Skip to content

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඇල්බේනියාව සහ කොසෝවෝ

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඇල්බේනියාව සහ කොසෝවෝ

 “යෙහෝවාට මේ වගේ සේවයක් කරන්න මට පුළුවන් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ.” එහෙම කිව්වේ එංගලන්තේ ඉඳලා ප්‍රචාරකයක් අඩු ඇල්බේනියාව කියන රටට ගිය ග්වෙන්. a

 ‘සියලු ජාතීන්ගේ වටිනා වස්තු රැස් කරන්න’ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් ඇල්බේනියාවට ගියා. (හග්ගයි 2:7) ග්වෙන් ඒ අයගෙන් එක් කෙනෙක් විතරයි. හුඟදෙනෙක් ඇල්බේනියාවට යන්න පෙලඹුණේ ඇයි? එහෙට යන්න කලින් මොන වගේ වෙනස්කම්ද එයාලට කරන්න සිද්ධ වුණේ? එයාලට ආපු අභියෝග ජය ගන්න උදව් වුණේ මොනවාද?

ගියේ එකම අරමුණක් වෙනුවෙන්

 ඇල්බේනියාවට යන්න ඒ හැම ප්‍රචාරකයෙක්වම පොලඹවපු හේතුව මොකක්ද? යෙහෝවා දෙවියන්ට එයාලගේ හිතේ තියෙන ආදරය සහ අනිත් අයට ඔහු ගැන කියන්න තිබුණ ආසාව.

 ඇල්බේනියාවට යන්න කලින් එයාලා සේවය වැඩි කරන්න ගොඩක් දේවල් කෙරුවා. ඒ දේවල් ඇල්බේනියාවෙදී මුහුණ දුන්න අභියෝග ජය ගන්න එයාලට උදව් වුණා. ග්වෙන් මෙහෙම කියනවා. “මම මුලින්ම එංගලන්තේ තිබුණ ඇල්බේනියානු භාෂාව කතා කරන කණ්ඩායමක සේවය කළා. පස්සේ ඇල්බේනියාවේ තිබුණ සමුළුවකට සහභාගි වුණා. ඊටපස්සේ ආයෙත් සැරයක් ටික කාලෙකට ඇල්බේනියාවට ඇවිල්ලා ඇල්බේනියානු භාෂාව ඉගෙනගත්තා.”

ග්වෙන්

 ඉතාලියේ ඉන්න මැනුවෙලාත් මුලින්ම ඉතාලියේ තියෙන පුංචි සභාවකට උදව් කරන්න එහෙට ගියා. ඒ වෙද්දී එයාට වයස අවුරුදු 23යි. මැනුවෙලා මෙහෙම කියනවා. “මම ඒ සභාවේ අවුරුදු 4ක් සේවය කළා. එහේ ඉද්දී මට දැනගන්න ලැබුණා ඇල්බේනියාවේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඉතින් මාස කීපයකට එහෙට ගිහින් පුරෝගාමි සේවය කරන්න මං තීරණය කළා.”

මැනුවෙලා (මැද)

 ෆෙඩරිකාට මුලින්ම ඇල්බේනියාව ගැන අහන්න ලැබුණේ සමුළුවකදී. එතකොට එයාට වයස අවුරුදු 7යි. ෆෙඩරිකා මෙහෙම කියනවා. “ඒ වාර්තාව ඉදිරිපත් කරපු සහෝදරයා කිව්වා ඇල්බේනියාවේ ප්‍රචාරකයෝ ගොඩක් බයිබල් පාඩම් පවත්වනවා. හුඟදෙනෙක් රැස්වීමුත් එනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මං තාත්තාට කිව්වා මටත් ඇල්බේනියාවට යන්න ඕනෙ කියලා. එතකොට අම්මායි, තාත්තායි පුදුම වුණා. හැබැයි තාත්තා කිව්වා ‘ඔයා යාච්ඤා කරන්න. යෙහෝවා දෙවියන් කැමති නම් ඒකට උත්තරයක් දෙයි’ කියලා. පුදුමේ කියන්නේ මාස කීපයකට පස්සේ අපේ මුළු පවුලටම ඇල්බේනියාවේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා.” ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා. දැන් ෆෙඩරිකා, ඔර්ගිස් එක්ක විවාහ වෙලා ඉන්නේ. එයාලා දැන් ඇල්බේනියාවේ පූර්ණකාලීන සේවය කරනවා.

