Skip to content

පටුනට යන්න

මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?

මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?

මෝසෙස් මෙලොව එළිය දුටුවේ මරණ තර්ජන හමුවේය. ඔහුගේ සෙනඟ තැනින් තැන ගමන් කරන ඥාති පවුල් කිහිපයකින් සෑදුණි. ඔවුහු දේශයේ ඇති වූ සාගතයක් නිසා යාකොබ් නොහොත් ඊශ්‍රායෙල් නම් වූ ඔවුන්ගේ පියා සමඟ ඊජිප්තුවට ගොස් පදිංචි වූහ. දශක ගණනාවක් පුරාම ඔවුන් ඊජිප්තුවරුන් සමඟ සමාදානයෙන් වාසය කර තිබුණි. එහෙත් තත්වය භයංකර අතට පෙරළුණි. ගෞරවයට පාත්‍ර වූ එක්තරා ඓතිහාසික වාර්තාවක මෙසේ සඳහන් වේ. “අලුත් රජෙක් [ඊජිප්තුව] කෙරෙහි පත් වුණේය. ඔහු තමාගේ සෙනඟට කතා කොට: බලව, ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෙනඟ අපට වඩා බොහෝව වඩා බලවත්ව සිටිති. එන්න, ඔවුන් බෝ නොවන පිණිස . . . ඔවුන් සමඟ නුවණින් ක්‍රියා කරමුයයි කීවේය.” ඔවුන් යෙදූ උපාය කුමක්ද? ඔවුහු ඊශ්‍රායෙලිතයන් වර්ධනය නොවන පිණිස ඔවුන්ව වහලුන් බවට පත් කර ඔවුන්ට “තදබල වැඩ” පැවරූහ. තවද, ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම ඝාතනය කරන මෙන් හෙබ්‍රෙව් වින්නඹු කාන්තාවන්ට ඔවුහු අණ කළහ. (නික්මයාම 1:8-10, 13, 14) ඒ කොහොම වුණත්, එම අණට කීකරු වීම ප්‍රතික්ෂේප කළ වින්නඹු කාන්තාවන්ගේ නිර්භීතකම හේතුවෙන් ඊශ්‍රායෙලිත ජනයා සඵල වූහ. එමනිසා, ඊජිප්තුවේ රජු නියෝග කළේ ‘උපදින්නාවූ සියලු පුත්‍රයන්ව [නයිල්] ගඟේ දමන්න’ කියාය.—නික්මයාම 1:22.

“රජුගේ ආඥාවට භය නොවූ” අම්රාම් හා යොඛෙබෙද් නම් වූ ඊශ්‍රායෙලිත යුවළක් විය. (හෙබ්‍රෙව් 11:23NW) යොඛෙබෙද් පුතෙක් බිහි කළාය. ඔහු ‘දෙවි ඉදිරියේ බොහෝ ශෝභනව සිටි’ * දරුවෙකු බව පසු කලෙක සඳහන් විය. (ක්‍රියා 7:20NW) මෙම දරුවා දෙවිගේ අනුග්‍රහය ලැබූ බව ඔවුන් සමහරවිට වටහාගන්නට ඇත. ඒ කෙසේවෙතත්, ඔවුන් තමන්ගේ දරුවාව ඝාතනය කිරීමට නම් ඉඩහැරියේ නැත. ඔවුහු තමන්ගේ ජීවිත පරදුවේ තබමින් දරුවාව සඟවා තැබීමට තීරණය කළහ.

මාස තුනක් ගෙවුණු පසු මෝසෙස්ගේ දෙමව්පියන්ට ඔහුව තවදුරටත් සඟවා තැබීමට නොහැකි විය. ඔවුන්ට ගත හැකි වූයේ එකම එක පියවරයි. යොඛෙබෙද්, පැපිරස් බටවලින් තැනූ පෙට්ටියකට ළදරුවාව දමා ඔහුව නයිල් ගඟේ පා කර හැරියාය. මෙසේ, ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට ඇය නොදැනුවත්වම දායක විය!—නික්මයාම 2:3, 4.

