Skip to content

පටුනට යන්න

පුංචි හිතට දැනුණ දුක

පුංචි හිතට දැනුණ දුක

අම්මාගේ හරි තාත්තාගේ හරි මරණය නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? ඒ දුක දරාගන්න එක ඔයාට අමාරුද? ඔයා වගේ දුකෙන් හිටිය දරුවන් තුන්දෙනෙක්ට බයිබලයේ තියෙන වදන් සහනයක් වුණ විදිහ ගැන දැනගන්න.

ඩේමිගේ කතාව

ඩේමි

එදා තාත්තාට පොඩි ඔළුවේ කැක්කුමක් තිබ්බා. ඒත් ඒක හිතපු නැති විදිහට වැඩි වුණාම අම්මා ඉස්පිරිතාලෙට කතා කළා. ගිලන්රථයෙන් ආපු අය තාත්තාව ගෙනිච්ච විදිහ මට අදටත් මතකයි. ඒක මම තාත්තාව දකින අන්තිම අවස්ථාව කියලා මට ඒ වෙලාවේ හිතුණේ නැහැ. දවස් තුනකට පස්සේ තාත්තා මොළය හා සම්බන්ධ රෝගයකින් මැරුණා. එතකොට මට අවුරුදු 6යි.

තාත්තාව ගෙනියද්දී නිකන් බලන් ඉන්නේ නැතුව මට මොනා හරි කරන්න තිබුණා කියලා මට හිතුණා. ඒ ගැන මගේ හිත වධ දුන්නා. එහෙම හිතලා මම තාත්තාට වුණ දේ ගැන මටම දොස් කියාගත්තා. වයසක අයව දකිද්දී මට හිතෙනවා ඇයි මගේ තාත්තා ඉක්මනට මැරුණේ කියලා. ඒත් මගේ හිතේ තිබ්බ ඒ දේවල් අම්මාට කිව්වාම මට සහනයක් දැනුණා. ඒ වගේම අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා අපේ සභාවේ අයගෙනුත් අපිට ගොඩක් උදව් ලැබුණා.

මරණයක් වෙච්ච අලුත දුක දැනිලා පස්සේ ඒක ඇරිලා යනවා කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් මට තාත්තා නැති දුක වැඩියෙන්ම දැනෙන්න පටන්ගත්තේ මම යෞවන වයසට ආවාට පස්සේ.

අම්මාගේ හරි, තාත්තාගේ හරි මරණය නිසා දුක් වෙන යෞවනයන්ට මම කියන්නේ දුක හිතේ තද කරන් ඉන්නේ නැතුව ඒ ගැන කාට හරි කියන්න කියලයි. මොකද එහෙම කරේ නැත්නම් ඒක පස්සේ කාලෙක ඔයාගේ ජීවිතයට නරක විදිහට බලපාන්න පුළුවන්.

මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවල ඒ සතුට බෙදාගන්න තාත්තා ළඟ නැති එක ලොකු දුකක්. ඒත් බයිබලයේ එළිදරව් 21:4 මෙහෙම කියලා තියෙනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” ඒ බලාපොරොත්තුව මට ලොකු සැනසීමක්.

ඩෙරික්ගේ කතාව

ඩෙරික්

මම ඉස්සර තාත්තාත් එක්ක මාළු අල්ලන්න යනවා. කඳු නඟිනවා. ඒ කාලේ අපි හරිම සතුටින් හිටියා.

මගේ තාත්තාට පපුවේ අමාරුවක් තිබ්බා. තාත්තා ඉස්පිරිතාලේ නතර වෙලා ඉද්දී දෙසැරයක් විතර තාත්තාව බලන්න ගියා කියලා මට මතකයි. ඒත් තාත්තාට තිබ්බේ දරුණු හදවත් රෝගයක් කියලා මම දැනන් හිටියේ නැහැ. ඒ ලෙඩේ වැඩි වෙලා තාත්තා මැරෙද්දී මට අවුරුදු 9යි.

එදා තමයි මං ජීවිතේ වැඩියෙන්ම දුක් වුණු දවස. මං එදා ගොඩක් ඇඬුවා. මට ඕනෙ වුණේ හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න. තාත්තා නැති වුණු අලුත අපේ පල්ලියෙන් මං ගැන හොයලා බැලුවා. ඒත් ඒ ටික කාලෙකට විතරයි. “තාත්තා ගෙනාපු ආයුෂ ඔච්චර තමයි,” “දෙවියන් එයාව ගත්තා,” “එයා දැන් ඉන්නේ ස්වර්ගයේ” වගේ දේවල් කියලා එයාලා මාව සනසන්න හැදුවා. ඒ දේවල් ඇත්තද කියලා මම හරියටම දැනන් හිටියේ නැහැ. හැබැයි ඒ මොන දේ කිව්වත් මගේ හිතේ දුක නම් අඩු වුණේ නැහැ.

