Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න

විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න

ඇය පැවසුවේ: “ටික දවසක ඉඳන් මයිකල් ඒ කියන්නේ මගේ සැමියා ඉස්සරට වඩා වෙනස් කියලා මට දැනුණා. එයා මං ගැනවත් දරුවන් ගැනවත් එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා මට තේරුණා. * අපිට අන්තර්ජාල පහසුකම් ලැබුණට පස්සේ තමයි මයිකල් වෙනස් වෙන්න පටන්ගත්තේ. එයා අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹනවාද කියලා මට සැක හිතුණා. දවසක් දරුවන් නින්දට යන කල් ඉඳලා මම එයත් එක්ක ඒ ගැන ටිකක් කතා කළා. එතකොට මයිකල් කිව්වා එයා අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නැරඹුවා කියලා. ඒක ඇහුවම මට හරියට දුක හිතුණා. එයා ගැන මට තිබුණු විශ්වාසය නැති වෙලා ගියා. මේ වෙද්දී මගේ රැකියා ස්ථානයේ පුද්ගලයෙක් මාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න උත්සාහ කරනවා කියලා මට දැනුණා. ඉතින් මේ හැම දෙයක්ම අපේ විවාහ බැඳීමට ලොකු තර්ජනයක් වුණා.”

ඔහු පැවසුවේ: “ටික දවසකට පස්සේ මරියා ඒ කියන්නේ මගේ බිරිඳ අපේ පරිගණකයේ කාමුක පින්තූරයක් තියෙනවා දැක්කා. එයා ඒ ගැන මගෙන් ප්‍රශ්න කළා. එතකොට මම වරද පිළිගෙන එයාට කිව්වා මම දිගටම ඒ වගේ පින්තූර බැලුවා කියලා. ඒ වෙලාවේ මට මං ගැනම ලැජ්ජා හිතුණා. අපේ පවුල දෙකඩ වෙලා යයි කියලා මං භය වුණා.”

මයිකල් සහ මරියා අතර තිබුණු බැඳීමට සිදු වී ඇත්තේ කුමක්ද? සමහරවිට එම ප්‍රශ්නයට මූලික හේතුව මයිකල් කාමුක දර්ශන නැරඹීම කියා ඔබ සිතයි. නමුත් මයිකල් තේරුම්ගත් ආකාරයට එයට හේතුව ඔවුන්ගේ විවාහ බැඳීම දුර්වල වී තිබීමයි. * ඔවුන් දෙදෙනා විවාහ දිවියට පා තැබුවේ ආදරයෙන් හා සතුටින් ජීවත් වෙන්නයි. නමුත් කාලය ගෙවී යද්දී බොහෝ විවාහ යුවළයන්ට සිදු වෙනවා හා සමානව මේ දෙදෙනාගේ බැඳීමත් ටිකෙන් ටික අඩු වී ගියා.

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තිබුණු බැඳීම දැන් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා කියා ඔබට හැඟෙනවාද? ඔබේ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට ඔබ කැමතිද? ඒ සඳහා පහත සඳහන් ප්‍රශ්න තුනට පිළිතුරු සලකා බැලීම ඔබට උපකාරවත් වේවි. විවාහ බැඳීම යනු කුමක්ද? එය දුර්වල විය හැක්කේ කෙසේද? එය ශක්තිමත් කරගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

විවාහ බැඳීම යනු කුමක්ද?

බොහෝ අය සිතන්නේ යුවළක් එකමුතුව ජීවත් විය යුත්තේ දරුවන් නිසා බවයි. එමෙන්ම විවාහය ආරම්භ කළ දෙවිව අසතුටට පත් කිරීමට තිබෙන අකමැත්ත නිසාත් යුවළක් එක්ව සිටීමට උත්සාහ කරන්න පුළුවන්. (උත්පත්ති 2:22-24) එය යම් දුරකට ප්‍රශ්න ගැටලු හමුවෙහි සාර්ථකව කටයුතු කිරීමට යුවළකට උපකාරයක් විය හැකියි. ඒ වුණත් සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් යුවළක් එකිනෙකාට බැඳී සිටිය යුත්තේ වගකීම් නිසාම නොවෙයි. ඒ වෙනුවට යුවළක් බැඳී සිටිය යුත්තේ ප්‍රේමය නිසයි.

