Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

ග්‍රෙගෝරියෝ හා මාරිලූ කියන්නේ 30 ගණන්වල පසු වන යුවළක්. ඒ දෙන්නා රැකියාවක් කරන අතරෙම මැනිලා නගරයේ තිබුණ සභාවක පුරෝගාමීන් විදිහටත් සේවය කළා. බැංකුවක වැඩ කරපු මාරිලූට ටික කාලයක් යද්දී කළමනාකාර තනතුරකුත් ලැබුණා. “අපි දෙන්නම හොඳ රැකියාවල් කරපු හින්දා ගත කළේ සැප පහසු ජීවිතයක්” කියලා මාරිලූ කියනවා. ඔන්න ඔය කාලේදී තමයි එයාලගේ සිහින මාලිගාව හදන්න මැනිලා නගරයේ ඉඳලා කිලෝමීටර් 19ක් විතර දුරින් ඉඩමක් ගත්තේ. ගේ හදන්න ගොඩනැඟිලි ඉදි කරන ආයතනයකට භාර දීලා ඒකට වැය වෙන මුදල අවුරුදු දහයක් ඇතුළත වාරික වශයෙන් ගෙවන්න ඒ දෙන්නා පොරොන්දු වුණා.

“මට හිතුණේ මං යෙහෝවා දෙවිගෙන් හොරකම් කරනවා කියලයි”

මාරිලූ මෙහෙම කියනවා. “ලැබුණ උසස් වීම නිසා මගේ කාලෙන් වැඩි හරියක්ම ගත වුණේ බැංකුවේ. ඒ නිසා සේවය, රැස්වීම්, අධ්‍යයනය වගේ දේවල් කරන්න මට කලින් තිබුණ උනන්දුව ටිකෙන් ටික අඩු වෙලා ගියා. පුරෝගාමි සේවයත් හරියට කරගන්න බැරි වුණා. ඒ නිසා මට හිතුණේ මං යෙහෝවා දෙවිගෙන් හොරකම් කරනවා කියලයි.” තමන් ගත කරමින් හිටපු ජීවිතේ ගැන ඒ දෙන්නම හිටියේ අසතුටින්. “අපිට ඕනෙ වුණේ ඉක්මනින්ම අපි ගත කරපු ජීවිතේ වෙනස් කරන්නයි. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපිට දරුවෝ හිටියෙත් නැති නිසා දෙවිට වැඩි  සේවයක් කරන්න පුළුවන් කොහොමද කියලා අපි කතා කළා. ඒ ගැන දෙවිට යාච්ඤා කළා” කියලා ග්‍රෙගෝරියෝ කියනවා.

ඒ කාලේදී වගේ තමයි සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න උනන්දු කරපු කතා කිහිපයක්ම එයාලට අහන්න ලැබුණේ. ඒ ගැන ග්‍රෙගෝරියෝ මෙහෙම කියනවා. “අපිට දැනුණේ යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලයි.” ඒත් ඒ දෙන්නා ඉදිරියේ ලොකු අභියෝගයක් තිබුණා. ඒ තමයි ඒගොල්ලෝ අලුතින් හදන්න පටන්ගත්ත නිවස. ඒ වෙනකොටත් අවුරුදු තුනක් පුරා වාරික ගෙවලයි තිබුණේ. “ගේ හදන්න භාර දීපු ආයතනය එක්ක ඇති කරගත්ත ගිවිසුම නතර කළොත් ඒ වෙනකම් අපි ගෙවපු සල්ලි ඔක්කොම අපිට නැති වෙනවා. ඒක සෑහෙන ලොකු මුදලක්. ඒත් අපේ ආසාවන්ට මුල් තැන දෙනවද නැත්නම් යෙහෝවා දෙවිට මුල් තැන දෙනවද කියලා අපිට තීරණය කරන්න වුණා.” එහෙම කිව්වේ මාරිලූ. දෙවි මත විශ්වාසය තියලා දේවල් කරන්න උදව් කරන්න කියලා ඒ දෙන්නම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. පාඩුවක් සිද්ධ වෙනවා කියලා දැන දැනත් එයාලා ගේ හදන ගිවිසුම නතර කළා. ඊටපස්සේ රැකියාවලින් අයින් වෙලා, වටිනා බඩු හුඟක් විකුණලා, මැනිලා නගරයේ ඉඳලා කි.මී. 480ක් විතර දුරින් තිබුණ පාලාවන් කියන දූපතට ගියා. ඒ වගේ තීරණයක් ගන්න, දෙවි වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් අත්හැරිය පාවුල්ගේ ආදර්ශයත් ඒ දෙන්නට උදව් වුණා.—ෆිලි. 3:8.

“තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස” ඉගෙනගත්තා”

පාලාවන් දූපතට යන්න කලින්ම ග්‍රෙගෝරියෝ හා මාරිලූ සරල ජීවිතයකට හැඩගැහෙන්න පටන්ගත්තා. ඒත් එහෙට ගියාම තමයි සරල ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලන්ට හරියටම තේරුණේ. මාරිලූට හැඟුණේ මෙහෙමයි. “මුල් දවස්වල මට හරිම අමාරු වුණා. මෙහේ විදුලියත් නැහැ. විදුලි උපකරණවලින් උයන්න පිහන්න පුරුදු වෙලා හිටපු මට දර ලිපෙන් උයන්න වුණා. දර හොයන එක, පළන එක ලේසි දෙයක් නෙවෙයි. සාප්පු සවාරි යන එක, කෑමකට එළියට යන එක වගේ නගරේ ගත කරපු ජීවිතේ නිතරම මට මතක් වුණා.” හැබැයි ඒ දෙන්නා පාලාවන්වලට ආපු හේතුව නිතරම මතක් කරගත්ත නිසා ඒ ජීවිතේට හැඩගැහෙන්න පුරුදු වුණා. “මෙහේ පරිසරය හරිම ලස්සනයි. වටපිටාවේ තියෙන දේවල් බලලා අපි ලොකු සතුටක් ලබනවා. හැබැයි මේ ප්‍රදේශයේ ඉන්න අය ශුභාරංචියට ආසාවෙන් ඇහුම්කන් දෙද්දී අපිට ඊටත් වඩා ලොකු සතුටක් දැනෙනවා. ඇත්තෙන්ම ‘තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස’ අපි ඉගෙනගත්තේ මෙහෙට ආවට පස්සෙයි” කියලා මාරිලූ කියනවා.—ෆිලි. 4:12.

“සභාවේ වර්ධනය දකිද්දී අපිට දැනෙන සතුට වෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැහැ. ඉස්සරට වඩා දැන් අපිට ලොකු තෘප්තියක් දැනෙනවා.”—ග්‍රෙගෝරියෝ හා මාරිලූ

ග්‍රෙගෝරියෝ මෙහෙම කියනවා. “අපි මෙහෙට එද්දී සාක්ෂිකරුවන් හිටියේ හතරදෙනයි. හැම සතියකම බයිබල් දේශනයක් දුන්න නිසත් ගිටාර් එක ගහලා ගීතිකා කියන්න සහය වුණ නිසත් එයාලා හුඟක් සතුටු වුණා. මේ සභාවේ අයගේ ආදරේ අපිට නිතරම දැනෙනවා.” පාලාවන්වල හිටපු පුංචි කණ්ඩායම අවුරුද්දක් ඇතුළත ප්‍රචාරකයන් 24ක් දක්වා වර්ධනය වුණ විදිහ දැක්කම  ඒ දෙන්නට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! එහේ ගත කරපු අවුරුදු හය ගැන ඒ දෙන්නා මෙහෙම කියනවා. “සභාවේ වර්ධනය දකිද්දී අපිට දැනෙන සතුට වෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බැහැ. ඉස්සරට වඩා දැන් අපිට ලොකු තෘප්තියක් දැනෙනවා.”

“යෙහෝවා දෙවි යහපත් කියලා මම රස බලලා දැනගත්තා”

පිලිපීනයේ ඉන්න සහෝදර සහෝදරියන් 3,000ක් විතර ඒ රටේම ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරනවා. ඒ අයගෙන් 500ක් විතර තනිකඩ සහෝදරියන්.

කැරන්

කැරන් කියන්නේ වයස අවුරුදු 25ක විතර තනිකඩ සහෝදරියක්. යෞවන කාලේ ඉඳන්ම වැඩිපුර දෙවිට සේවය කරන්න කැරන්ට ආසාවක් තිබුණා. “තියෙන්නේ තව ටික කාලයක් නිසා පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න ඕනෙ කියලා මං දැනගෙන හිටියා. ඒ නිසා ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න මං ආසාවෙනුයි හිටියේ.” ඒත් පවුලේ සමහර අය නම් එයාට බල කළේ වැඩිපුර ඉගෙනගන්න කියලයි. කැරන් ඒ ගැන දෙවිට යාච්ඤා කළා. ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල සේවය කරන කිහිපදෙනෙක් එක්කත් කතා කළා. කැරන්ට අවුරුදු 18ක් වුණාම එයා හිටපු නගරෙට කි.මී. 64ක් විතර එහායින් තිබුණ ප්‍රදේශයක සේවය කරන්න ගියා.

