Skip to content

පටුනට යන්න

ඔබ දිනපතා බයිබලය කියවනවාද

ඔබ දිනපතා බයිබලය කියවනවාද

ඔබ කොපමණ වතාවක් කණ්ණාඩියෙන් ඔබේ මුහුණ බලනවාද? අපි අතරින් බොහෝදෙනෙක් දිනකට කිහිප වතාවක්ම එසේ කරනවා ඇති. එයට හේතුව කුමක්ද? ඒ අපි අපේ පෙනුම ගැන සැලකිලිමත් වන නිසයි.

බයිබලය කියවීමත් කණ්ණාඩියකින් මුහුණ බලනවා හා සමානයි. (යාකොබ් 1:23-25) බයිබලය කියවන විට අපේ නියම ස්වභාවය දැනගත හැකියි. (හෙබ්‍රෙව් 4:12) වෙනත් විදිහකින් කියනවා නම් තමන් ඇත්තටම මොන වගේ පුද්ගලයෙක්ද කියා එය පෙන්නුම් කරනවා. කණ්ණාඩියකින් මුහුණ බලන විට සකස් කරගත යුතු පැති මොනවාද කියා දකිනවා හා සමානව බයිබලය කියවන විට අපේ ජීවිතයේ දියුණු කරගත යුතු පැති මොනවාද කියා අපි තේරුම්ගන්නවා.

අපි දියුණු කරගත යුතු පැති මොනවාද කියා පෙන්වා දෙනවාට අමතරව එය කරන ආකාරය ගැනත් බයිබලයේ පෙන්නුම් කරනවා. එහි මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා හරිගැස්වීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය.” (2 තිමෝති 3:16, 17) එහි සඳහන් කරන ප්‍රයෝජන හතරෙන් තුනක්ම බලපාන්නේ පුද්ගලයෙකුගේ ආකල්පවලටයි. ඒවා නම් අවවාද කිරීම, කාරණා හරිගැස්වීම සහ හික්මවීමයි. ඒ අනුව බයිබලයේ ඇති තොරතුරු පුද්ගලයෙකුට තම ආකල්ප සහ හැසිරීම වෙනස් කරගැනීමට උපකාරවත් වෙනවා. එසේනම් දිනපතා බයිබලය කියවීම කොතරම් වැදගත්ද!

උදාහරණයකට පුරාණයේ සිටි ඊශ්‍රායෙල් ජාතියට නායකත්වය සැපයීම සඳහා යෙහෝවා දෙවි යොෂුවාව පත් කළ අවස්ථාවේදී ඔහුට පැවසූ දේ සලකා බලන්න. “මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න. එහි සඳහන් දේවල් ගැන නිතරම අන් අය සමඟ කතා කරන්න. එවිට ඥානවන්තව තීරණ ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන්නේය.” (යොෂුවා 1:8, නව ලොව පරිවර්තනය, NW) ඒ අනුව යොෂුවාට තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා “දිවා රෑ දෙකේම” ශුද්ධ ලියවිල්ල කියවීම අවශ්‍ය වුණා.

බයිබලය දිනපතා කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දුෂ්ටයන්ගේ අවවාද නොපිළිගත්තාවූ, පව්කාරයන් යන මඟෙහි නොගියාවූ, සමච්චල් කරන්නන් සමඟ ඇසුරු නොකළාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය. යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.” (ගීතාවලිය 1:1-3NW) එවැනි සාර්ථක පුද්ගලයෙක් වන්න ඔබත් කැමතිද?

බොහෝ අය දිනපතා බයිබලය කියවීමට පුරුදු වී සිටිනවා. දිනපතා බයිබලය කියවන එක් ක්‍රිස්තියානියෙක් මෙසේ පැවසුවා. “මම දවසකට කිහිප සැරයක්ම දෙවිට යාච්ඤා කරනවා. ඒ වගේම දෙවි මගේ යාච්ඤාවලට සවන් දෙයි කියලත් මම විශ්වාස කරනවා. එහෙමනම් මමත් බයිබලය කියවලා දෙවිට සවන් දෙන එක කොයි තරම් වැදගත්ද! හොඳ යාළුවෙක් වෙන්න ඕනේ නම් තමන් කතා කරනවාට අමතරව යාළුවාට සවන් දෙන්නත් අවශ්‍යයි.” ඔහු පැවසූ දෙයින් අපට යමක් ඉගෙනගන්න පුළුවන්. එනම් බයිබලය කියවීමෙන් දෙවිට සවන් දීමට හැකි බවයි. එසේ කිරීමෙන් දෙවි කාරණා දෙස බලන ආකාරය තේරුම්ගැනීමට අපට හැකි වෙනවා.

