Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මන්නාවලට සහ වටුවන්ට අමතරව පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට කන්න තව දේවල් තිබුණාද?

අවුරුදු 40ක් පුරා පාළුකරයේ ජීවත් වෙද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධාන කෑම වුණේ මන්නා. (නික්. 16:35) හැබැයි දෙවියන් එයාලට අවස්ථා දෙකකදී කන්න වටුවන්වත් දුන්නා. (නික්. 16:12, 13; ගණන්. 11:31) ඒ දේවල්වලට අමතරව සීමිත ප්‍රමාණයකින් වුණත් එයාලට කන්න තවත් කෑම ජාති තිබුණා.

උදාහරණෙකට යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට “කඳවුරු බැඳගන්න” කියපු සමහර තැන් අවට වතුර සහ ගොඩක් ගස් තිබුණා. (ගණන්. 10:33) ඒ වගේ එක තැනක් තමයි ඒලිම් කියන්නේ. ඒලිම්වල “දිය උල්පත් දොළහක්ද තාල වර්ගයට අයත් ගස් හැත්තෑවක්ද” තිබුණා කියලා බයිබලේ කියනවා. (නික්. 15:27) එතන තාල වර්ගයේ ගස් කියන්නේ රටඉඳිවලට කියලා කිසිම සැකයක් නැහැ. මොකද රටඉඳි ගස් ගැන එක පොතක මෙහෙම කියලා තියෙනවා. “රටඉඳි කියන්නේ කාන්තාරය පුරාම පැතිරිලා තිබුණ ගස් වර්ගයක්. ඒක තමයි කාන්තාරේ ඉන්න කෙනෙක්ට කන්න තියෙන ප්‍රධානම ආහාරය. රටඉඳි ගස් නිසා මිලියන ගාණකට ආහාර, තෙල් වගේම සෙවණත් ලැබුණා.”—Plants of the Bible.

අද ෆේරාන් කියලා හඳුන්වන කාන්තාරයේ ප්‍රධානම ක්ෂේම භූමියෙත් ඊශ්‍රායෙල්වරු නතර වෙන්න ඇති. ඒ ක්ෂේම භූමිය තියෙන්නේ ෆේරාන් නිම්නයේ. ඒ හරහා අතීතයේදී ගඟකුත් ගලා බහින්න ඇති. මේ නිම්නය ගැන එක පොතක කියන දේ බලන්න. “මේක සැතපුම් 81ක් [කි.මී. 130ක්] පුරා දිව යන නිම්නයක්. සීනයිවල තියෙන දිගම, ලස්සනම, ගොඩක් ප්‍රසිද්ධම නිම්නයක් විදිහට මේක හඳුන්වනවා. මේ නිම්නය මුහුදට සම්බන්ධ වෙන තැන ඉඳන් සැතපුම් 28ක් [කි.මී. 45ක්] විතර දුර ගියාම තමයි ෆේරාන් ක්ෂේම භූමිය හම්බ වෙන්නේ. ඒක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2,000ක් [මී. 610ක්] විතර උසින්. ඒක සැතපුම් 3ක් [කි.මී. 4.8ක්] දිගයි. ඒ තැන කොච්චර ලස්සනයිද කියනවා නම් හුඟක් අය ඒකට කිව්වේ සීනයිවල තියෙන පුංචි ඒදන් උයන කියලා. ඒකේ තියෙන දහස් ගාණක් රටඉඳි ගස්වලට ආකර්ෂණය වෙලා අතීතයේ ඉඳන්ම මිනිස්සු හුඟදෙනෙක් මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා.”—Discovering the World of the Bible.

