Skip to content

පටුනට යන්න

සියලු ජාතීන් සඳහා ශුභාරංචියක්—බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 5වෙනි කොටස

සියලු ජාතීන් සඳහා ශුභාරංචියක්

සියලු ජාතීන් සඳහා ශුභාරංචියක්—බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 5වෙනි කොටස

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

යෙහෝවා දෙවියන් මනුෂ්‍ය වර්ගයාට දී තිබෙන පණිවිඩය සඳහන් වන්නේ බයිබලය තුළයි. එම පණිවිඩය ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ වූ අතර යේසුස් තම ජීවිත කාලයම කැප කළේ ඒ ගැන ජනයාට පැවසීමටයි. (ලූක් 4:43) දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී සියලුම මිනිස් පාලන ක්‍රම දෙවියන් ඉවත් කරයි. එමෙන්ම ඔහු මිනිසා අද්දකින දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන අතර සාමය උදා කර දෙනු ඇත. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) මෙය ඇත්තෙන්ම ශුභාරංචියක් නොවේද! එවැනි ශුභාරංචියක් හැකි තරම් පිරිසකට පැවසීම බොහෝ සේ වටී.

යේසුස් මිය යන විට ඔහුට සිටියේ අනුගාමිකයන් සුළු පිරිසකි. එසේනම් ඔහුගේ මරණයත් සමඟම ශුභාරංචිය ව්‍යාප්ත වීම අඩාළ වෙයිද? නැත. බයිබලයේ පවසා තිබුණේ කොතරම් පීඩා පැමිණියත් ශුභාරංචිය ලොව පුරා ව්‍යාප්ත වන බවයි. දැන් අප ඒ සම්බන්ධයෙන් පවසා තිබූ අනාවැකි තුනක් සලකා බලමු. (1) ශුභාරංචිය ලොව පුරා දේශනා කරනු ලබයි. (2) පීඩා පැමිණෙයි. (3) ව්‍යාජ ක්‍රිස්තියානීන් බිහි වී බොහෝදෙනෙකුව නොමඟ යවයි.

ශුභාරංචිය ලොව පුරා දේශනා කරනු ලබයි

අනාවැකිය:

“සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුයි.” (මාක් 13:10) “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8.

ඉටු වීම: යේසුස් මිය ගියේ ක්‍රිස්තු වර්ෂ 33දීය. ඉන් වැඩි කලක් ගත වීමට පෙර ඔහුගේ අනුගාමිකයෝ යෙරුසලම පුරාම ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට සමත් වූහ. වසර 15ක් තරම් කෙටි කාලයක් ඇතුළතදී මුළු යූදා දේශයේද සමාරිය අවට ප්‍රදේශවලද ඔවුහු ශුභාරංචිය දේශනා කළෝය. එමෙන්ම රෝම අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශවලටත් ශුභාරංචිය පැතිර වීමට ක්‍රිස්තියානීන්ව යවන ලදි. මේ හේතු නිසා ක්‍රි.ව. 61 වන විට “දුර ඈත කෙළවර” දක්වා ශුභාරංචිය පැතිර තිබුණා කියා කිව හැකියි.

ඉතිහාසයෙන් සාක්ෂි:

  • මුල් ක්‍රිස්තියානි ආගම ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව දෙවන සියවසේදී ලියැවුණු වෙනත් පොත් පත්වලත් සඳහන් වේ. රෝම ඉතිහාසඥ සිව්ටෝනියස් පවසන්නේ ක්‍රි.ව. 49 වන විටත් ක්‍රිස්තියානි ධර්මය රෝමයේ ව්‍යාප්ත වී තිබූ බවයි. බිතිනියේ ආණ්ඩුකාරයා වූ බාල ප්ලිනි විසින් ක්‍රි.ව. 112දී පමණ ට්රේජන් අධිරාජ්‍යයාට යැවූ ලිපියක ක්‍රිස්තියානි ධර්මය ගැන සඳහන් කරමින් මෙසේ පවසා තිබුණි. එය “නගරවල පමණක් නොව ගම් දනව් හා ගොවිපොළවල පවා වසංගතයක් මෙන් පැතිරෙමින් තිබේ.” තවත් ඉතිහාසඥයෙක් පවසන මේ දෙයින් එම කාරණය තවත් තහවුරු වේ. ඔහු පැවසුවේ “යේසුස්ගේ මුල් ගෝලයන්ගේ ඇවෑමෙන් වසර 100ක් ගත වීමටත් පෙර රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරවල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වී තිබුණු” බවයි.

