැහැ. (ද්විතීය කතාව 6:6, 7) නමුත් දරුවා වයසින් වැඩෙත්ම නමස්කාර කටයුතු සඳහා තිබුණු උනන්දුව අඩු වෙලා කියා ඔබට සිතෙනවාද? කුඩා කාලයේදී උනන්දුවෙන් ඉගෙනගත් විශ්වාසයන් ගැන දැන් යොවුන් වියේ සිටින ඔබේ දරුවා ප්‍රශ්න කරනවාද?—ගලාති 5:7.

එසේනම් දෙමාපියෙක් ලෙස ඔබේ වගකීම ඔබ නිසි ලෙස ඉටු කර නැහැ කියා සිතන්න එපා. දරුවා එසේ ප්‍රශ්න කිරීමට බලපාන හේතු බොහොමයක් තිබෙන්න පුළුවන්. නමුත් දරුවා ප්‍රශ්න අසන විට ඔබ ප්‍රතිචාරය දක්වන ආකාරයෙන් දරුවාගේ විශ්වාසයන් ශක්තිමත් වෙන්න හෝ දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම ආගමික විශ්වාසයන් ගැන දරුවා සමඟ වාද කිරීමෙන් පරාජය අත් වන්නේ ඔබටම බව මතක තබාගන්න.—කොලොස්සි 3:21.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි. ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති සහ ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති’ කෙනෙකු විය යුතුයි. (2 තිමෝති 2:24) දරුවා ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න අසන විට ඒවාට හොඳින් පිළිතුරු දීමට ඔබට හැකිද?

තේරුම්ගන්න

තරුණ වයසේ සිටින ඔබේ දුව හෝ පුතා ප්‍රශ්න අසන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් ඔවුන් එලෙස ප්‍රශ්න ඇසීමට බලපෑ හැකි හේතු කිහිපයක් සලකා බලමු.

  • ක්‍රිස්තියානි සභාවේ තමාට මිතුරෙක් නැහැ කියා හැඟීම. “යාළුවන්ව ඇති කරගන්න මට ලොකු වුවමනාවක් තිබුණු නිසා මම ඉස්කෝලේ යාළුවන්ව කිට්ටුවෙන් ආශ්‍රය කළා. අන්තිමේදී මම දෙවිගෙන් හුඟක් ඈත් වුණා කියලා මට හැඟුණා. අවුරුදු ගාණක් යනකල් දෙවි මගෙන් බලාපොරොත්තු වුණ දේවල් කරන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. දැන් මම ඒ ගැන පසුතැවෙනවා.”—19 හැවිරිදි ලෙනෝරා.

  • තම ආගමික විශ්වාසයන් ගැන අන් අයට පැවසීමට ඇති බිය. “ඉස්කෝලේදී මගේ ආගමික විශ්වාසයන් ගැන මම යාළුවන්ට කිව්වේ නැහැ. මාව බයිබල්කාරයෙක් විදිහට හඳුන්වයිද කියලා මට භය හිතුණා. එයාලට වඩා වෙනස් අදහස් දරන අයව එගොල්ලන් කොන් කළා. මං ඒකට කැමති වුණේ නැහැ.”—23 හැවිරිදි රාමොන්.

  • බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අමාරුයි කියා හැඟීම. “පාරාදීස පොළොවට ඇතුල් වෙන්න මට පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ඒ විදිහටම අදාළ කරගන්න මට බැහැ.”—16 හැවිරිදි රේනා.

දරුවා සමඟ කතා කරන්න

යෞවනයන් මුහුණ දෙන්නේ කුමන අභියෝගවලටද? ඒ ගැන දැනගැනීමට නම් ඔවුන්ගෙන් ඒ ගැන විමසන්න. නමුත් කිසිම අවස්ථාවකදී ඔවුන් සමඟ වාද කරන්න එපා. ඒ වෙනුවට යාකොබ් 1:19හි සඳහන් මෙම උපදෙස අදාළ කරගන්න. ‘ඇහුම්කන් දීමට ඉක්මන් වන්න. කතා කිරීමට ප්‍රමාද වන්න. කෝප වීමටද ප්‍රමාද වන්න.’ පවුලෙන් පිට කෙනෙකු ඔබෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඔබ බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කරනවා. ඒ වගේම ඉතා හොඳින් කරුණු කියා දෙන්න උත්සාහ කරනවා. ඔබේ දුවට හෝ පුතාටත් ඒ හා සමානව සලකන්න.—2 තිමෝති 4:2.

