Skip to content

පටුනට යන්න

අපස්මාරය ගැන ඔබ දැන ගත යුතු දේ

අපස්මාරය ගැන ඔබ දැන ගත යුතු දේ

කෙනෙක් එකපාරටම ඇදගෙන වැටෙනවා. එයාගේ අත පය දරදඬු වෙලා ගැහෙන්න පටන්ගන්නවා. එයාට හැඳිලා තියෙන්නේ අපස්මාරය. ඒ වගේ රෝගියෙකුට වෛද්‍ය ප්‍රතිකාරයක් ලැබෙන කල් උදව් කරන්න ඔයාටත් පුළුවන්. ඒ නිසා අපස්මාරය නැත්නම් මීමැස්මොරය කියන්නේ මොකක්ද කියලා දැනගමු.

මොකක්ද මේ අපස්මාරය? මොළයේ ඇති වන අසාමාන්‍ය තත්වයක්. මේ වගේ තත්වයක් පවතින්නේ විනාඩි පහකට වඩා අඩු කාලයකටයි. කලින් ඡේදයේ සඳහන් කළේ දරුණු අපස්මාර (grand mal seizure) තත්වයක් ඇති වුණාම සිදු වන දේ.

එහෙම වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් මොළයේ ස්නායු සෛලවල විද්‍යුත් සංඥා ගමන් කරන්නේ අවශ්‍ය වෙලාවලට විතරයි. ඒත් ස්නායු සෛල හරහා වේගයෙන් අසාමාන්‍ය ලෙස විද්‍යුත් සංඥා ගමන් කරද්දී තමයි මේ රෝගී තත්වය ඇති වෙන්නේ. නමුත් ඒ වගේ අසාමාන්‍ය තත්වයක් මොළයේ ඇති වෙන්නේ ඇයි කියලා හරියටම දන්නේ නැහැ.

දරුණු අපස්මාර රෝගියෙකුට උදව් කරන්නේ කොහොමද? ඒ ගැන එක පොතක මෙහෙම කියලා තිබුණා. “රෝගියාගේ ගැහෙන තත්වය ඉවර වෙන තෙක් කිසිවක් නොකළ යුතුයි. රෝගියා සිටින තැන අනතුරුදායකද ඔහුට හොඳින් හුස්ම ගන්න පුළුවන්ද කියා සොයා බලන්න. ගැහෙන තත්වය විනාඩි පහකට වඩා තියෙනවා නම්, ඒ එක්කම නැවතත් ඒ රෝගී තත්වය ඇති වුණා නම් හෝ ගැහෙන එක නතර වෙලා විනාඩි කිහිපයක් ගියාට පසුවත් සිහිය ආවේ නැත්නම් වහාම ගිලන් රථයක් ගෙන්වන්න.”—The Encyclopedia of the Brain and Brain Disorders.

අපිට කරන්න පුළුවන් මොනවාද? රෝගියාගේ හිසට යටින් නැමූ තුවායක් වගේ දෙයක් තියන්න පුළුවන්. ඔහු අසල අනතුරුදායක දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ගැහෙන එක නතර වුණාට පස්සේ අනිත් පිටුවේ පින්තූරයේ පෙනෙන විදිහට රෝගියාව පැත්තට හරවන්න.

රෝගියාට සිහිය ආවට පස්සෙ උදව් කරන්නේ කොහොමද? ඔහුව සන්සුන් කරන්න. නැඟිටින්න උදව් කරලා විවේක ගන්න පුළුවන් තැනකට ඔහුව ගෙනියන්න. හුඟක් රෝගීන් සිහිය ආවට පස්සෙ සිදු වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරි තත්වයකයි ඉන්නේ. ඒ වගේම ඔවුන්ට නිදිමත ගතියක් දැනෙන්නත් පුළුවන්. ඒත් තවත් අය ඉක්මනින්ම යථා තත්වයට පත් වෙනවා.

අපස්මාරය හැදෙන හැම කෙනෙක්ම ගැහෙනවාද? නැහැ. සමහර රෝගීන්ට ඇති වෙන්නේ සිහි මද ගතියක් විතරයි. මෙය සුළු අපස්මාර (petit mal seizure) තත්වයක්. මේ තත්වය පවතින්නේ තත්පර කිහිපයකට විතරයි. යථා තත්වයට පත් වුණාට පස්සේ රෝගියාට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. සමහර රෝගීන්ට මේ තත්වය විනාඩි කිහිපයක් දක්වා තියෙන්න පුළුවන්. ඒ වගේ රෝගීන් කාමරේ එහා මෙහා ඇවිදිනවා, ඇඳුම් ඉරාගන්න හදනවා එහෙමත් නැත්නම්  අමුතු විදිහට හැසිරෙනවා. නමුත් විනාඩි කිහිපයකට පස්සේ සාමාන්‍ය තත්වයට පත් වෙනවා.

අපස්මාර රෝගියෙක්ගේ නිතරම මනසේ තියෙන්නේ මොනවාද? ඒ වගේ කෙනෙක් ඒ ලෙඩේ කොයි වෙලේ හරි හැදෙයි කියලා බයෙන් ඉන්නේ. ඒ නිසා සමාජ ආශ්‍රයෙන් වැළකෙනවා.

ඒ වගේ කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද? එයාගේ හිතේ තියෙන දේ කියන්න දිරිගන්වන්න. ඒ ගැන කියද්දී ඇහුම්කන් දෙන්න. ඒ ලෙඩේ හැදුණු වෙලාවට මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා අහන්න. ලෙඩේ තියෙන හුඟක් අය වාහන පදවන්නේ නැති නිසා ඔයාගේ වාහනේ එයාලව එක්කන් යන එක වගේ දේකින් උදව්වක් කරන්න ඔයාට පුළුවන්.

හැදෙන වාර ගණන අඩු කරගන්න හරි ලෙඩේ වළක්වගන්න හරි පුළුවන්ද? නිදි මැරීම හා මානසික පීඩනය වගේ දේවල් නිසා අපස්මාරය හැදෙන වාර ගණන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මානසික පීඩනය අඩු කරගන්න දිනපතා ව්‍යායාම් කරන එකත් ප්‍රමාණවත් විවේකයක් ගන්න එකත් හොඳයි කියලා වෛද්‍යවරුන් කියනවා. දීලා තියෙන බෙහෙත් හරි විදිහට ගන්නවා නම් ලෙඩේ හැදෙන එක වළක්වගන්නත් පුළුවන්.