සැබෑ සිදුවීම්ද?

මෙම සිදුවීම් සැබෑ ඒවා නොවන බව පවසමින් බොහෝ විශාරදයෝ ඒවා පසෙක දමති. ක්‍රිස්ටියැනිටි ටුඩේ නම් සඟරාවේ මෙසේ පවසා තිබුණි. “ඇත්තෙන්ම කියනවා නම් ඊශ්‍රායෙල්ගේ දරුවන් ඊජිප්තුවේ [වසර ගණනාවක්] නැවතී සිටියායයි පැවසෙතත් ඒ ගැන ඍජුව තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි අල්ප මාත්‍රයක්වත් ලැබී නැත.” ඍජුව තහවුරු කරන භෞතික සාක්ෂි නොතිබුණද බයිබල් වාර්තාවේ විශ්වාසවන්ත බව වක්‍රව තහවුරු කරන සාක්ෂි බොහොමයක් තිබේ. ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙලිතයෝ (සිංහලෙන් නැත) නමැති තම කෘතියේ ජේම්ස් කේ. හොෆ්මයර් මෙසේ සඳහන් කරයි. “ලෙවන්ට් ප්‍රදේශයේ [මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර දේශ සීමාවේ පිහිටි රටවල] ජනයා නිතරම පාහේ ඊජිප්තුවට ගමන් ගත් බව පුරාවිද්‍යාඥයන් රැස් කරගෙන තිබෙන දත්තවලින් පැහැදිලි වේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු පාදක වූයේ දුෂ්කර දේශගුණික තත්වයන් නිසා ඇති වූ නියඟයන්ය. . . . එමනිසා, දළ වශයෙන් ක්‍රි.පූ. 1800 සිට 1540 දක්වා වූ කාලයේදී පමණ ආසියාවේ බස්නාහිර පළාතේ විසූ සෙමිටික් වර්ගයට අයත් ජනයාහට ඊජිප්තුව ආකර්ෂණීය දේශයක් විය.”

තවද, ඊජිප්තුවේ වහලුන් පිළිබඳව බයිබලයේ දී ඇති විස්තරය නිවැරදියයි කාලාන්තරයක් තිස්සේ පිළිගෙන ඇත. මෝසෙස්ගේ ජීවිත කතාව (සිංහලෙන් නැත) නමැති කෘතියේ මෙසේ සඳහන් වේ. “පෙනෙන ආකාරයට, ඊශ්‍රායෙලිතයන්ව පීඩාවට පත් කිරීම පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාව තහවුරු කරන සිතුවමක් පුරාණ ඊජිප්තුවේ සොහොනක හමු වී තිබේ. නිතර මුද්‍රණයට පත් වන එම සිතුවමේ, වහලුන් මඩවලින් ගඩොල් සාදන ආකාරය සවිස්තරාත්මකව නිරූපණය කර ඇත.”

යොඛෙබෙද් භාවිත කළ කුඩා පෙට්ටිය ගැන බයිබලයේ දී තිබෙන විස්තරයද විශ්වාස කිරීමට සාධක තිබේ. බයිබලයේ පවසන්නේ එය පැපිරස් බටවලින් සෑදූ බවයි. කුක්ගේ කොමෙන්ට්‍රිහි සඳහන් වන පරිදි, “ඊජිප්තුවරු වේගයෙන් යාත්‍රා කරන සැහැල්ලු බෝට්ටු සෑදීමට සාමාන්‍යයෙන් [පැපිරස්] භාවිත කළහ.”

