Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ප්‍රශ්නය

ඔබේ දුව කියනවා එයාට ලොකු පීඩනයක් දැනෙවා කියලා. ඔබට මෙහෙම හිතෙයි. ‘මේ අවුරුදු දහතුනේ ළමයට මොන පීඩනයක්ද? පීඩනය කියන්නේ මොකක්ද කියලවත් එයා දන්නවද මන්දා.’ ඒත් ඔබට හිතෙන දේ දුවට කියන්න කලින් දුව එහෙම කිව්වේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න.

ඇයි එහෙම වෙන්නේ?

ශරීරයේ සිදු වෙන වෙනස්කම්. ඔබේ දුව ඉන්නේ මල්වර වියේ නම් එයාට කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාගේ සම වයසේ ළමයින්ට වඩා කලින් හෝ ප්‍රමාද වෙලා එයාගේ ශරීරයේ වෙනස්කම් සිදු වෙද්දී දුවට කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. දැන් වයස 20ක් වන ඇනා * ඒ ගැන කිව්වේ මෙහෙමයි. “යාළුවෝ කට්ටියගෙන් ඉස්සෙල්ලම බ්‍රා එකක් ඇන්දේ මම. අනිත් අයට වඩා මම අමුතු කෙනෙක් වගේයි මට දැනුණේ.”

මානසික වෙනස්කම්. දැන් වයස 17ක් වන කැරන් මෙහෙම කියනවා. “ඒ කාලේ මගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියලා මං දැනගෙන හිටියේ නෑ. සමහර දවස්වල උදේ ඉඳන් මං සතුටින් හිටියට කිසිම හේතුවක් නැතුව රෑට දුක හිතිලා අඬනවා.”

වැඩිවියට පත් වීම. “ලොකු ළමයෙක් වෙද්දී වෙන දේවල් ගැන අම්මා මට කියලා තිබුණා. ඒත් මට මෙච්චර අපහසුවක් දැනෙයි කියලා මං හිතුවේ නෑ. මට දැනුණේ ලොකු අප්පිරියාවක්. ඒ නිසා මං දහ ගමනක් විතර නෑවා. මගේ අයියලා තුන්දෙනාට මාව විහිළුවක් වුණා. මට තිබුණ අමාරුව එයාලට තේරුණේ නෑ.” එහෙම කිව්වේ යෞවනියක් වන කැත්ලීන්.

යාළුවන්ගෙන් එල්ල වන පීඩනය. “අවුරුදු 12ත් 14ත් අතර කාලේදී මට යාළුවන්ගේ පීඩනය තදින්ම දැනුණා. මොකද ඉස්කෝලේ ළමයි එයාලට වඩා වෙනස් විදිහට ඉන්න අයව කොන් කෙරුවා.” එහෙම කිව්වේ 18 හැවිරිදි මරී. “යාළුවෝ, මාවත් එයාලගේ හොඳ යාළුවෙක් හැටියට පිළිගන්වාට තමයි මං කැමති. මාව කොන් කරනවාට කැමතිම නෑ” කියලා කිව්වේ 14 හැවිරිදි අනීටා.

මොනවද කරන්න පුළුවන්?

දුවට දැනෙන පීඩනය ගැන කියන්න ඉඩ හරින්න. මුලදී දුව කතා කරන්න මැළි වෙයි. ඒත් ඔබ ඉවසිලිවන්තව බයිබලයේ දීලා තියෙන මේ උපදෙස පිළිපදින්න. ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න.’—යාකොබ් 1:19.

දුවට දැනෙන පීඩනය සැහැල්ලුවට ගන්න එපා. ඔබට තරම් දුවට ජීවිතේ ගැන අද්දැකීම් නැහැ. ඒ නිසා පීඩනයක් දැනෙනකොට ඒකට මුහුණ දෙන්න එයා දන්නෙ නැහැ කියලා අමතක කරන්න එපා.—රෝම 15:1 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඕනෑවට වඩා අමතර දේවල්වලට දුවව යොමු කරන්න එපා. යෞවන දරුවන්ට ඕනෑවට වඩා අමතර ක්‍රියාකාරකම් වැඩි වුණාම “දරුවන්ට පීඩනයක් දැනෙනවා කියලත් ඒ නිසා ඔළුව කැක්කුම, බඩේ කැක්කුම වගේ අසනීප නිතර හැදෙන්න පුළුවන් කියලත්” එක පොතක සඳහන් වුණා. (Teach Your Children Well)—ෆිලිප්පි 1:9, 10 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දුව ප්‍රමාණවත් විවේකයක් ගන්නවාද කියලා හොයලා බලන්න. යෞවන දරුවන් නින්ද ගැන එච්චර හිතන්නේ නැහැ. ප්‍රමාණවත් නින්දක් ගත්තේ නැත්නම් දරුවගේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. එතකොට එයාට පීඩනයට සාර්ථකව මුහුණ දෙන්න අමාරුයි.—දේශනාකාරයා 4:6 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

පීඩනය අඩු කරගන්නෙ කොහොමද කියලා දුවට කියලා දෙන්න. සමහර අයට ව්‍යායාම් කරන එකත් හොඳ බෙහෙතක්. තවත් අය තමන්ට පීඩනයක් ඇති කරන දේවල් මොනවාද කියලා පොතක ලියන එකෙනුත් සහනයක් ලබලා තියෙනවා. 22 හැවිරිදි බ්‍රිටනි මෙහෙම කිව්වා. “පොඩි කාලේ මට විසඳගන්න බැරි ප්‍රශ්නයක් ආවම මං ඒක පොතක ලිව්වා. ප්‍රශ්න තේරුම්ගන්නත් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නත් ඒක මට උදව් වුණා. තේරුමක් නැති ප්‍රශ්න මං අතහැරලා දැම්මා.”

ඔබත් හොඳ ආදර්ශයක් වෙන්න. පීඩනයක් දැනෙද්දී ඔබ කොහොමද කටයුතු කරන්නේ? ඔබට කරන්න පුළුවන් තරමට වඩා දේවල් කරන්න ගිහින් පීඩනයකට ලක් වෙනවාද? ජීවිතේ වැදගත් දේවල්වලට කාලය වෙන් කරන්න බැරි තරමට ඔබ වැඩවලින් හෙම්බත් වෙලාද? බයිබලයේ කියන්නේ “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලයි. (ෆිලිප්පි 4:5) අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඒ නිසා ඔබ දුවට හොඳ ආදර්ශයක් වෙන්න ඕනේ කියන එක අමතක කරන්න එපා.

^ 6 ඡේ. නම් වෙනස් කර ඇත.