ඒ කාලෙදිම වගේ අපේ පවුලේ අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. කෙනෙක් මැරුණාට පස්සේ වෙන දේ ගැනත් එයාලාට ආයෙත් ජීවිතයක් ලැබෙනවා කියන දේ ගැනත් අපි බයිබලයෙන් දැනගත්තා. (යොහන් 5:28, 29) යෙසායා 41:10 මෙහෙම කියනවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.” යෙහෝවා දෙවියන් මාත් එක්ක ඉන්නවා කියන ඒ පොරොන්දුව දුක දරාගන්න මට ගොඩක් උදව් වෙලා තියෙනවා. අදටත් ඒක මට ලොකු ශක්තියක්.

ජෙනීගේ කතාව

ජෙනී

මගේ අම්මා පිළිකාවකින් මැරෙද්දී මට අවුරුදු 7යි. අම්මා මැරුණා කියලා මට හිතාගන්න බැරි වුණා. මම මේ දකින්නේ හීනයක්ද කියලත් මට හිතුණා. එයා මැරුණේ ගෙදරදී. එදා ආච්චිලාත් ඇවිල්ලා හිටියා. කවුරුවත් කතා කෙරුවේ නැහැ. හැමෝම ගල් ගැහිලා වගේ බලන් හිටියා. අපි රෑ කෑවේ පානුයි බිත්තරයි. එදා දවස හරිම අමුතුයි.

අම්මා මැරෙද්දී මගේ නංගි හරිම පොඩියි. අක්කා විදිහට එයාව බලාගන්න ලොකු වගකීමක් මට තිබුණා. ඕනාවට වඩා දුක් වුණොත් ඒක නංගිට බලපායි කියලා හිතලා දුක හිතේ තද කරන් ඉන්න මම පුරුදු වුණා. අදටත් දුක හිතෙන දේවල් වුණාට මම මගේ දුක පිටට පෙන්නන්නේ නැහැ. ඒත් ඒක හොඳ දෙයක් නම් නෙමෙයි.

අම්මා නැති වෙද්දී අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන් අරන් වැඩි දවසක් නැහැ. ඒත් සාක්ෂිකරුවන් අපිට සැලකුවේ කාලයක් තිස්සේ අඳුරන හොඳ යාළුවෝ වගේ. අපි හැමෝම එක පවුලක් වගේ කියලා අපිට දැනුණා. සහෝදරයන් අපිට කෑමත් හදලා එව්වා. අවුරුද්දක් විතර යන කල් කෑම ගැන කරදර වෙන්න තාත්තාට සිද්ධ වුණේ නැහැ.

බයිබලයේ ගීතාවලිය 25:16, 17 කියන දේට මම හරි ආසයි. ඒ කොටස ලියපු ගීතිකාකරු දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලුවා. “මා දෙස බලා මට කරුණාව පෙන්වන්න. මන්ද මම තනි වී සිටිමි. පීඩාවලින් වේදනා විඳිමි. මාගේ සිතේ දුක් වේදනා බොහෝය. එබැවින් මා විඳින මේ පීඩාවලින් මාව ගලවාගන්න.” ගීතිකාකරු කළා වගේ අපිටත් දුකේදී දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. ඒක ලොකු සැනසීමක්. ජීවිතය ගැන කලකිරෙන්නේ නැතුව ඉන්න බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මට උදව් වෙලා තියෙනවා. ඒ වගේම මගේ අම්මාව ආයෙත් දකින්න පුළුවන් කියලා බයිබලයේ තියෙන පොරොන්දුවත් මට ලොකු සැනසීමක්. පාරාදීස පොළොවෙදි ලෙඩක්, දුකක් නැතුව අම්මා සතුටින් ඉන්නවා දකින කල් මට ඉවසිල්ලක් නැහැ.—2 පේතෘස් 3:13.

කෙනෙක්ගේ මරණය නිසා දුකෙන් ඉන්න අයට බයිබලයේ දීලා තියෙන සැනසිලිදායක පොරොන්දුව ගැන තවත් විස්තර දැනගන්න ‘ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට’ කියන සඟරාව කියවන්න. මේ සඟරාව www.pr418.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න.