එහෙත් රටේ නායකයෙකු සිතක් පපුවක් නැති විදිහට ළදරුවන්ව ඝාතනය කිරීමට අණ කරාවියයි විශ්වාස කිරීම දුෂ්කර දෙයක් නොවේද? විශාරද ජෝර්ජ් රෝලින්සන් අපට මෙසේ සිහිගන්වයි. “ළදරු ඝාතන . . . විවිධ කාල වකවානුවලදී හා විවිධ ප්‍රදේශවලදී බහුලව දක්නට ලැබුණු අතර ඒ ගැන එතරම් තැකීමක් කළේද නැත.” ඇත්තෙන්ම, නූතන කාලවලදී එවැනිම හද සලිත කරවන ආකාරයේ සමූලඝාතන අනන්ත අප්‍රමාණයක් සිදු වී ඇත. බයිබල් වාර්තාව තැතිගන්වනසුලු එකක් වුවද එය විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන බව අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි.

පාරාවෝගේ පවුලේ දරුවෙකු ලෙස

යොඛෙබෙද්, ළදරුවාට ඕනෑ දෙයක් වුණාවේ කියා නිකම් සිටියේ නැත. ඇය “[පෙට්ටිය] ගං ඉවුරේ පන් ගස් අතරේ තැබුවාය.” පෙට්ටිය එතැන තබා ගියොත් එය යමෙකු විසින් සොයාගනු ඇතැයි කියා ඇය බලාපොරොත්තු වන්නට ඇත. පාරාවෝගේ දියණිය නෑම සඳහා පැමිණියේ එතැනටය. සමහරවිට ඇය නිතරම එතැනට ආවා විය හැකියි. *නික්මයාම 2:2-4.

කුඩා පෙට්ටිය ඉක්මනටම සොයාගනු ලැබීය. “[පාරාවෝගේ දියණිය] ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පා කොට: මොහු හෙබ්‍රෙව්වරුන්ගේ දරුවෙකැයි කීවාය.” ඊජිප්තු කුමාරිකාව දරුවාව ඇගේම දරුවෙකු ලෙස හදා වඩා ගැනීමට තීරණය කළාය. දරුවාගේ දෙමව්පියන් ඔහුට මුලින්ම තැබූ නම දැන් මතකයෙන් බොඳ වී ගොස් ඇත. ඔහුව හදාගන්න ගත් මව දුන් නමිනුයි අද ලෝ වටා සිටින ජනයා විසින් ඔහුව හඳුන්වනු ලබන්නේ. ඒ මෝසෙස් යන නමයි. *නික්මයාම 2:5-10.

එහෙත් ඊජිප්තු කුමාරිකාවක් එවැනි දරුවෙකු තමාගේ දරුවා ලෙස හදා වඩා ගනී කියා සිතීම දුෂ්කර දෙයක් නොවේද? නැත. මන්ද ඊජිප්තු ආගමේ ඉගැන්වූයේ ස්වර්ගයට යෑමට නම් කරුණාවන්ත ක්‍රියාවල යෙදිය යුතු බවයි. මෝසෙස්ව දරුකමට හදාගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥ ජොයිස් ටිල්ඩ්ස්ලී මෙසේ පවසයි. “ඊජිප්තුවේ කාන්තාවෝ පුරුෂයන් හා සමාන තත්වයක් සමාජයේ හිමි කරගෙන තිබුණාහ. නීතිමය වශයෙන්ද ආර්ථිකමය වශයෙන්ද ඔවුන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබුණු බව පැවසේ. එය එලෙසම ක්‍රියාත්මක වුණාද නැද්ද කියා නිශ්චිතව පැවසිය නොහැක. . . . එහෙත් දරුවෙකු ගෙන හදාගැනීමට කාන්තාවකට අයිතිය තිබුණි.” එක්තරා කාන්තාවක් ඇගේ වහල් මෙහෙකරුවන්ව දරුකමට හදාගත් ආකාරය ඉපැරණි පැපිරස් ලියවිල්ලක විස්තර කර තිබූ අතර එය ලිපි ලේඛන මගින්ද තහවුරු කර තිබුණි. කිරිමවක් ලෙස මෝසෙස්ගේ මවව සේවයට බඳවාගැනීම ගැන දි ඇන්කර් බයිබල් ඩික්ෂනරි මෙසේ සඳහන් කරයි. “මෝසෙස්ගේ කිරිමව ලෙස ඔහුගේ නියම මවට කුලියක් දීම පිළිබඳ විස්තරය හා . . . දරුකමට හදාගැනීම පිළිබඳ මෙසපොතේමියානු ගිවිසුම්වල සඳහන් විස්තර අතර කිසිම වෙනසක් නැත.”