උදාහරණයකට, ඔබේ දුව හෝ පුතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමට අදිමදි කරන විට ඊට හේතුව හඳුනාගැනීමට උත්සාහ කරන්න. එවැනි අවස්ථාවලදී බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කිරීම ඉතා වැදගත්. පහත සඳහන් ආකාරයට ක්‍රියා කළොත් යහපතක් සිදු වෙනවාද කියා කල්පනා කරන්න.

පුතා: රැස්වීම්වලට යන්න මම ආස නැහැ.

තාත්තා: [කේන්තියෙන්] ඇයි? මොකක්ද හේතුව?

පුතා: රැස්වීම්වලට ගියාම මට හරි කම්මැළියි.

තාත්තා: දෙවි අපිට කියලා දෙන දේවල් අහගෙන ඉන්න ඔයාට කම්මැළිද? ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා අපිත් එක්ක ඉන්නකල් ඔයා කැමති වුණත් නැතත් රැස්වීම්වලට යන්න ඕනේ.

දෙමාපියන් දරුවන්ට දෙවි ගැන කියා දිය යුතු බවත් දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතු බවත් බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 6:1) නමුත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ දරුවන් තමන් කියන නිසා ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වෙනවාට නොවෙයි. ඒ වෙනුවට දෙමාපියන් කැමති යෙහෝවා දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයකින් හා ආශාවකින් එවැනි දේවල් කරනවා දකින්නයි.

යෞවනයන් සමහර අවස්ථාවලදී ආගමික විශ්වාසයන් ගැන සැක මතු කරන්නේ ඇයි කියා දෙමාපියන් තේරුම්ගැනීම වැදගත්. ඒ සඳහා ඉහත සඳහන් කළ සාකච්ඡාව වඩාත් පලදායි ලෙස කිරීමට පියාට හැකියාව තිබුණා. එය කළ හැකි ආකාරය පෙන්වන මෙම දෙබස සලකා බලන්න.

පුතා: රැස්වීම්වලට යන්න මම ආස නැහැ.

තාත්තා: [සන්සුන්ව] ඇයි පුතේ ඔයාට එහෙම හිතෙන්නේ?

පුතා: රැස්වීම්වලට ගියාම මට හරිම කම්මැළියි.

තාත්තා: පැයක් දෙකක් එක දිගට ඉඳගෙන ඉන්න වෙන නිසා කම්මැළි හිතෙනවා ඇති. ඒත් වෙන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාට තියෙනවාද?

පුතා: මම දන්නේ නැහැ. ඒ වෙලාවට වෙන කොහේ හරි යන්න තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.

තාත්තා: ඔයාගේ යාළුවන්ටත් එහෙම හිතෙනවා ඇද්ද?

පුතා: මට එක යාළුවෙක්වත් නැහැ. මගේ හොඳම යාළුවා සභාව මාරු කරපු දවසේ ඉඳලා මට එක යාළුවෙක්වත් නැහැ. අනික් හැමෝම සතුටින් හිටියත් මට නම් හරිම පාළුයි.

මෙම දෙබසේදී පුතා අදිමදි නොකර ඔහුගේ අදහස් දැක්වුවේ පියා කලබල නොවී ඔහු සමඟ කතා කළ නිසයි. පියෙක් එලෙස හැසිරෙන විට ඕනෑම අවස්ථාවකදී තමන්ට හැඟෙන ආකාරය ගැන පැවසීමට දරුවන් පසුබට වන්නේ නැහැ.  “ඉවසිලිවන්තව ක්‍රියා කරන්න” යන කොටුව බලන්න.