  • මහාචාර්ය හෙන්රි චැඩ්වික් විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ. “ක්‍රිස්තියානි ධර්මය මේ තරම් සාර්ථක ලෙස ව්‍යාප්ත වෙයි කියා කිසිවෙකුවත් සිතන්න නැතුව ඇති.”—The Early Church.

පීඩා පැමිණෙයි

අනාවැකිය:

“මිනිසුන් ඔබව උසාවිවලට භාර දෙයි. සිනගෝගවලදී ඔබට තළයි. ඔබට ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියෙහි පෙනී සිටින්නත් සිදු වෙයි. ඒ සෑම දෙයක්ම ඔබට විඳින්න සිදු වන්නේ මා නිසයි. එය මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.”—මාක් 13:9.

ඉටු වීම: යුදෙව්වන් සහ රෝමවරුන් විසින් ක්‍රිස්තියානීන්ට බොහෝ සේ පීඩා කරන ලදි. අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, පහර දීම් වැනි පීඩාවලට ඔවුන්ට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව ඔවුන්ට මරණය පවා හිමි විය.

ඉතිහාසයෙන් සාක්ෂි:

  • යේසුස්ගේ සහෝදරයෙක් වූ යාකොබ්ව, යුදෙව් ආගමික නායකයන් විසින් ඝාතනය කළ බව යුදෙව් ඉතිහාසඥයෙක් වූ ෆ්ලේවියස් ජොසීෆස්ගේ වාර්තාවල සඳහන් කර ඇත. යුදෙව් මන්ත්‍රණ සභාවේ පිළිගත් සාමාජිකයෙක් වූ ගමාලියෙල්, යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව තිබූ නඩු විභාගයක් පැවැත්වූ අවස්ථාවකදී ඔවුන්ට පක්ෂව කතා කළ බව බයිබලයේ සඳහන් වේ. (ක්‍රියා 5:34-39) එවැනි කෙනෙක් සිටි බවත් ඔහු විවෘතව කතා කළ කෙනෙක් බවත් වෙනත් විද්වතුන්ගේ වාර්තාවලින් සනාථ වේ.

  • ක්‍රිස්තු වර්ෂ 64 එනම් නීරෝ අධිරාජ්‍යයාගේ පාලන සමයේ සිට රෝම පාලකයන් ක්‍රිස්තියානීන්ට දැඩි ලෙස පීඩා කළ බව ඉතිහාසඥයන් පවසයි. ක්‍රිස්තියානි ධර්මය අත් නොහරින අයට දිය යුතු දඬුවම ගැන ට්රේජන් අධිරාජ්‍යයා සහ ආණ්ඩුකාරයා වූ බාල ප්ලිනි හුවමාරු කරගත් ලිපියක සඳහන් වී තිබුණි.

  • “පීඩා පැමිණෙන විට ක්‍රිස්තියානි ධර්මය යටපත් වී යනවා වෙනුවට සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි” කියා මහාචාර්ය චැඩ්වික් සඳහන් කරයි. පැමිණි පීඩා නිසා ක්‍රිස්තියානීන් වෙනත් පළාත්වලට පලා ගිය අතර ඒ ප්‍රදේශවලත් ඔවුහු ශුභාරංචිය දේශනා කළෝය. (ක්‍රියා 8:1) ඔවුන්ට පවුලේ සමාජිකයන්ගෙන් වගේම මිතුරන්ගෙන්ද බොහෝ පීඩා එල්ල විය. සැලකිය යුතු කාරණයක් වූයේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ” මෙන්ම “සාමාන්‍ය මිනිසුන්” වූ යේසුස්ගේ අනුගාමිකයන්ට කිසිම දේශපාලන සහයෝගයක් නොමැතිව ඔවුන්ගේ වැඩකටයුතු හොඳින් කරගෙන යෑමට හැකි වීමය. (ක්‍රියා 4:13) ඉතිහාසඥයන් පවසන්නේ ‘කුඩා කඩහිමියන් සහ වෙළෙඳුන් වැනි සාමාන්‍ය ජනයා අතරේ ශුභාරංචිය පැතිර ගිය’ බවයි.