මෝසෙස්ව දරුකමට හදාගන්න ගත් පසු ඔහු හෙබ්‍රෙව් ජාතිකයෙකු යන වග අප්‍රසන්න රහසක් මෙන් ඔහුගෙන් සඟවනු ලැබුවාද? සමහර හොලිවුඩ් චිත්‍රපටවල එවැනි දෙයක් අඟවා තිබේ. එහෙත් ශුද්ධ ලියවිලිවල පෙන්වන්නේ ඊට වඩා වෙනස් දෙයකි. ඔහුගේ අක්කා වන මිරියාම් නුවණැතිව ක්‍රියා කළ නිසා ඔහුගේම මව වන යොඛෙබෙද්ගේ කිරිවලින් පෝෂණය වීමට මෝසෙස්ට හැකි විය. එම දේවභයැති කාන්තාව ඇගේ පුත්‍රයාගෙන් සත්‍යය වසං කළායයි සිතිය හැකිද? තවද ඉපැරණි කාලවලදී දරුවන්ට වසර ගණනාවක් පුරාම මව්කිරි දෙනු ලැබූ නිසා ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ගැන මෝසෙස්ට උගන්වන්නට යොඛෙබෙද්ට ඕනෑ තරම් ප්‍රස්තා ලැබෙන්නට ඇත. (නික්මයාම 3:6) එවැනි ආත්මික පරිසරයක් තුළ වැඩීම මෝසෙස්ට ඉතා ප්‍රයෝජනදායක විය. මන්ද මෝසෙස්ව පාරාවෝගේ දියණියට භාර දුන් පසු ‘ඊජිප්තුවරුන්ට තිබුණු සියලු ප්‍රඥාව ඔහුට උගන්වනු ලැබීය.’ ඉතියෝපියාව සමඟ කළ යුද්ධයකදී මෝසෙස්ව සේනාධිපතියෙකු ලෙස උසස් කරනු ලැබුවායයි ඉතිහාසඥ ජොසීෆස් අදහස් දක්වා තිබුණත් එය සනාථ කිරීමට සාක්ෂි නැත. එහෙත් මෝසෙස් “වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත්” වූ බව නම් බයිබලයේ සඳහන් කර ඇත. *ක්‍රියා 7:22NW.

මෝසෙස් අවුරුදු 40ක් වූ විට ඔහු ප්‍රබල ඊජිප්තු නායකයෙකු බවට පත්වීමට සුදුසුකම් ලබා තිබුණායයි සිතිය හැකියි. පාරාවෝගේ නිවසේ රැඳී සිටියා නම් ඔහුට ධන සම්භාරයක්ද බලයද හිමි වනු ඇත. එහෙත් එක් සිද්ධියක් ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළීමට මඟ පෑදීය.

මිදියන්හි පිටුවහලෙක්

දිනක් මෝසෙස් “තමාගේ සහෝදර වූ හෙබ්‍රෙව්වරයෙකුට [ඊජිප්තු ජාතිකයෙකු] ගහනවා දිටීය.” වසර ගණනාවක් පුරාම මෝසෙස් හෙබ්‍රෙව් ලෝකයටත් ඊජිප්තු ලෝකයටත් ආවේණික වූ වාසිදායක තත්වයන් එක සේ භුක්ති වින්දේය. එහෙත් සෙසු ඊශ්‍රායෙලිතයෙකුට ගහනවා දුටු විට ඒ සියල්ල වෙනස් විය. සමහරවිට ඊශ්‍රායෙලිතයාට පහර දෙනු ලැබුවේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වන අයුරින් විය හැකියි. ඒ කෙසේවෙතත්, එය දුටු වහාම මෝසෙස් අතිවැදගත් තීරණයක් ගැනීමට පෙලඹුණි. (නික්මයාම 2:11) ඔහු “පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කර, . . . දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේය.”—හෙබ්‍රෙව් 11:24, 25NW.