ඔර්ගිස් සහ ෆෙඩරිකා

 ජන්පියෙරෝ ඉතාලියේ කෙනෙක්. එයා විශ්‍රාම ගත්තාට පස්සේ එයාගේ නෝනා වුණ ග්ලෝරියා එක්ක ඇල්බේනියාවට ගියා. එයා මෙහෙම කියනවා. “අපිට පුතාලා පස්දෙනෙක් ඉන්නවා. එයාලගෙන් තුන්දෙනෙක්ම ප්‍රචාරකයන් අඩු රටවලට ගිහිල්ලා සේවය කරනවා. ‘මුරටැඹ’ සඟරාවේ ආව “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබ කැමතිද?” කියන ලිපිය කියෙව්වාට පස්සේ ඒ වගේ ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න අපිටත් ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් ඇල්බේනියාවට ගිහින් මගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි දෙන්නා කතා කරගත්තා.”

ජන්පියෙරෝ සහ ග්ලෝරියා

එයාලා හොඳට සැලසුම් කළා

 ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවය කරන්න කැමති අය ඊට කලින් හොඳට සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම යන්න කලින් අවශ්‍ය සකස් කිරීම් කරන්නත් ඕනේ. (ලූක් 14:28) ඒ වගේම ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලත් සැලසුම් කරගන්න ඕනේ. අපි කලින් කතා කරපු එංගලන්තයේ හිටපු ග්වෙන් කරපු දේ බලන්න. එයා ඇල්බේනියාවට යන්න කලින් අක්කා ගාවට පදිංචියට ගිහින් පුංචි රස්සාවක් කරලා සල්ලි හොයාගත්තා. එංගලන්තේ ඉඳලා ඇල්බේනියාවට ගිය සොෆියා සහ ක්‍රිස්ටෝෆර් මෙහෙම කියනවා. “අපි අපේ කාර් එකයි, ගෙදර තිබුණ ලී බඩු ටිකකුයි විකුණුවා. අපිට ඕනෙ වුණේ ඇල්බේනියාවට ගිහින් අවුරුද්දක්වත් සේවය කරන්න.” ඒත් ඊට වඩා වැඩි කාලයක් එහේ ඉඳන් සේවය කරන්න එයාලට පුළුවන් වුණා.

ක්‍රිස්ටෝෆර් සහ සොෆියා

 සමහර ප්‍රචාරකයන් ඇල්බේනියාවට ගිහිල්ලා මාස කීපයක් සේවය කරනවා. ඊටපස්සේ ආපහු එයාලගේ රටට ගිහින් පුංචි රස්සාවක් කරලා සල්ලි හොයාගෙන ආපහු ඇල්බේනියාවට ගිහින් සේවය කරනවා. එලීසියොයි, මීරියමුයි කරන්නෙත් ඒ වගේ දෙයක්. එලීසියෝ මෙහෙම කියනවා. “මීරියම්ගේ ගම සංචාරකයන්ට පාරාදීසයක් වගේ. ඉතින් සංචාරකයන් එන කාලෙට එහේ ඕනෙ තරම් රස්සාවල් තියෙනවා. ඉතින් ඒ කාලෙට අපි එහෙට ගිහිල්ලා මාස තුනක් වැඩ කරනවා. ඒ ලැබෙන සල්ලිවලින් ඊළඟ මාස නමයම ඇල්බේනියාවට ගිහින් සේවය කරනවා. ඔය විදිහට අපි දැන් අවුරුදු 5ක් විතර සේවය කරලා තියෙනවා.”