සාමාන්‍ය මිනිසුන් වූ ක්‍රිස්තියානීන් දරුණු පීඩා මැද පවා එතරම් සාර්ථක ලෙස ශුභාරංචිය ව්‍යාප්ත කළේ කෙසේද කියා මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගැන අධ්‍යයනය කළ විද්වතුන් පුදුමයට පත් වේ. නමුත් පීඩා මැද වුණත් ක්‍රිස්තියානීන් ශුභාරංචිය ව්‍යාප්ත කරන බව යේසුස් පවසා තිබුණි. ඒත් මෙම ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යයට බාධා ඇති වන බව බයිබලයේ සඳහන් විය.

ව්‍යාජ ක්‍රිස්තියානීන් බිහි වෙයි

අනාවැකිය:

“රැළට කිසිම ආදරයක් නොදක්වන රෞද්‍ර වෘකයන් හා සමාන පිරිසක් ඔබ අතරට එන බව මම දන්නවා. ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:29, 30) ‘ඔබ අතරෙහි බොරු ගුරුවරු සිටිනු ඇත. ඔවුහු රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරෙහි පතුරුවයි. එමගින් සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙනු ඇත.’—2 පේතෘස් 2:1, 2.

ඉටු වීම: දරුණු, අන් අයව රවටන, කෑදර මිනිසුන් ක්‍රිස්තියානි සභාවට ඇතුල් වූ නිසා එය දූෂ්‍ය විය.

ඉතිහාසයෙන් සාක්ෂි:

  • යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් පසු ක්‍රිස්තියානි සභාවේ සිටි සමහර අය විසින් ග්‍රීක දර්ශනවාදී අදහස්වලින් සත්‍ය ඉගැන්වීම් විකෘති කරන ලදි. පූජක පන්තිය බලයට හා ධනයට තිබූ කෑදරකම නිසා දේශපාලනඥයන් මෙන් කටයුතු කිරීමට පටන්ගත්හ. ඉතිහාසඥයන් පවසන්නේ ක්‍රිස්තියානි ධර්මය රෝමයේ රාජ්‍ය ආගම ලෙස නිර්දේශ කරන විට එය මුල් ක්‍රිස්තියානි ධර්මයට වඩා හාත්පසින්ම වෙනස් ආගමක් වී තිබුණු බවයි.

  • ඉන් ඉදිරියට ගෙවුණු සියවස් ගණනාව තුළ මෙම දූෂිත ක්‍රිස්තියානි ආගම අපරාධ හා කෑදරකමට උල්පන්දම් දුන් ආගමක් බවට පත් විය. පූජකයෝ, යේසුස්ව අනුගමනය කරනවා වෙනුවට යේසුස් මෙන් ශුභාරංචිය දේශනා කළ අයටත් පොදු ජනයාගේ භාෂාවට බයිබලය පරිවර්තනය කළ අයටත් පීඩා කළහ.

පසුගිය ශතවර්ෂ ගණනාව ඇතුළත මෙම ව්‍යාජ ක්‍රිස්තියානීන්ට විශාල බලයක් තිබුණු අතර ශුභාරංචිය යටපත් වී ගිය බවක් දිස් විය. එහෙත් යේසුස් පැවසුවේ රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය අවසාන කාලයේදී නැවත ඉස්මතු වන බවයි. ඔහු එය නිදර්ශනයකින් පැහැදිලි කළේය. එනම් ව්‍යාජ ක්‍රිස්තියානීන්ව කිරිඳි ලෙසත් සැබෑ ක්‍රිස්තියානීන්ව තිරිඟු ලෙසත් නම් කළ අතර අස්වැන්න නෙළන කාලයේදී ඔවුන්ව වෙන් කරන බව ඔහු පැවසුවේය. (මතෙව් 13:24-30, 36-43) දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන බවට යේසුස් පැවසූ අනාවැකිය අවසාන කාලයේදී මහා පරිමාණයකින් ඉටු වේ. (මතෙව් 24:14) අපගේ ඊළඟ සඟරාවේ සලකා බලන්නේ එම සුවිශේෂී අනාවැකිය ගැනය.