යෙහෝවා දෙවි විවාහය ඇති කළේ යුවළක් සතුටින් ජීවත් වෙනවා දකින්නයි. ඒ නිසා ස්වාමිපුරුෂයා තම “බිරිඳ සමඟ ප්‍රීති” වීමත් බිරිඳ පුරුෂයාට ආදරය කිරීමත් දෙවි බලාපොරොත්තු වෙනවා. (හිතෝපදේශ 5:18, නව ලොව පරිවර්තනය, NW; එෆීස 5:28) එවැනි ආකාරයේ බැඳීමක් දෙදෙනෙක් අතර ඇතිවීමට නම් යුවළක් එකිනෙකාව විශ්වාස කළ යුතු අතර ශක්තිමත් මිත්‍රත්වයක්ද ඔවුන් අතර තිබිය යුතුයි. මෙසේ විවාහ යුවළක් එකිනෙකාව විශ්වාස කරමින් සැබෑ මිත්‍රත්වයක් ඇති කරගන්නවා නම් ඔවුන් දෙදෙනා අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. බයිබලයේ එවැනි යුවළක්ව හඳුන්වන්නේ “එක මාංසයක්” ලෙසයි.—මතෙව් 19:5.

ශක්තිමත් ලෙස ගොඩනඟා තිබෙන නිවසක ගල් එකිනෙක බැඳීම සඳහා යොදාගෙන තිබෙන බදාමවලට විවාහ බැඳීම සමාන කළ හැකියි. සාමාන්‍යයෙන් බදාම සාදාගැනීමට වැලි, වතුර හා සිමෙන්ති අවශ්‍ය වෙනවා. ඒ හා සමානව විවාහ බැඳීමක් ඇති වන්නේ වගකීම්, විශ්වාසය හා මිත්‍රත්වය යන සාධක මතයි. එසේනම් විවාහ බැඳීම දුර්වල කරන දේවල් මොනවාද?

විවාහ බැඳීම දුර්වල කරන හේතු මොනවාද?

විවාහ බැඳීම ශක්තිමත් වීමට නම් තමන්ගේම ඕනෑ එපාකම්වලට වඩා අනික් තැනැත්තාගේ ආශාවන්ට මුල් තැන දීමට සිදු වෙනවා. නමුත් මෙසේ කිරීමෙන් තමන්ට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන නිසා එය තේරුමක් නැති දෙයක් කියා සමහර අය සිතන්න පුළුවන්. ඔබටත් එසේ හැඟී තිබෙනවාද? එසේනම් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන අයගෙන් කීයෙන් කීදෙනාද ඔවුන්ගේ විවාහයන් සාර්ථක කරගෙන තිබෙන්නේ?’ සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමී කෙනෙක් අනික් තැනැත්තාගේ ඕනෑ එපාකම්වලට මුල් තැන නොදෙන නිසා විවාහ බැඳීම දුර්වල වෙනවා. දෙදෙනෙක් මුලදී එකිනෙකාට කොතරම් ආදරය කළත් ඔවුන් දෙදෙනා අතර තිබෙන බැඳීම දුර්වල වුණොත් යුග දිවිය නිරස වෙනවා.

සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට නම් දැඩි වෑයමක් දැරිය යුතු බව බයිබලයේ පෙන්නුම් කරනවා. ඒ නිසයි එහි මෙසේ සඳහන් වෙන්නේ. “විවාහක පුරුෂයා තම භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ දේ ගැන කරදර වන්නේය.” එමෙන්ම ‘විවාහක ස්ත්‍රියද තම ස්වාමිපුරුෂයාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ දේ ගැන කරදර වන්නීය.’ (1 කොරින්ති 7:33, 34) කනගාටුවට කරුණක් වන්නේ අනික් තැනැත්තාගේ අවශ්‍යතාවලට මුල් තැන දී කටයුතු කරන අය පවා සමහර අවස්ථාවල තම සහකරු හෝ සහකාරිය කරන කැප කිරීම් අගය නොකිරීමයි. විවාහ යුවළක් එකිනෙකාව අගය නොකරන විට විවාහය තුළ නොයෙකුත් දුෂ්කර තත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා.—1 කොරින්ති 7:28.

දුෂ්කර කාලවලදී පවා විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමට නම් ඔබ දෙදෙනා අතර ඇති බැඳීම ජීවිතාන්තය දක්වා පවතින්නක් බව සැලකිය යුතුයි. එවැනි ආකල්පයක් ඇතුව ක්‍රියා කළ හැක්කේ කෙසේද? එමෙන්ම ඔබ දෙදෙනා අතර තිබෙන බැඳීම සැමදා පවත්වාගෙන යෑම සඳහා ඔබේ සහකරුව හෝ සහකාරියව දිරිගැන්විය හැක්කේ කෙසේද?

බැඳීම ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා කළ යුතු මූලිකම දේ වන්නේ බයිබලයේ සඳහන් ප්‍රමිති තමන්ටම අදාළ කරගැනීමයි. එසේ කිරීමෙන් ඔබ දෙදෙනාටම “ප්‍රයෝජන” ලබාගත හැකියි. (යෙසායා 48:17) විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා ඔබට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් සලකා බලමු.

1. විවාහ ජීවිතයට මුල් තැන දෙන්න.

“වඩා වැදගත් දේවල්” තීරණය කරගන්න කියා බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (ෆිලිප්පි 1:10) විවාහ යුවළක් එකිනෙකාට සලකන ආකාරය ගැන දෙවි ඉතා සැලකිලිමත්. ඒ නිසා තම බිරිඳට ගෞරව කරන සැමියෙක් දෙවිගේ ගෞරවය ලබනවා. එමෙන්ම තම සැමියාට ගෞරව කරන බිරිඳක් ‘දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටිනවා.’—1 පේතෘස් 3:1-4, 7.

ඔබේ විවාහ ජීවිතය ඔබට කොතරම් වටිනවාද? සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන් කැමති දේවල් වෙනුවෙන් වැඩිපුර කාලය ගත කරනවා. දැන් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘පසුගිය මාසයේදී මගේ සහකරු හෝ සහකාරිය සමඟ මම කොතරම් කාලයක් ගත කර තිබෙනවාද? අපි අතර තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට මම කර තිබෙන්නේ මොනවාද?’ විවාහ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා යුවළක් ලෙස එකට කාලය ගත කිරීම ඉතා වැදගත්. ඔබ එසේ කරන බව ඔබේ සහකරුට හෝ සහකාරියට දැනිය යුතුයි.

විවාහ බැඳීම ශක්තිමත් කිරීමට ඔබ පියවර ගන්නවා කියා ඔබේ සහකරු හෝ සහකාරිය සිතනවාද? එය දැනගත හැක්කේ කෙසේද?

මෙය අත්හදා බලන්න. පහත සඳහන් දේවල් පහ කඩදාසියක සටහන් කරගන්න. මුදල්, රැකියාව, විවාහය, විනෝදය සහ මිතුරන්. ඉන්පසු ඔබේ සහකරු හෝ සහකාරිය ඒවාට මූලිකත්වය දෙන්නේ කෙසේදැයි කියා සිතා ඔබ ඒවා අංක කරන්න. පසුව ඒ දේම කරන්න කියා ඔබේ සහකරුට හෝ සහකාරියටත් පවසන්න. ඒ අනුව ඔබ විවාහයට මූලිකත්වය දී නැති බව ඔබේ සහකරුට හෝ සහකාරියට හැඟෙනවා නම් ඒ වෙනුවෙන් කළ හැකි දේවල් ගැන සාකච්ඡා කරන්න. එමෙන්ම ‘මගේ සහකරු හෝ සහකාරිය උනන්දුව දක්වන දේවලට අවධානයක් දිය හැක්කේ කෙසේද’ කියා ඔබෙන්ම අසාගන්න.