ආපසු හැරී බලන්නට නොහැකි වන ආකාරයේ තීරණයක් ගනිමින් මෝසෙස් විගස ක්‍රියාත්මක වුණේය. ඔහු ඊජිප්තු ජාතිකයාව “මරා වැල්ලෙහි සැඟෙව්වේය.” (නික්මයාම 2:12) මෙය “වහා කිපෙනසුලු පුද්ගලයෙකු විසින්” සිදු කරන ලද ක්‍රියාවක් නොවන බව එක් විවේචකයෙක් අදහස් දැක්වීය. ඔහු කළ දේ නිවැරදියයි පැවසිය නොහැකියි. එහෙත් ඔහු එසේ කිරීමට පෙලඹුණේ ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවෙන් මුදාහරිනු ලබන බවට දෙවි දුන් පොරොන්දුව කෙරෙහි ඔහුට තිබූ ඇදහිල්ල නිසා විය යුතුයි. (උත්පත්ති 15:13, 14) ඔහුගේ ක්‍රියාවන් තුළින් ඊජිප්තුවට විරුද්ධව කැරැල්ලක් දියත් කිරීමට ඊශ්‍රායෙලිතයන්ව පෙලඹවිය හැකි බව මෝසෙස් බොළඳ ලෙස විශ්වාස කළා විය හැකියි. (ක්‍රියා 7:25) එහෙත් ඔහුගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමින් ඊශ්‍රායෙල් ජනයා ඔහුව නායකයා ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. තමා ඊජිප්තු වැසියෙකු ඝාතනය කළ බව පාරාවෝට ආරංචි වූ විට මෝසෙස්ට දේශයෙන් පලා යෑමට සිදු විය. ඔහු පදිංචි වුණේ මිදියන් දේශයේය. එහිදී තැනින් තැන ගමන් කරන ගෝත්‍රයක නායකයෙකු වූ යෙත්‍රෝගේ දියණිය වූ ශිප්පොරාව ඔහු විවාහ කරගත්තේය.

මෝසෙස් අවුරුදු 40ක් පුරාම එඬේරෙකු ලෙස ගත කළේ ඉතා චාම් ජීවිතයකි. මිදුම්කරුවෙකු වීමට වූ තම බලාපොරොත්තු සියල්ල ඒ වන විට සුන් වී ගොස් තිබුණි. දිනක් ඔහු යෙත්‍රෝගේ බැටළු රැළවල් හොරෙබ් කන්ද අසලට ගෙන ගියේය. එහිදී ඇවිළෙන පඳුරක් මැද යෙහෝවාගේ දූතයෙකුව ඔහුට පෙනුණේය. එම සිද්ධිය ඔබට සිතේ මවාගත හැකිද? “මාගේ සෙනඟ වූ ඊශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවෙන් පිටතට ගෙන” එන්න කියා දෙවි ඔහුට අණ කරයි. එහෙත් බියට පත් වන මෝසෙස් ආත්ම විශ්වාසයකින් තොරව මෙසේ අසයි. “පාරාවෝ වෙතට යන්ටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවෙන් පිටතට ගෙන එන්ටත් මම කවුද?” කතාවේදී තමාට දුර්වලතාවක් ඇති බව, එනම් තමා චතුර කථිකයෙකු නොවන බවද ඔහු හෙළි කරයි. චිත්‍රපට නිෂ්පාදකයන් නම් ඒ බව නිරූපණය කරන්නේ නැත. ඉපැරණි ප්‍රබන්ධ කථාවල හා ජනප්‍රවාදවල වීරයන්ට වඩා මෝසෙස් කොයි තරම් වෙනස්ද! අවුරුදු 40ක් පුරාම එඬේරෙකු වශයෙන් කටයුතු කිරීම නිසා ඔහු යටහත් පහත් මෘදු ගුණැති කෙනෙකු වී තිබේ. මෝසෙස්ට ඒ තරම් ආත්ම විශ්වාසයක් නොතිබුණද ඔහු ඊශ්‍රායෙලිතයන්ගේ නායකයා වීමට සුදුසු තැනැත්තා බව දෙවිට නම් කිසිම සැකයක් නැත!—නික්මයාම 3:1–4:20.

