Skip to content

පටුනට යන්න

යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද?

යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද?

විද්‍යාව

බයිබලය විද්‍යා අත්පොතක් නෙවෙයි. හැබැයි සමහර විද්‍යාත්මක තොරතුරු හොයාගන්නත් කලින්ම ඒවා ගැන බයිබලයේ නිවැරදිව සඳහන් කරලා තිබුණා. උදාහරණ කීපයක් බලන්න.

විශ්වයට ආරම්භයක් තියෙනවාද?

කාලයක් තිස්සේ විද්‍යාඥයන් කිව්වේ විශ්වයට ආරම්භයක් නැහැ කියලයි. ඒත් දැන් එයාලා පිළිගන්නවා ආරම්භයක් තිබුණා කියලා. ඒ ගැන බයිබලයේ සඳහන් වුණේ මීට හුඟ කාලෙකට කලිනුයි.—උත්පත්ති 1:1.

පොළොවේ හැඩය මොන වගේද?

අතීතයේදී මිනිසුන් හිතුවේ පොළොව පැතලියි කියලා. පොළොවට තියෙන්නේ රවුම් හැඩයක් කියලා ග්‍රීක විද්‍යාඥයන් කිව්වේ ක්‍රි.පූ. 5වෙනි සියවසේදී. හැබැයි ඊට සියවස් 3කට කලින්ම (ක්‍රි.පූ. 8වෙනි සියවසේදී) ‘පෘථිවිය ගෝලයක්’ කියලා බයිබලයේ සඳහන් වෙලා තිබුණා.—යෙසායා 40:22.

විශ්වය ක්ෂය වෙනවාද?

පොළොව ක්ෂය වුණත් අහස නම් කවදාවත් ක්ෂය වෙන්නේ නැහැ කියලා ක්‍රි.පූ. 4වෙනි සියවසේදී ග්‍රීක විද්‍යාඥයෙක් වුණු ඇරිස්ටෝටල් ඉගැන්නුවා. සියවස් ගණනාවක් යන කල්ම ඒ ඉගැන්වීම මිනිසුන් විශ්වාස කළා. හැබැයි පොළොව ඇතුළු විශ්වයේ තියෙන හැම දේම කාලයත් එක්කම ක්ෂය වෙනවා කියන අදහස 19වෙනි සියවසේදී විද්‍යාඥයන් පිළිගත්තා. ඒ ඉගැන්වීම ප්‍රචලිත කරන්න දායක වුණු කෙල්වින් ස්වාමිවරයා අහසත් පොළොවත් ‘වස්ත්‍රයක් මෙන් දිරාපත් වී යනවා’ කියන අදහස බයිබලයෙත් තියෙනවා කියලා මතක් කළා. (ගීතාවලිය 102:25, 26) එහෙම ක්ෂය වුණත් තමන්ගේ නිර්මාණයන් සදහටම විනාශ වෙලා යන එක වළක්වන්න දෙවියන්ට පුළුවන් කියලා බයිබලයේ තියෙන දේත් එයා විශ්වාස කළා.—දේශනාකාරයා 1:4.

පෘථිවිය ඇතුළු අනිකුත් ග්‍රහලෝක පිහිටලා තියෙන්නේ මොකක් මතද?

ගෝලයක් ඇතුළේ තවත් ගෝලයක් තියෙන විදිහට විනිවිද පෙනෙන ගෝල රාශියක් පිහිටලා තියෙනවා කියලත් හැම ආකාශ වස්තුවක්ම සවි කරලා තියෙන්නේ ඒ ගෝලවල කියලත් පෘථිවිය පිහිටලා තියෙන්නේ ඒ ගෝලවල හරි මැද කියලත් ඇරිස්ටෝටල් කිව්වා. හැබැයි තාරකා සහ ග්‍රහලෝක කිසිම දෙයක් මත පිහිටලා නැහැ කියලා ක්‍රි.ව. 18වෙනි සියවසේදී විද්‍යාඥයන් පිළිගත්තා. විශ්වයේ නිර්මාතෘ ‘පොළොව හිස් අවකාශයේ එල්ලා තැබුවා’ කියලා බයිබලයේ සඳහන් කළේ ක්‍රි.පූ. 15වෙනි සියවසේදීමයි.—යෝබ් 26:7.