ෆේරාන් ක්ෂේම භූමියේ තියෙන රටඉඳි

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් එද්දී අනපු පිටි, පිටි අනන භාජන, ධාන්‍ය සහ තෙල් ගෙනාවා. හැබැයි වැඩි දවසක් යන්න කලින් එයාලා ගෙනාපු කෑම ඉවර වෙන්න ඇති. ඊට අමතරව බයිබලේ කියනවා එයාලා “එළුවන්, බැටළුවන් හා ගවයන් ඇතුළු විශාල සත්ව රැළක්ද රැගෙන ගියෝය” කියලා. (නික්. 12:34-39) ඒත් කාන්තාරයේ කටුක දේශගුණය නිසා සමහර සත්තු මැරිලා යන්න ඇති. සමහර සත්තුන්ව එයාලා කෑමට ගන්නත් ඇති. ඒ විතරක් නෙවෙයි තවත් එවුන්ව පූජාවන් විදිහට ඔප්පු කරන්න ඇති. a සමහරවිට බොරු දෙවිවරුන්ට පවා ඒ සත්තුන්ව ඔප්පු කරන්න ඇති. (ක්‍රියා 7:39-43) හැබැයි ඒ කොහොමවුණත් ඊශ්‍රායෙල්වරු සත්තුන්ව බෝ කළා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද එක අවස්ථාවකදී එයාලා යෙහෝවාට අකීකරු වුණාම ඔහු එයාලට කිව්වා “ඔබේ පුත්‍රයෝ අවුරුදු හතළිහක් පුරා එඬේරුන් ලෙස මේ පාළුකරයේ ජීවත් වෙනවා” කියලා. (ගණන්. 14:33) ඒ නිසා ඒ සත්තුන්ගෙන් එයාලට කිරි සහ මස් ලැබෙන්න ඇති. හැබැයි අවුරුදු 40ක් පුරා මිලියන තුනක විතර සෙනඟකට ඒ දේවල් ප්‍රමාණවත් වෙන්න ඇති කියලා අපිට හිතන්න බැහැ. b

එතකොට ඊශ්‍රායෙල්වරුන්ගේ සත්තුන්ට කෑම බීම ලැබුණේ කොහොමද? c ඒ පැතිවල තියෙන කාන්තාර දැන් පාළුවට ගිහිල්ලා තිබුණත් ඒ කාලේ දැනට වඩා හොඳට ගස් කොළන් තිබුණා. ඒ වගේම හොඳ වර්ෂාපතනයකුත් ලැබුණා. ඒ ප්‍රදේශවල මීට අවුරුදු 3,500කට කලින් තිබුණ තත්වය ගැන ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ 1වෙනි වෙළුමේ (සිංහලෙන් නැහැ.) මෙහෙම පැහැදිලි කරනවා. “ඉස්සර දැනට වඩා අරාබිකරයේ ජල සැපයුම ඉහළ තත්වයක තිබුණා. දැන් ඒ ප්‍රදේශවල තියෙන ගංඉවුරු වේළිලා ගිහින් තිබුණාට ඒවා හරිම ගැඹුරුයි. ඉතින් එහෙම වෙන්න නම් ඒ පැතිවලට ලොකු වර්ෂාපතනයක් ලැබෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.” හැබැයි ඒ කොහොමවුණත් කාන්තාරය කියන්නේ පාළුවට ගිය, මුඩුබිම් තියෙන හරිම භයානක පැත්තක්. (ද්වි. 8:14-16) ඉතින් යෙහෝවා දෙවියන් ආශ්චර්යවත් විදිහට ඊශ්‍රායෙල්වරුන්ටයි, එයාලාගේ සත්ව රැළවල්වලටයි වතුර දුන්නේ නැත්නම් එයාලා හැමෝම අනිවාර්යයෙන්ම විනාශ වෙන්න තිබුණා.—නික්. 15:22-25; 17:1-6; ගණන්. 20:2, 11.

මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා දෙවියන් එයාලට මන්නා දුන්නේ “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව, යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත බව එයාලට අවබෝධ කරලා දෙන්නයි” කියලා.—ද්වි. 8:3.

a කාන්තාරයේ ජීවත් වෙන කාලේ ඊශ්‍රායෙල්වරු අවස්ථා දෙකකදී සත්ව පූජා ඔප්පු කළා කියලා සඳහන් වෙනවා. මුලින්ම ඒ විදිහට සත්ව පූජා ඔප්පු කළේ පූජකයන්ව පත් කරපු අවස්ථාවේදී. දෙවෙනියට ඔප්පු කළේ පාස්කුව සමරද්දී. මේ අවස්ථා දෙකම සිද්ධ වුණේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ ක්‍රි.පූ. 1,512දී.—ලෙවී. 8:14–9:24; ගණන්. 9:1-5.

b පාළුකරයේ හිටපු අවුරුදු 40 අවසාන හරියේදී ඊශ්‍රායෙල්වරු යුධ ජයග්‍රහණ ලබලා සියදහස් ගාණක් සත්තුන්ව කොල්ලයක් විදිහට අත් පත් කරගත්තා. (ගණන්. 31:32-34) හැබැයි එහෙමවුණත් එයාලා පොරොන්දු දේශයට ඇතුල් වෙන කල්ම මන්නා කෑමට ගත්තා.—යොෂු. 5:10-12.

c සත්තු මන්නා කෑමට ගත්තා කියලා බයිබලේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මොකද දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මන්නා එකතු කරන්න අවසර දුන්නේ එක් එක් කෙනාට අවශ්‍ය ප්‍රමාණයට විතරයි.—නික්. 16:15, 16.