මීරියම් සහ එලීසියෝ

අභියෝග ජය ගත්ත විදිහ

 ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට යන අයට අලුත් තත්වයන්වලට හැඩ ගැහෙන්නම වෙනවා. ඒ අභියෝග ජය ගන්න නම් ඒ ප්‍රදේශවල ඉන්න ප්‍රචාරකයන්ගේ උපදෙස්, මඟ පෙන්වීම් වගේම ඒගොල්ලන්ගේ ආදර්ශය ගොඩක් උදව් වෙනවා. අපි කලින් කතා කරපු සොෆියා මෙහෙම කියනවා. “එංගලන්තේ වගේ නෙමෙයි සීත කාලෙදී ඇල්බේනියාවේ ගෙවල් අස්සෙත් පුදුම සීතලක් තියෙන්නේ. ඒ කාලෙට මේ පැත්තේ සහෝදරියෝ ඇඳුම් අඳින්නේ කොහොමද කියලා බලලා මමත් ඒ විදිහට අඳින්න පටන්ගත්තා.” ෂේගොෂ් සහ සෝනා යුවළ ආවේ පෝලන්තයෙන්. එයාලා දැන් සේවය කරන්නේ කොසෝවෝවල ප්‍රිස්රන් කියන ලස්සන නගරයේ. b ෂේගොෂ් මෙහෙම කියනවා. “මෙහේ ඉන්න ප්‍රචාරකයෝ හරිම කරුණාවන්ත, නිහතමානී, ඉවසිලිවන්ත අය. එයාලා අපිට භාෂාව ඉගෙනගන්න විතරක් නෙමෙයි තවත් ගොඩක් විදිවලින් උදව් කරනවා. ලාබෙට බඩු ගන්න පුළුවන් තැන් එයාලා අපිට කියලා දුන්නා. බඩු ගද්දී අපි පරෙස්සම් වෙන්න ඕන පැති ගැනත් කියලා දුන්නා.”

සතුටු වෙන්න හේතු ගොඩක්

 අලුත් ප්‍රදේශයකට යන අය ඒ ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගෙන, එයාලගේ පසුබිම හොඳින් තේරුම්ගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන ලබනවා. ඒ ගැන සෝනා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ගේ ආදරයට මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් වෙනස් කරන්න පුළුවන්ද කියලා මං අද්දැක්කා. මේ සහෝදරයන් යෙහෝවා ගැන ඉගෙනගත්තාට පස්සේ එයාලා විශ්වාස කරපු දේවල් අයින් කරලා ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙන විදිහ දකිද්දී මගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. සභාවේ සහෝදර සහෝදරියන්ට අපිව වටිනවා කියලා අපිට දැනෙනවා. අපිටත් සභාව වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න තියෙනවා. සභාවේ අය අපේ යාළුවෝ වෙලා. ඒගොල්ලන් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථාව අපි ගොඩක් අගය කරනවා.” (මාක් 10:29, 30) ග්ලෝරියා මේ වගේ දෙයක් කියනවා. “මෙහේ ඉන්න ගොඩක් සහෝදරියෝ සාක්ෂිකරුවන් නොවන අසල්වැසියන්ගෙන් සහ නෑදෑයන්ගෙන් දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දීලා තියෙනවා. ඒගොල්ලන් යෙහෝවාට කොච්චර ආදරේද කියලා දකිද්දී විඳදරාගන්න මටත් හයියක් ලැබුණා.”

ෂේගොෂ් සහ සෝනා

 ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන අයට ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි එයාලගේ රටේ හිටියා නම් අද්දකින්න අවස්ථාව ලැබෙන්නේ නැති අද්දැකීම් ලබාගන්න පුළුවන් වෙන එක. උදාහරණෙකට යෙහෝවා වෙනුවෙන් කරන්න බය වුණ එහෙම නැත්තම් අමාරුයි කියලා හිතුණ දේවල් කරලා ලැබෙන සතුට අද්දකින්න එක. ස්ටෙෆානෝට ඒ ගැන කියන්න අද්දැකීමක් තියෙනවා. “අපේ රටේ අයට අපි වැඩිපුරම දේශනා කරන්නේ ඉන්ටකොම් එකෙන්. අපි හරිම කෙටි ඉදිරිපත් කිරීමක් තමයි කරන්නේ. හැබැයි ඇල්බේනියාවේ කට්ටිය නම් කෝපි එකක් බිබී ගොඩක් වෙලා කතා කරන්න හරිම ආසයි. මුලින්ම මට ඒක ගොඩක් අමාරු වුණා. මොකද මම අමුත්තන් එක්ක කතා කරන්න ටිකක් ලැජ්ජා කෙනෙක්. ඒ දවස්වල මම දැනන් හිටියේ නෑ මොනවා කියන්නද කියලා. ඒත් කාලයක් යද්දී මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න මං ඉගෙනගත්තා. දැන් අනිත් අයත් එක්ක කතා කරන්න මං හරිම ආසයි. සේවයෙනුත් මං ලොකු සතුටක් අද්දකිනවා.”