ඊජිප්තුවෙන් ගලවාගැනීම

මෝසෙස් මිදියන් දේශයෙන් පිට වී පාරාවෝ ඉදිරියට ගොස් දෙවිගේ සෙනඟට යන්න හරින ලෙස ඉල්ලා සිටියි. මුරණ්ඩු රජ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන විට විනාශකාරී පීඩා දසයකින් ඔහුගේ දේශය පහර ලබයි. දහවන පීඩාවෙන් ඊජිප්තුවේ කුලුඳුලන්ව මිය යෑමට සලස්වයි. එවිට පරාජය පිළිගනිමින් පාරාවෝ ඊශ්‍රායෙලිතයන්ට යන්න හරියි.—නික්මයාම 5-13 පරිච්ඡේද.

බොහෝදෙනෙක් මෙම සිද්ධීන් හොඳින් දනිති. එහෙත් ඉන් එක් සිද්ධියක්වත් ඓතිහාසිකයයි පැවසිය හැකිද? පාරාවෝගේ නම සඳහන් කර නොමැති නිසා එය ප්‍රබන්ධ කථාවක් වෙන්න ඇති කියා සමහරු තර්ක කරති. * එහෙත් මේ ලිපියේ කලින් සඳහන් කළ හොෆ්මයර් පෙන්වන පරිදි, ඊජිප්තු ලේඛකයන් බොහෝවිට වුවමනාවෙන්ම පාරාවෝගේ සතුරන්ගේ නම් තම වාර්තාවල සඳහන් නොකර සිටියහ. ඔහු මෙසේ තර්ක කරයි. “කාදෙෂ් හා මෙගිද්දෝහි රජවරුන්ගේ නම් වාර්තා කර නැති නිසා තුන්වන තුට්මෝස් මෙගිද්දෝහි මෙහෙයවූ යුධ ව්‍යාපාරය ඓතිහාසික සිද්ධියක් නොවන බව ඉතිහාසඥයන් නිගමනය කරාවිද?” පාරාවෝගේ නම බයිබලයේ සඳහන් නොකර තිබෙන්නේ “හොඳ හේතු මතයි. එසේ කළේ ආගමික හේතූන් නිසයි” කියා හොෆ්මයර් පවසයි. උදාහරණයකට, වාර්තාවේ පාරාවෝගේ නම සඳහන් නොකිරීමෙන් ඔහු වෙතට අවධානය යොමු කරනවා වෙනුවට දෙවි වෙත අවධානය යොමු කෙරේ.

ඒ කොහොමවුණත් යුදෙව්වරුන් විශාල පිරිසක් ඊජිප්තුවෙන් නික්ම ගිය බව විශ්වාස කළ නොහැකියයි විවේචකයෝ කියා සිටිති. එතරම් විශාල ජනකායක් නික්ම ගියා නම් “එය අනිවාර්යයෙන්ම ඊජිප්තු හෝ සිරියානු ඉතිහාස වාර්තාවල පැහැදිලිව සඳහන් කරනු ඇති බව” විශාරදයෙකු වන හෝමර් ඩබ්. ස්මිත් තර්ක කරයි. ඔහු තවදුරටත් කියන්නේ “නික්මයාම පොතෙහි සඳහන් කතන්දරය ඊජිප්තුවේ සිට පලස්තීනය දක්වා පලා ගිය සුළු පිරිසක් පිළිබඳව විකෘති වූ ප්‍රබන්ධ කථාවක් විය යුතු” බවයි.

