Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

කෙනෙක් තව කෙනෙක්ගේ කෙතක කිරිඳි වපුරන එක අතීතයේදී ඇත්තටම සිදු වුණාද?

රෝම අධිරාජ්‍යයා වුණු ජස්ටිනියන් ප්‍රකාශයට පත් කරපු “ඩයිජෙස්ට්” කියන පොතේ 1468වෙනි පිටපත. ඒක අතීතයේ තිබුණු නීතිමය කාරණා ගැන තේරුම්ගන්න උදව් වෙන වාර්තාවලින් එකක් විතරයි.

යේසුස් මතෙව් 13:24-26 මෙහෙම කිව්වා. “තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියා. තිරිඟු පැළ වැඩී පල දරන්න පටන්ගත් විට කිරිඳිත් මතු වුණා.” උපමාවේ සඳහන් වුණේ ඒ කාලේ ඇත්තටම සිදු වුණු දෙයක් නෙමෙයි කියලා සමහර ලේඛකයන් කියනවා. ඒත් ඒක එහෙම නෙමෙයි කියන්න අතීත රෝම නීතිය සම්බන්ධ ලියවිලිවලින් සාක්ෂි හොයාගන්න පුළුවන්.

“පළිගැනීමේ අරමුණින් වෙන කෙනෙකුගේ කෙතක කිරිඳි වැපිරීම රෝම ව්‍යවස්ථාවට අනුව අපරාධයක්. ඒ වගේ දෙයක් ගැන නීතියේ සඳහන් වුණේ ඒක නිතරම සිදු වුණු දෙයක් නිසයි” කියලා බයිබල් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. රෝම අධිරාජ්‍යයා වුණු ජස්ටිනියන් ක්‍රි.ව. 533දී ප්‍රකාශයට පත් කළ “ඩයිජෙස්ට්” කියන පොත ගැන නීති විශාරදයෙක් වුණු ඇලස්ටර් කේර් තොරතුරු ඉදිරිපත් කළා. ඔහු පැහැදිලි කරන විදිහට ඒ පොතේ රෝම නීතියේ සාරාංශයක්ද ක්‍රි.ව. 100-250ත් අතර කාලයේ රෝම නීතිය ගැන සඳහන් වුණු වාර්තාවල සමහර කොටස්ද ඇතුළත් වෙනවා. කෙනෙකුගේ කෙතක වෙන කෙනෙක් කිරිඳි වපුරපු නිසා ඒ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වුණු සිද්ධියක් 2වෙනි සියවසේදී විභාග කළා. සිවිල් නීතිය ගැන මනා දැනුමක් තිබුණු ඔල්පියන් ඒ නඩුවේ තොරතුරු ගැන කියපු දේවල් ඒ පොතේ ඇතුළත් වුණා. වගාවක අයිතිකරුට නැත්නම් කෙතක් බද්දට ගත්ත කෙනෙක්ට ඒ වගේ පාඩුවක් සිද්ධ වුණොත් වන්දි ලබාගන්න නීතියෙන් ගන්න පුළුවන් පියවර ගැන “ඩයිජෙස්ට්” පොතේ කතා කරලා තියෙනවා.

රෝම පාලන කාලයේදී ඒ වගේ ක්‍රියාවන් සිදු වුණා කියලා ඒ වාර්තාවලින් පැහැදිලියි. ඒකෙන් තේරෙන්නේ යේසුස් උපමාවේ සඳහන් කළේ ඒ කාලේ ඇත්තටම සිදු වුණු දෙයක් ගැන කියලයි.

මුල් සියවසේ යුදයේ හිටපු යුදෙව් ප්‍රධානීන්ට රෝම අධිරාජ්‍යය කොයි තරම් බලතල දීලා තිබුණද?

ඒ කාලේ යුදය තිබුණේ රෝමය යටතේ. යුදය පාලනය කරන්න රෝම ආණ්ඩුකාරයෙක්ව පත් කරලා තිබුණු අතර ඔහුට හමුදා බළඇණියක් හිටියා. ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ රෝමය වෙනුවෙන් බදු අය කිරීමයි. සාමය ආරක්ෂා කිරීමත් ඔහුගේ වගකීමක් වුණා. නීති විරෝධී දේවල් වැළැක්වීමත් සාමයට තර්ජනයක් වෙන දෙයක් සිදු වුණොත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත් කළේ රෝමවරුන්. ඒත් එදිනෙදා පරිපාලන වැඩකටයුතු ඒ පළාතේ හිටපු යුදෙව් ප්‍රධානීන්ට භාර දීලා තිබුණා.

යුදෙව් මන්ත්‍රණ සභාව නඩුවක් විභාග කරමින්

ඒ කාලේ තිබුණු යුදෙව් මන්ත්‍රණ සභාව යුදෙව් නීතියට සම්බන්ධ කාරණාවලදී උපදෙස් දුන්නා වගේම යුදෙව් මහාධිකරණය විදිහටත් කටයුතු කළා. ඊට අමතරව යුදය පුරාම පහළ උසාවි තිබුණා. අපරාධ නඩු ඇතුළු වෙනත් නඩු වැඩි හරියක් රෝම පාලකයන්ගේ මැදිහත් වීමක් නැතුව ඒ උසාවිවල විභාග කළා. ඒත් අපරාධකරුවෙක්ට මරණ දඬුවම නියම කිරීමට යුදෙව් උසාවිවලට බලතල දීලා තිබුණේ නැහැ. ඒ අයිතිය තිබුණේ රෝම පාලකයන්ට විතරයි. ඒත් මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් ස්තේපන්ට ගල් ගහලා මරන්න තීන්දු කරපු අවස්ථාවේ ඔවුන් වැඩ කළේ තමන්ට තිබුණු බලතලවලට පිටිනුයි.—ක්‍රියා 6:8-15; 7:54-60.

යුදෙව් මන්ත්‍රණ සභාවට හුඟක් බලතල තිබුණා. ඒත් ඔවුන් විභාග කරන නඩුවකට රෝම පාලකයන් මැදිහත් වුණොත් ඒ ගැන කිසි දෙයක් කරන්න ඔවුන්ට බැහැ. “ඕනෑම වෙලාවක නඩුවක් තමන්ගේ අතට අරගෙන මන්ත්‍රණ සභාවේ මැදිහත් වීමක් නැතුව ඒ නඩුව විභාග කරන්න රෝම බලධාරීන්ට පුළුවන්කම තිබුණා” කියලා විශාරදයෙක් වුණු එමිල් ෂුඑරර් සඳහන් කළා. රෝම පුරවැසියෙක් වුණු පාවුල්ව අත්අඩංගුවට ගත්ත හමුදාපති ක්ලෝදියස් ලිසියස් පාවුල් හා සම්බන්ධ කාරණයේදී කළෙත් ඒ දේමයි.—ක්‍රියා 23:26-30.