2. අනාචාරයට රුකුල් දෙන සියල්ල ප්‍රතික්ෂේප කරන්න.

ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ යෙදී ඇති බව යේසුස් පැවසුවා. (මතෙව් 5:28) විවාහ වූ කෙනෙක් අනියම් සබඳතා පැවැත්වීමෙන් විවාහ බැඳීමට හානියක් ගෙනෙන අතර එය දික්කසාදයටත් පදනමක් සපයන බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 5:32) යේසුස් ඉහත පැවසූ ආකාරයට කෙනෙක් අනාචාරයේ යෙදෙන්න පෙලඹෙන්නේ කාමුක සිතුවිලි කාලයක් පුරා ඔහුගේ මනසේ ක්‍රියාත්මක වීම නිසයි. මෙසේ එවැනි නරක සිතුවිලි වර්ධනය වීමට ඉඩහැරීමෙන් කෙනෙක් විවාහ බැඳීමට හානි පමුණුවනවා.

ඔබ දෙදෙනා අතර තිබෙන විවාහ බැඳීම ශක්තිමත්ව තබාගැනීම සඳහා කාමුක දර්ශන නැරඹීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. එය විවාහය බිඳ දමන දෙයක්. පුරුද්දක් ලෙස කාමුක දර්ශන නරඹන සැමියෙකුගේ බිරිඳක් පවසන දේ සලකා බලන්න. “මගේ සැමියා කියන්නේ කාමුක දර්ශන නැරඹීමෙන් අපි අතර තියෙන ආදරය තවත් වැඩි වෙනවා කියලයි. හැබැයි එයා ඒ දේ කරද්දී මට හිතෙන්නේ මම කිසිම වැඩකට නැති පුරුෂයාව සතුටු කරන්න බැරි කෙනෙක් කියලයි. එයා කාමුක දර්ශන නරඹද්දී මම හොඳටම අඬනවා.” මෙවැනි සැමියෙක් විවාහ බැඳීම තවත් ශක්තිමත් කරනවාද? නැතිනම් ඊට හානි පමුණුවනවාද? එසේ කිරීමෙන් ඔහු බිරිඳව කිට්ටු මිතුරියක් සේ සලකනවා කියා පැවසිය හැකිද? විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට එය බිරිඳට උපකාරවත් වෙනවාද?

පුරාණයේ සිටි යෝබ් “කන්‍යාවක් දෙස” නොබැලීමට ඔහුගේ “දෑස් සමඟ ගිවිසුමක්” ඇති කරගත්තා. එයින් ඔහු පෙන්වූයේ විවාහ බැඳීම රැකගෙන දෙවිට පක්ෂපාතව සිටීමට ඔහු තුළ තිබූ වුවමනාවයි. (යෝබ් 31:1NW) ඔබටත් යෝබ්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