කැරන් සේවය කරන්න ගියේ පැසිෆික් වෙරළ තීරයට කිට්ටුවෙන් තිබුණ කඳුකර ප්‍රදේශයකට. ගිය ගමන ගැන එයා මෙහෙම කියනවා. “අලුත් සභාව තිබුණ තැනට යන්න අපි දවස් තුනක් තිස්සේ ඇවිද්දා. ඒ ගමනෙදී තිස් පාරක් විතර කඳු නඟින්න, බහින්න, ගංගාවල් හරහා යන්න සිද්ධ වුණා.” ඒ ගිය ගමන විතරක් නෙවෙයි, එහේ සේවය කරන එකත් කැරන්ට ලේසි වුණේ නැහැ. “මගේ සමහර බයිබල් පාඩම්වලට යන්න පැය හයක් විතර ඇවිදින්න වුණා. ඒ වගේ දවස්වල රෑ එහේ ඉඳලා පහුවෙනිදා ආයෙත් පැය හයක් ඇවිදගෙන ගෙදර එනවා.” ඒ මහන්සියට ප්‍රතිඵල ලැබුණද? “සමහර දවස්වලට මගේ කකුල් දෙක හොඳටම රිදුණා තමයි. ඒත් මට බයිබල් පාඩම් 18ක් කරන්න පුළුවන් වුණ එක ගැන මං හිටියේ හරිම සතුටෙන්. ඇත්තටම යෙහෝවා දෙවි යහපත් කියලා මම රස බලලා දැනගත්තා.”—ගීතා. 34:8.

‘දෙවි මත රඳා ඉඳලා වැඩ කරන්න පුරුදු වුණා’

සූකි

ඇමරිකාවේ ජීවත් වුණ සූකි, ඉන්දියානු සම්භවයක් තිබුණ කෙනෙක්. එයා අවුරුදු 40ක් විතර වයස තනිකඩ සහෝදරියක්. 2011දී සූකි ගිය සමුළුවක තිබුණ කතාවකදී, විවාහක යුවළක්ව සම්මුඛ සාකච්ඡාවකට ගෙන්නුවා. ඒ යුවළට තිබුණ හුඟක් දේවල් විකුණලා මෙක්සිකෝවට ගිහින් සේවය කරන විදිහ ගැන ඒ දෙන්නා එදා කිව්වා. “එදා තමයි මට හිතුණේ මීට වඩා සේවයක් කරන්න මටත් පුළුවන් නේද කියලා.” පස්සේ එයාට දැනගන්න ලැබුණා පිලිපීනයේ පන්ජාබි භාෂාව කතා කරන අය ඉන්න ප්‍රදේශයේ සේවය කරන්න ප්‍රචාරකයන් ඕනෙ කරනවා කියලා. ඒ නිසා එහෙට යන්න සූකි තීරණය කළා.

“යන්න ඉස්සෙල්ලා විකුණන්නේ මොනවද, තියාගන්නේ මොනවද කියලා තීරණය කරන එක තමයි හරිම අමාරු වුණේ. අවුරුදු 13ක්ම මම පුරුදු වෙලා හිටියේ තනියම මගේ ගෙදර ජීවත් වෙන්නයි. පිලිපීනයට යන්න  ඉස්සෙල්ලා මං ඒ ගෙදර අත්හැරලා ටික දවසකට අම්මලගේ ගෙදර ගියා. මං හුරු වෙලා හිටපු විදිහ ඊට වඩා වෙනස් නිසා ඒක එච්චර ලේසි වුණේ නැහැ. ඒත් සරල ජීවිතයක් ගත කරන්න ඒක මට හොඳ පුහුණුවක් වුණා.” පිලිපීනයට ගියාට පස්සේ සූකිට තිබුණ අභියෝග මොනවද? “මං කොහොමටත් කැරපොත්තෝ වගේ පුංචි සත්තුන්ට බයයි. ඒ වගේම නිතරම පවුලේ අයවත් මතක් වුණා. ඒත් මම හැම වෙලාවෙම දෙවි මත රඳා ඉඳලා වැඩ කරන්න පුරුදු වුණා. ඒ නිසා ‘මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියලා බලන්න’ කියන යෙහෝවා දෙවිගේ වචන සත්‍යයයි කියලා මම ඇත්තටම අද්දැක්කා. විශේෂයෙන්ම කාටහරි දේශනා කළාට පස්සේ ‘ඔයා ආයේ කවදද එන්නේ, මට ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා’ කියලා ඒ කෙනා කියද්දී යෙහෝවා දෙවි මට ආශීර්වාද කරනවා කියලා මට දැනුණා. ඒක මට ලොකු සතුටක්. වෙන තැනකට ගිහින් සේවය කරන්න තීරණයක් අරන් ඒක කරන්න පටන්ගන්නකල් විතරයි අමාරු. ඒත් එහෙම කරන්න ගත්තට පස්සේ දෙවි අපිට උදව් කරන විදිහ නම් හරිම පුදුමයි.”—මලා. 3:10.