යොවුන් වියේ සිටින දරුවන් ඔවුන්ගේ අභියෝග ජය ගෙන දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නා විට ඔවුන්ට ඔවුන් ගැනම හොඳ හැඟීමක් ඇති වන අතර දෙවි කෙරෙහි තිබෙන විශ්වාසයද ශක්තිමත් වෙනවා. ඉහත සඳහන් කළ රාමොන්ගේ අද්දැකීම බලන්න. මුලදී ඔහු තම විශ්වාසයන් ගැන අන් අයට පැවසීමට අදිමදි කළා. නමුත් ඒවා ගැන මිතුරන් විහිළු කළත් ඒ ගැන පවසන්න බිය වීමට හේතුවක් නැති බව ඔහු තේරුම්ගත්තා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා.

“දවසක් මගේ පන්තියේ යාළුවෙක් මගේ ආගම ගැන කියලා මට විහිළු කළා. ඒ වෙලාවේ මට කේන්ති ගියත් පන්තියේ අනික් ළමයිනුත් එතැන හිටිය නිසා මම එයාගෙන් ඇහුවා ඔයාගේ ආගමික විශ්වාසයන් මොනවාද කියලා. හැබැයි ඒකට උත්තර දෙන්න එයාට බැරි වුණා. ඒකෙන් මම දැනගත්තා ළමයි විවිධ ආගම්වල හිටියත් එයාලට එයාලගේ ආගම ගැනවත් හරියට දන්නේ නැහැ කියලා. මට නම් මගේ ආගමික විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා ආගමික විශ්වාසයන් ගැන කතා කරද්දී ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියලා මම තේරුම්ගත්තා.”

මෙය අත්හදා බලන්න: ක්‍රිස්තියානියෙක් වීම ගැන ඔබේ දුවට හෝ පුතාට හැඟෙන්නේ කෙසේද කියා දැනගැනීමට මෙසේ අසන්න. ක්‍රිස්තියානියෙක් වීම නිසා ඔයාට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මොන වගේ අභියෝගවලටද? ඔයා මුහුණ දෙන අභියෝගවලට වඩා ඔයාට ලැබිලා තියෙන ප්‍රයෝජන වටින්නේ නැද්ද? (මාක් 10:29, 30) ඒ දේවල් කොළයක සටහන් කරගන්න කියා ඔහුට පවසන්න. තමාට තිබෙන ගැටලුව හඳුනාගන්නත් ඊට සාර්ථකව මුහුණ දෙන්නත් ඔහුට එය උපකාරයක් වෙයි.

තේරුම්ගැනීමේ හැකියාව වැඩි කරගන්න උදව් කරන්න

දරුවෙක් වයසින් වැඩෙත්ම ඔහු සිතන ආකාරය වෙනස් වන බව විශාරදයන් සොයාගෙන තිබෙනවා. (1 කොරින්ති 13:11) දරුවන් කුඩා කාලයේදී යම් දේවල් ඉක්මනින්ම පිළිගත්තත් යොවුන් වියට පැමිණෙන විට ඔවුන් විශ්වාස කරන දේවලට හේතු දැනගන්න උනන්දු වෙනවා. උදාහරණයකට, දෙවි සියල්ල නිර්මාණය කළ බව කුඩා කාලයේදී දරුවන්ට උගන්වන විට ඔවුන් එය පිළිගන්නවා. (උත්පත්ති 1:1) නමුත් දුව හෝ පුතා යොවුන් වියට පැමිණෙන විට මෙවැනි ප්‍රශ්න අසන්න පුළුවන්. ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න තියෙන සාක්ෂි මොනවාද? දෙවි දුෂ්ටකම්වලට ඉඩහැරලා තියෙන්නේ ඇයි? දෙවිට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ කියලා කියන්නේ කොහොමද?’—ගීතාවලිය 90:2.

එවැනි ප්‍රශ්න අසන්නේ ඔහුට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය අඩු වී ඇති නිසා කියා සිතන්න එපා. ඒ වෙනුවට ඉන් පෙන්වන්නේ තම විශ්වාසයන්වලට සාක්ෂි දැනගැනීමට ඔහුට වුවමනා බවයි. අවබෝධයෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානියෙකු වීමට නම් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්.—ක්‍රියා 17:2, 3.