අලීඩා සහ ස්ටෙෆානෝ

 ලෙයා සහ විලියම් එක්සත් ජනපදයේ ඉඳලා ඇල්බේනියාවට ආපු යුවළක්. ලෙයා මෙහෙම කියනවා. “මෙහේ සේවේ කරන්න ආවාට පස්සේ අපි අලුත් විදිහට හිතන්න, අපි හුරු වෙලා හිටපු විදිහට වඩා වෙනස් විදිහට ජීවත් වෙන්න ඉගෙනගත්තා. ඒ විතරක් නෙමෙයි ආගන්තුක සත්කාර කරන එක, අනිත් අයට ගරු කරන එක, යාළුකම් ඇති කරගන්න එක ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. වෙනස් විදිහට දේශනා කරන්නත් වෙනස් විදියට බයිබල් පද පැහැදිලි කරන්නත් අපි ඉගෙනගත්තා.” විලියම් මෙහෙම කියනවා. “ඇල්බේනියාවට එන සංචාරකයන් හරි ආසයි මෙහේ තියෙන වෙරළ තීරයේ කාලය ගත කරන්න. මං හරි ආසයි ඇල්බේනියාවේ තියෙන කඳු නඟින්න. හැබැයි මං වැඩියෙන්ම ආසා මෙහේ ඉන්න මිනිස්සුන්ට. අපි සේවේ කරන ප්‍රදේශයේ ඉන්න මිනිස්සු බයිබලයේ තියෙන පණිවිඩය අහලා නැති තරම්. ඉතින් එයාලා හරිම ආසයි අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න. සමහර දවසට පවුල් දෙක තුනකට කතා කරද්දී දවස ඉවරයි.”

විලියම් සහ ලෙයා

 මිනිස්සු ශුභාරංචියට ඇහුම්කන් දෙද්දී ලැබෙන සතුට තරම් සතුටක් ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට යන අයට තවත් නැහැ. (1 තෙසලෝනික 2:19, 20) ලෝරා කියන්නේ ඇල්බේනියාවට ගිය තරුණ තනිකඩ සහෝදරියක්. එයා මේ වගේ දෙයක් කියනවා. “මං ටික කාලයක් ෆියර් නගරේ සේවය කළා. අවුරුදු දෙකහමාරක් යද්දී 120දෙනෙක් අලුතින් ප්‍රචාරකයන් වුණා. එයාලගෙන් 16දෙනෙක් එක්ක පාඩම් කරන්න මටත් අවස්ථාව ලැබුණා.” සැන්ඩ්‍රා තවත් සහෝදරියක්. එයා මෙහෙම කියනවා. “මම මාකට් එකේදී ගෑනු කෙනෙක්ට දේශනා කළා. පස්සේ එයා අපේ සහෝදරියක් වෙලා එයාගේ ගමට ගියා. මං අන්තිමට එයා එක්ක කතා කරපු වෙලාවේ එයා කිව්වා එයා බයිබල් පාඩම් 15ක් කරනවා කියලා.”