කාමුක දර්ශන නැරඹීමෙන් වළකිනවාට අමතරව ඔබ පරෙස්සම් විය යුතු තවත් පැත්තක්ද තිබෙනවා. එනම් ඔබේ හදවතේ වෙනත් කෙනෙකු ගැන නුසුදුසු ආලවන්තකම් ඇතිවීමට ඉඩ නොදීමයි. අද බොහෝදෙනා සිතන්නේ වෙනත් කෙනෙකුට ආලවන්ත හැඟීම් පෑමෙන් විවාහයට තර්ජනයක් ඇති නොවන බවයි. නමුත් එසේ සිතීමේ ඇති අන්තරාව ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරයි. එහෙයින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටයි. ඒ සිත තේරුම්ගත හැක්කේ කාටද?” (යෙරෙමියා 17:9NW) ඔබේ සිතත් ඔබව රවටා තිබෙනවාද? ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මං වැඩි සැලකිල්ලක් දක්වන්නේ මගේ සහකරු හෝ සහකාරියටද නැත්නම් වෙනත් කෙනෙකුටද? මම සතුටුදායක ආරංචි මුලින්ම පවසන්නේ කාටද? මම වෙනත් පිරිමි කෙනෙකු සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය සීමා කරන්න කියා මගේ සැමියා මට පැවසුවොත් හෝ මම වෙනත් කාන්තාවක් සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය සීමා කරන්න කියා මගේ බිරිඳ මට පැවසුවොත් මං ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? මම කේන්ති ගන්නවාද? නැත්නම් ඒ වෙනස්කම් කැමැත්තෙන්ම කරනවාද?’

මෙය අත්හදා බලන්න. ඔබගේ විවාහ සහකරුට අමතරව වෙනත් කෙනෙකු කෙරෙහි ඔබ වැඩි සැලකිල්ලක් දක්වනවාද? එසේනම් ඒ පුද්ගලයා සමඟ ඇති කරගෙන තිබෙන සබඳතාවය සීමා කර අත්‍යවශ්‍ය කාරණා ගැන පමණක් කතා කරන්න. ඒ තැනැත්තාව හෝ තැනැත්තියව ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය සමඟ සසඳමින් ඔහු හොඳයි කියා සිතන්න එපා. ඒ වෙනුවට ඔබ විවාහ වී සිටින කෙනාගේ හොඳ ගුණාංග ගැන සිතන්න. (හිතෝපදේශ 31:29) ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ විවාහ වීමට තීරණය කළේ ඔහු හෝ ඇය තුළ තිබුණු කුමන හොඳ ගුණාංග නිසාද කියා කල්පනා කරන්න. ‘මගේ සහකරු හෝ සහකාරිය ඒ ගුණාංග දැන් විදහාපාන්නේ නැද්ද? නැත්නම් මම දැන් ඔහුගේ හොඳ ගුණාංග අගය කරන්නේ නැද්ද?’

පියවර ගන්න

මේ ලිපියේ සඳහන් කළ මයිකල් හා මරියා ඔවුන්ගේ ගැටලු විසඳාගැනීමට උපදෙස් ලබාගැනීමට තීරණය කළා. මෙසේ එකිනෙකාගේ වැරදි තේරුම්ගෙන ඒවා විසඳාගැනීමට එම යුවළ වෑයම් දැරීමෙන් පෙනී යන්නේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්න දෙදෙනා තුළම උනන්දුවක් තිබූ බවයි.

සමහරවිට ඔබේ විවාහය සාර්ථක තත්වයක තිබෙන්න පුළුවන්. නැත්නම් ඔබේ විවාහ ජීවිතය තුළ යම් ගැටලුසහගත තත්වයන් තිබෙනවා ඇති. ඒ කුමන තත්වයක් මැද වුණත් විවාහ බැඳීම සාර්ථක කරගැනීම සඳහා ඔබ ලොකු උත්සාහයක් දරන බව ඔබේ සහකරුට හෝ සහකාරියට දැනෙන්න අවශ්‍යයි. ඒ සඳහා ඔබට කළ හැකි උපරිමය කරන්න.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. මෙහි සඳහන් කර තිබෙන්නේ කාමුක දර්ශන නරඹන සැමියෙක් ගැන වුණත් එවැනි දර්ශන නරඹන බිරිඳක් නිසාත් විවාහ බැඳීම පලුදු වෙනවා.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මගේ සහකරු හෝ සහකාරිය සමඟ වැඩිපුර කාලය ගත කිරීම සඳහා මම කුමක් කළ යුතුද?

  • විවාහ බැඳීම ගැන මම සැලකිලිමත් බව මගේ සහකරුට හෝ සහකාරියට පෙන්විය හැක්කේ කෙසේද?