එවැනි ප්‍රශ්න අසද්දී බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඔහු ඉගෙනගන්නවා. (රෝම 12:1, 2) දරුවන්ට කුඩා කාලයේදී දෙවි පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නොහැකියි. නමුත් දරුවන් යෞවන වයසට පැමිණෙන විට ඒ ගැන නොයෙකුත් ප්‍රශ්න අසනවා. ඔවුන් එසේ අසන්නේ ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමටයි. (එෆීස 3:18) ඔවුන්ට ඒ සඳහා උපකාර කිරීම ඉතා වැදගත්. දරුවන් තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.—හිතෝපදේශ 14:15; ක්‍රියා 17:11.

මෙය අත්හදා බලන්න: ආගමික විශ්වාසයන්වලට පදනම සපයන මූලික කරුණු ගැන ඔබේ දුව හෝ පුතා සමඟ සාකච්ඡා කරන්න. උදාහරණයකට, මෙවැනි ප්‍රශ්න ගැන සිතා බැලීමට ඔවුන්ව පොලඹවන්න. ‘දෙවි කෙනෙක් ඉන්න බව පිළිගන්න තිබෙන සාක්ෂි මොනවාද? දෙවි මං ගැන සැලකිලිමත් කියා විශ්වාස කිරීමට හේතු තිබෙනවාද? දෙවිගේ නීතිවලට කීකරු වීම ප්‍රයෝජනවත්ද?’ එම ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු පිළිගැනීමට ඔවුන්ට බල කරන්න එපා. ඒ වෙනුවට ඔවුන්ටම ඒ සඳහා පිළිතුරු සොයාගැනීමට උපකාර කරන්න. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

මුළු සිතින් විශ්වාස කිරීමට උපකාර කරන්න

තිමෝති කුඩා කාලයේ සිටම ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබා තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ වුණත් “ඔබ ඉගෙනගෙන, මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණු දේවල් දිගටම පිළිපදින්න” කියා පාවුල් ඔහුට පැවසුවා. (2 තිමෝති 3:14, 15) ඔබේ දුවට හෝ පුතාටත් ළදරු වියේ පටන්ම බයිබල් ප්‍රතිපත්ති ගැන ඔබ කියා දෙන්න ඇති. නමුත් ඔවුන් ඉගෙනගත් දේවල් විශ්වාස කරන්න ඔබ ඔවුන්ට දැන් උපකාර කළ යුතුයි.

යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 1වන පොතේ මෙසේ සඳහන් වෙනවා. “දරුවා ඔබ යටතේ සිටින තාක් කල් ඔබගේ පවුල තුළ කරන නමස්කාර කටයුතුවලට ඔහු සහයෝගය දක්වයි කියා බලාපොරොත්තු වීමට ඔබට අයිතියක් තිබෙනවා. ඒත් ඔබේ අරමුණ විය යුත්තේ දරුවාගේ හදවතේ දෙවිට ප්‍රේමයක් ඇති කිරීම මිස දරුවාව බලෙන් ඒ දේවලට යොමු කිරීම නොවෙයි.” ඔබ එය මතකයේ තබාගන්නවා නම් ඔවුන් තුළ දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇති කිරීමට ඔබට හැකි වෙයි. *1 පේතෘස් 5:9.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 40 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 මැයි 1 මුරටැඹ කලාපයේ 10-12 පිටු සහ යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 1වන පොතේ 315-318 පිටු බලන්න.

මේ ගැන සිතන්නේ කුමක්ද?

  • ආගමික විශ්වාසයන් ගැන දරුවා ප්‍රශ්න අසද්දී මම ක්‍රියා කරන්නේ කොහොමද?

  • කලින්ට වඩා සාර්ථක විදිහට කටයුතු කරන්න මේ ලිපියේ තොරතුරු යොදාගන්න මට පුළුවන් කොහොමද?