ලෝරා

සැන්ඩ්‍රා

විඳදරාගත්ත නිසා ලැබුණ ආශීර්වාද

 ඇල්බේනියාවට සේවය කරන්න ගිය සමහර අය තාමත් එහේ සතුටින් සේවය කරනවා. එයාලා මුලින්ම එහෙට ආපු කාලේ සාක්ෂි දරපු සමහර අය දියුණු වෙලා තියෙන විදිහ දැක්කාම ඒගොල්ලොනුත් ගොඩක් පුදුම වෙනවා. (දේශනාකාරයා 11:6) කලින් සඳහන් කරපු ක්‍රිස්ටෝෆර් මෙහෙම කියනවා. “මං ඇල්බේනියාවට ආපු මුල පාඩමක් කරපු කෙනෙක්ව මට ආයේ හම්බ වුණා. පාඩම කරපු කාලේ අපි කතා කරපු දේවල් එයා එකින් එක මතක් කරද්දී මට පුදුම හිතුණා. දැන් එයායි, එයාගේ නෝනායි දෙන්නාම බව්තීස්ම වෙලා.” කලින් අපි කතා කරපු ෆෙඩරිකා මෙහෙම කියනවා. “එක සභාවකට ගිය වෙලාවේ සහෝදරියක් මං ගාවට ඇවිල්ලා ඇහුවා ‘ඔයාට මාව මතකද’ කියලා. එයා මට කිව්වා අවුරුදු 9කට කලින් මං එයාට දේශනා කරලා තියනවා කියලා. ටික කාලෙකට පස්සේ මං සේවය කරන්න වෙන පැත්තකට ගියා. ඒ කාලෙදී එයා බයිබලය පාඩම් කරලා බව්තීස්ම වෙලා. ඇල්බේනියාවට ආපු මුල් අවුරුදුවල කිසිම වැඩක් වෙලා නැහැ කියලයි මට හිතුණේ. ඒත් ඒ සිද්ධියෙන් පස්සේ මං තේරුම්ගත්තා ඒක එහෙම නෙමෙයි කියලා.”

 ඇල්බේනියාවට හරි කොසෝවෝවලට හරි ගිය සහෝදර සහෝදරියන් අද්දැක්ක දෙයක් තියනවා. ඒ තමයි යෙහෝවා දෙවියන් එයාලා දරපු වෑයම්වලට ගොඩක් ආශීර්වාද කරලා, හරිම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව දීලා තියෙනවා කියලා. අවුරුදු ගාණක් ඇල්බේනියාවේ සේවේ කරපු එලීසියෝ එයා ලබපු අද්දැකීම කෙටියෙන් කියන්නේ මේ විදිහටයි. “ජීවිතය සුරක්ෂිත කරගන්න මේ ලෝකය ඉදිරිපත් කරන දේවල් පස්සේ යන උගුලට අපි වැටෙන්න පුළුවන්. මේ ලෝකේ ඉදිරිපත් කරන දේවල් පස්සේ යන එක හරියට මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. අපේ ජීවිතේට අරමුණක්, සුරක්ෂිතකමක් ලැබෙන්නේ යෙහෝවා දෙවියන් කියන විදිහට ජීවත් වුණොත් විතරයි. ඒක මතක තියාගන්න මේ සේවය මට උදව් වුණා. මං වටිනවා, මට කරන්න දෙයක් තියනවා කියලා මට දැනෙනවා. මේ සේවය කරන අනිත් සහෝදර සහෝදරියන්ට හිතෙන්නෙත් ඒ විදිහටමයි.” සැන්ඩ්‍රා ඒ අදහසට එකඟ වෙනවා. එයා මෙහෙම කියනවා. “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගියාම මට දැනුණා යෙහෝවා දෙවියන් මගේ හිතේ ගොඩක් කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් ඉටු කරගන්න අවස්ථාව දුන්නා කියලා. ඒ මිෂනාරි සේවය කරන්න. ඇල්බේනියාවට ආපු එක ගැන මං පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. මේ තරම් සතුටක් මගේ ජීවිතේ කවදාවත් අද්දැකලා නැහැ.”

a ඇල්බේනියාවේ දේශනා සේවය ගැන තව විස්තර දැනගන්න ‘2010 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත’ (සිංහලෙන් නැහැ) බලන්න.

b ඇල්බේනියාවට ඊසාන පැත්තට වෙන්න තමයි කොසෝවෝ තියෙන්නේ. ඒ පැත්තේ ගොඩක් අය කතා කරන්නේ ඇල්බේනියානු උප භාෂාවක්. ඒ භාෂාව කතා කරන අයට දේශනා කරන්න ඇල්බේනියාවේ සාක්ෂිකරුවන් වගේම යුරෝපයේ රටවල්වලින් සහ එක්සත් ජනපදයෙන් අපු සහෝදර සහෝදරියනුත් ගොඩක් මහන්සි වෙනවා. 2020 වෙද්දී ඒ ප්‍රදේශයේ ප්‍රචාරකයන් 256දෙනෙක් සභා 8ක, කණ්ඩායම් 3ක සහ කුඩා පිරිස් විදිහට රැස් වෙන පුංචි කණ්ඩායම් 2ක සේවය කළා.