ඊජිප්තුවේ වාර්තාවල මෙම සිද්ධිය ගැන සඳහන් කර නැති බව ඇත්තයි. එහෙත් සත්‍යය ඔවුන්ව නින්දාවට පත් කළ අවස්ථාවලදී හෝ ඔවුන්ගේ දේශපාලනික දියුණුවට බාධාවක් වූ විට ඊජිප්තුවරුන් තමන්ගේ වාසියට ඉතිහාස වාර්තා සකස් කළ බව අප මතක තබාගත යුතුයි. තුන්වන තුට්මෝස් රජකමට පත් වූ පසු තමාට පෙර පාලනය කළ හැට්ෂෙප්සූට් රැජිනගේ නම ඉතිහාස පොත්වලින් මකා දැමීමට ඔහු වෑයම් කළේය. පුරාණ ඊජිප්තුව පිළිබඳව හදාරන ජෝන් රේ මෙසේ පවසයි. “ඇගේ ශීර්ෂ පාඨ මකා දමනු ලැබීය. ඇය විසින් ඉදි කරනු ලැබූ චතුරස්‍රාකාර ස්තම්භ වටා තාප්පයක් ගොඩනඟනු ලැබීය. ඇගේ ස්මාරක කුලුනු අමතක කරනු ලැබීය. පසු කලෙක සකස් කරන ලද පුරාවෘත්තවල ඇගේ නම සඳහන් කර නැත.” වඩා මෑතකදී පවා ලජ්ජාවට පත් කරන සත්‍ය තොරතුරු වෙනස් කිරීමට හෝ වසං කිරීමට හෝ යම් උත්සාහයන් දරා ඇත.

ඊශ්‍රායෙලිතයන් පාළුකරයේ ගමන් කළ බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ඇත්තයි. එහෙත් යුදෙව්වරුන් තැනින් තැන ගමන් කළ ගෝත්‍රයක් වූ බව අප මතක තබාගත යුතුයි. ඔවුන් නගර ඉදි කළේවත් බෝග වගා කළේවත් නැත. ඔවුන් තමන් අත්හැර ගිය ප්‍රදේශවල අඩිපාරවල් හැර වෙන කිසිවක් ඉතිරි කර ගියේ නැති බව සිතිය හැකියි. එහෙත් ඔවුන් පාළුකරයේ ගමන් කළ බවට විශ්වාසවන්ත සාක්ෂි බයිබල් වාර්තාවේ සොයාගත හැකියි. ශුද්ධ ලියවිල්ල පුරාම ඒ ගමන පිළිබඳව සඳහන් කර ඇත. (1 සාමුවෙල් 4:8; 78වන ගීතාවලිය; 95වන ගීතාවලිය; 106වන ගීතාවලිය; 1 කොරින්ති 10:1-5) ඊශ්‍රායෙලිතයන් පාළුකරයේ ගමන් කළ බවට යේසුස් ක්‍රිස්තුස් පවා සාක්ෂි සැපයීය.—යොහන් 3:14.

මෝසෙස් පිළිබඳව බයිබල් වාර්තාව විශ්වාසවන්ත මෙන්ම සත්‍ය එකක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් මෝසෙස් ජීවත් වූයේ ඈත අතීතයේය. එහෙමනම්, ඔහු ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

^ 3 ඡේ. දරුවාගේ ඉතා ප්‍රියමනාප වූ ශාරීරික ලක්ෂණ ගැන පමණක් නොව “ඔහුගේ අභ්‍යන්තර ගුණාංග” ගැනද එම යෙදුමෙන් විස්තර කෙරෙන බව එක්තරා කෘතියක (The Expositor’s Bible Commentary) සඳහන් වී තිබුණි.