අභියෝගය ජය ගැනීම

සමහරවිට ඔබ දැනටමත් සැලැස්මකට අනුව බයිබලය කියවීමට පටන්ගෙන ඇති. ඔබ මුළු බයිබලයම මුල සිට අග දක්වා කියවා තිබෙනවාද? බයිබලය හොඳින් තේරුම්ගැනීමට එය සාර්ථක ක්‍රමයක්. නමුත් සමහර අය මුළු බයිබලයම කියවීමට පටන්ගත්තත් එය අතරමඟදී නතර කර දමනවා. ඔබේ අද්දැකීමත් එයද? එසේනම් බයිබලය සම්පූර්ණයෙන් කියවීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද? පහත දක්වා ඇති යෝජනා ඒ සඳහා ඔබට උපකාරවත් වෙයි.

දිනපතා බයිබලය කියවීමට සැලසුම් කරන්න. ඔබ විවේකීව සිටින වේලාවක් ඒ සඳහා වෙන් කරගන්න. යම් හේතුවක් නිසා ඔබට ඒ වේලාවේදී බයිබලය කියවීම අතපසු වුණොත් අතපසු වූ එම කොටස කියවීම සඳහා වෙනම වේලාවක් වෙන් කරගන්න. එසේ කිරීමෙන් දිනපතා ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ බෙරීයවරුන් මෙන් වීමට ඔබටත් හැකි වෙයි. බයිබලයේ ඔවුන් ගැන සඳහන් වෙන්නේ, “ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය” කියායි.—ක්‍රියා 17:11.

සැලැස්මකට අනුව බයිබලය කියවන්න. ඔබ දිනකට බයිබලයේ පරිච්ඡේද හතරක් හෝ පහක් කියවීමට වෑයම් කළොත් වසරක් ඇතුළත මුළු බයිබලයම කියවීමට ඔබට හැකි වෙනවා. ඉදිරි පිටුවල දක්වා ඇති සටහනේ එය කළ හැකි ආකාරය පෙන්වා තිබෙනවා. එහි “දිනය” සටහන් කිරීමට ඇති තීරුවේ ඔබ බයිබල් කොටස් කියවීමට සැලසුම් කරන දින සටහන් කරගන්න. ඔබ කියවා අවසන් කරන කොටස, නියමිත පරිච්ඡේද ඉදිරියේ ඇති කොටුවේ ලකුණු කරන්න. එසේ කිරීමෙන් ඔබ සැලසුම් කළ ආකාරයට අනුවම ඔබ බයිබලය කියවනවාද කියා පරීක්ෂා කළ හැකියි.

එම සැලැස්මට අනුව ඔබ මුළු බයිබලයම කියවා අවසන් කළායැයි සිතන්න. ඉන්පසුව ඔබට කළ හැක්කේ කුමක්ද? ඉදිරි වර්ෂවලදීත් එම සැලැස්මම යොදාගන්න. අවශ්‍ය නම් ඔබට ඒ සැලැස්ම වෙනස් කරන්නත් පුළුවන්. උදාහරණයකට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගෙන මුළු බයිබලයම කියවීමට සැලසුම් කළ හැකියි. එමෙන්ම කලින් ඔබ බයිබලය කියවූ අනුපිළිවෙළ වෙනස් කළ හැකියි.

‘මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන’ නිසා කලින් කලට අපිට විවිධ තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. (1 කොරින්ති 7:31) බයිබලය කියවන හැම වාරයකදීම අපේ ජීවිතයට අදාළ කරගත හැකි අලුත් දෙයක් අපි ඉගෙනගන්නේ ඒ නිසයි. එමෙන්ම දෙවිට සවන් දෙන්නත් අපට හැකි වෙනවා. (ගීතාවලිය 16:8) එසේනම් දිනපතාම බයිබලය කියවීමට ඔබ ගන්නා අධිෂ්ඨානය මොන තරම් ප්‍රයෝජනවත්ද!