‘බය නැති කරගත්තා’

තිස් ගණන්වල ඉන්න සයිමේ විවාහකයෙක්. එයා පිලිපීන ජාතිකයෙක් වුණත් රැකියාව කළේ මැදපෙරදිග රටක. ඒ රටේ හිටපු සංචාරක සේවකයෙක්ගෙන් ලැබුණ දිරිගැන්වීම නිසත් පාලක මණ්ඩලයේ සහෝදරයෙක් දුන්න කතාවක් නිසත් සයිමේ තීරණයක් ගත්තා ජීවිතේ මුල් තැන දෙවිට දෙන්න ඕනෙ කියලා. “ඒත් රස්සාවෙන් අයින් වෙන එක ගැන නම් මට තිබුණේ ලොකු බයක්” කියලා එයා කියනවා. ඒත් සයිමේ රැකියාවෙන් අයින් වෙලා ආපහු පිලිපීනයට ආවා. අද වෙනකොට සයිමෙත් එයාගේ බිරිඳ හයිඩිත් පිලිපීනයේ දකුණු ප්‍රදේශයේ තියෙන ප්‍රචාරකයන් අඩු සභාවක සේවය කරනවා. “රස්සාව අත්හරින්න තිබුණ බය නැති කරගෙන යෙහෝවා දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න ලැබුණ එක ගැන දැන් මම හුඟක් සතුටු වෙනවා. අපිට පුළුවන් උපරිමය දෙවිට දෙන එක තරම් සතුටක් තවත් නැහැ.”

සයිමේ සහ හයිඩි

“තෘප්තිය විස්තර කරන්න නම් වචන නැහැ”

රාමිලෝ සහ ජූලියට් කියන 30 ගණන්වල ඉන්න යුවළත් ඈත ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඉදිරිපත් වුණ දෙන්නෙක්. ඒ දෙන්නට සේවය කරන්න ලැබුණේ කි.මී. 30ක් විතර ඈතින් තියෙන ප්‍රදේශයක. රැස්වීම්වලට සහ සේවයේ හවුල් වෙන්න, හැම සතියකම අව්ව වැස්ස බලන්නේ නැතුව මෝටර් සයිකලෙන් මේ දෙන්නා ඒ දුර යනවා. වළවල් පිරුණ පාරවල්වලත් එල්ලෙන පාලම් උඩිනුත් නිතර නිතර යන ඒ ගමන නම් ලේසි එකක් නෙවෙයි. ඒත් වැඩිපුර දෙවිට සේවය කරන්න ලැබුණ එක ගැන ඒ දෙන්නා ඉන්නේ හරිම සතුටෙන්. “අපි දෙන්නා දැන් බයිබල් පාඩම් 11ක් කරනවා. වැඩියෙන් අවශ්‍යතාව තියෙන පැත්තකට ගිහින් සේවය කරන එක අමාරුයි තමයි. ඒත් ඒකෙන් ලැබෙන තෘප්තිය විස්තර කරන්න නම් වචන නැහැ.”—1 කොරි. 15:58.

ජූලියට් සහ රාමිලෝ

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔබත් කැමතිද? එහෙමනම් ඔබේ චාරිකා සේවක එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වගේම 2011 අගෝස්තු ‘රාජ්‍ය සේවාවේ’ පළ වුණ “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබට හැකිද?” කියන ලිපියත් බලන්න.