^ 11 ඡේ. නයිල් ගඟේ නෑම “පුරාණ ඊජිප්තු වැසියන්ගේ පොදු සිරිතක් වූ” බව කුක්ගේ කොමෙන්ට්‍රිහි සඳහන් වේ. “නයිල් ගඟට නමස්කාර කළ අතර එහි උල්පත . . . ඔසිරිස් බව විශ්වාස කෙරුණි. එහි ජලය සුවිශේෂ අයුරින් ජීවිතය හා සශ්‍රීකත්වය ලබා දුන් බවටද විශ්වාසයක් පැවතුණි.”

^ 12 ඡේ. ඔහුගේ නම සෑදුණු ආකාරය පිළිබඳව විශාරදයන් අතර මතභේද පවතී. හෙබ්‍රෙව් බසින් මෝසෙස් යන නමෙහි අර්ථය වන්නේ “අදිනු ලැබ; ජලයෙන් බේරාගනු ලැබ” යන්නයි. ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස්ගේ මතය වූයේ මෝසෙස් යන නම “ජලය” හා “ගලවනු ලැබ” යන අරුත් ඇති ඊජිප්තු වචන දෙකකින් සෑදී ඇති බවයි. මෝසෙස් යන නමට ඊජිප්තු මූලාරම්භයක් තිබෙන බව අදත් විශාරදයන් කිහිපදෙනෙක් විශ්වාස කරති. එහෙත් ඔවුන් විශ්වාස කරන්නේ එයට “පුතා” යන අරුත ඇති බවයි. කෙසේවෙතත්, ඔවුන් එසේ තර්ක කරන්නේ සමහර ඊජිප්තු නම් හා “මෝසෙස්” යන නම එක සමානව උච්චාරණය කෙරෙන නිසාය. පුරාණ හෙබ්‍රෙව් හා ඊජිප්තු භාෂාවල වචන උච්චාරණය කළේ කෙසේදැයි කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකි නිසා එවැනි මත අනුමානයන් පමණි.

^ 14 ඡේ. ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙලිතයන් නම් කෘතියේ මෙසේ පවසයි. “මෝසෙස් ඊජිප්තු රජ පවුලේ හැදී වැඩුණා කියන අදහස නිකම්ම ප්‍රබන්ධ කථාවක් මෙන් පෙනෙන්න තිබුණත්, ඊජිප්තුවේ නූතන රාජධානි යුගය ගැන තොරතුරු විමසා බලද්දී එය එසේ නොවන බව පැහැදිලි වේ. යටත් කරගනු ලැබූ බටහිර ආසියාවේ රජවරුන්ව ඊජිප්තුවට කැඳවා ඔවුන්ට ඊජිප්තු ජීවිතය පිළිබඳව යම් පුහුණුවක් ලබා දීමේ සිරිත . . . තුන්වන තුට්මෝස් විසින් ආරම්භ කරනු ලැබීය. . . . විදේශ කුමර කුමරියෝ ඊජිප්තු රජමාලිගාවට අමුත්තෝ නොවූහ.”

^ 22 ඡේ. නික්මයාම පොතෙහි සඳහන් පාරාවෝ තුන්වන තුට්මෝස් කියා ඇතැම් ඉතිහාසඥයෝ පවසති. තවත් අය තර්ක කරන්නේ එය දෙවෙනි ඇමෙන්හොතෙප් නැත්නම් දෙවෙනි රම්සේස් කියායි. ඊජිප්තුවරුන් තම ඉතිහාසයේ සිදුවීම් කාලයට අනුව පෙළගැස්වූ ආකාරය ඉතා අපැහැදිලි වන නිසා එම පාරාවෝ කවුද කියා නිශ්චිතව කිව නොහැකියි.