වෛද්‍ය විද්‍යාව

බයිබලය වෛද්‍ය අත්පොතක් නොවුණත් නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න උදව් වෙන ප්‍රතිපත්ති ඒකේ තියෙනවා.

අසනීප අයව වෙන් කිරීම.

දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වුණා ලාදුරු රෝගීන්ව වෙන් කරන්න කියලා. ඒත් වෛද්‍යවරු රෝගීන්ව වෙන් කරන්න පටන්ගත්තේ මීට අවුරුදු 700කට විතර කලින් දරුණු වසංගත පැතිරුණු කාලයේදීයි. ඒක ප්‍රයෝජනවත් දෙයක් කියලා අදටත් කොයි කවුරුත් පිළිගන්නවා.—ලෙවී කතාව 13 සහ 14 පරිච්ඡේද.

මළ සිරුරක් ඇල්ලුවාට පස්සේ පිරිසිදු වීම.

19වෙනි සියවසේ අවසානය වෙන කල්ම වෛද්‍යවරු මළ සිරුරක් ඇල්ලුවාට පස්සේ අත් සෝදන්නේ නැතුව රෝගීන්ව පරීක්ෂා කරපු නිසා හුඟදෙනෙක් මැරුණා. හැබැයි මළ සිරුරක් අල්ලන හැමෝම අපවිත්‍ර වෙනවා කියලත් ඒ අය තමන්ව සෝදාගෙන පවිත්‍ර වෙන්න ඕනෙ කියලත් දෙවියන් දීපු නීතියේ පැහැදිලිවම තිබුණා. ඒක පිළිපදින එක යහපත් ශරීර සෞඛ්‍යයකට දායක වුණු බවට නම් කිසිම සැකයක් නැහැ.—ගණන් කතාව 19:11, 19.

මලපහ ඉවත් කිරීම.

හැම අවුරුද්දකම පාචනය නිසා දරුවන් ලක්ෂ පහකටත් වඩා මැරෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මිනිසුන් මලපහ හරියට ඉවත් නොකරන එකයි. දෙවියන් දීපු නීතියේ පැහැදිලිව සඳහන් වුණා මිනිසුන් ජීවත් වෙන තැන්වලින් හුඟක් ඈතට වෙන්න මලපහ කරලා වළලන්න කියලා.—ද්විතීය කතාව 23:13.

චර්මච්ඡේදනය කරන්න ඕන දවස.

දෙවියන් දීපු නීතියේ සඳහන් වුණා පිරිමි දරුවෙක් ඉපදුණාම එයාව චර්මච්ඡේදනය කරන්න ඕනෙ අටවෙනි දවසේදී කියලා. (ලෙවී කතාව 12:3) අලුත උපන් බිලිඳෙක්ගේ ලේ හරියටම කැටිගැහෙන්න පටන්ගන්නේ පළවෙනි සතියෙන් පස්සේ. අතීතයේ මිනිසුන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි දෙවියන් දීපු ඒ නීතිය ඒ විදිහටම පිළිපදින එකෙන් බිලිඳුන්ට ලොකු ආරක්ෂාවක් ලැබුණා.

මානසික සුවය ශාරීරික සුවයට බලපාන විදිහ.

සතුටින් ඉන්න එක, හිතේ බලාපොරොත්තුවක් තියෙන එක, අනිත් අයව අගය කරන එක, සමාව දෙන එක වගේ දේවල් නිරෝගී සෞඛ්‍යයකට දායක වෙනවා කියලා වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් කියනවා. හැබැයි ඒ ගැන බයිබලයේ කලින්ම මෙහෙම කියලා තිබුණා. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.