Skip to content

පටුනට යන්න

මානසික පීඩනයෙන් මිදෙමු

මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

මානසික පීඩනයෙන් මිදෙන්න නම් ඔයා ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන, අනිත් අයත් එක්ක කටයුතු කරන විදිහ ගැන, ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන, ජීවිතේ වැදගත්ම දේ විදිහට ඔයා සලකන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පීඩනයට හොඳින් මුහුණ දෙන්න එහෙමත් නැත්නම් පීඩනය අඩු කරගන්න උදව් වෙන ප්‍රතිපත්ති කිහිපයක් මේ ලිපියේ සඳහන් වෙනවා.

දවසේ කරදර ගැන විතරක් හිතන්න වෑයම් කරන්න

“හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි.”—මතෙව් 6:34.

අදහස් වෙන දේ: හැම දවසකම කනස්සල්ලට හේතු වෙන දේවල් සිද්ධ වෙනවා. හැබැයි හෙට දවසේ වෙන දේවල් ගැන හිතලා කනස්සල්ල වැඩි කරගන්න එපා. දවසේ කරදර ගැන විතරක් හිතන්න වෑයම් කරන්න.

  • පීඩනය කනස්සල්ලට මඟ පාදන්න පුළුවන්. ඒ නිසා යම් පීඩනයක් දැනෙන එක සාමාන්‍යයි කියලත් වළක්වන්න බැරි දේවල් ගැන කනස්සලු වෙන එකෙන් වෙන්නේ පීඩනය තවත් වැඩි වෙන එක විතරයි කියලත් අපි තේරුම්ගන්න ඕනේ. සමහර දේවල් වෙයි කියලා අපි ළත වුණත් හුඟක් වෙලාවට ඒවා ඒ විදිහටම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් අපි තේරුම්ගන්න ඕනේ.

සාධාරණ වෙන්න

“ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.

අදහස් වෙන දේ: හැම දෙයක්ම තිතටම වෙන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගෙන්වත් අනිත් අයගෙන්වත් සීමාව ඉක්මවලා දේවල් බලාපොරොත්තු වෙන එකෙන් වැළකිලා ඉන්න.

  • නිහතමානී වෙන්න. ඔයා ඔයාගෙනුත් අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙන දේවල් ගැන සාධාරණ වෙන්න. ඔයාගේ, අනිත් අයගේ සීමාවන් මොනවාද කියලා තේරුම්ගන්න. එහෙම කරද්දී ඔයාටත් අනිත් අයටත් දැනෙන පීඩනය අඩු වෙනවා වගේම දේවල් වඩා හොඳින් කරන්නත් පුළුවන් වෙනවා. විහිළුවක් තහළුවක් කරන්නත් අමතක කරන්න එපා. මොකද අපි හිතන දේ ඒ විදිහටම වෙන්නේ නැති අවස්ථාවකදී වුණත් දැනෙන පීඩනය අඩු කරගන්නත් සතුටින් ඉන්නත් හිනා වෙන එක ඔයාට උදව් වෙනවා.

ඔයාට පීඩනයක් දැනෙන්න හේතු වෙන දේවල් හඳුනගන්න

“වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.”—හිතෝපදේශ 17:27.

අදහස් වෙන දේ: කේන්තිය, නුරුස්සන ගතිය, කනස්සල්ල වගේ හැඟීම් පාලනය කරගත්තේ නැත්නම් ඔයාට කිසිම දෙයක් ගැන හරි විදිහට හිතන්න බැරි වෙයි. ඒ නිසා සන්සුන්ව ඉන්න වෑයම් කරන්න.

  • ඔයාට පීඩනයක් දැනෙන්න හේතු වෙන දේවල් හඳුනගෙන ඒ වගේ වෙලාවලදී ඔයා කටයුතු කරන විදිහ ගැන හිතලා බලන්න. උදාහරණෙකට පීඩනයක් දැනෙද්දී ඔයා හිතන විදිහ, හැසිරෙන විදිහ ගැන අවධානයෙන් ඉඳලා කැමති නම් ඒවා සටහන් කරගන්න. ඒ දේවල් ඔයාට උදව් වෙයි පීඩනය අඩු කරගන්න. පීඩනයක් දැනෙන සමහර දේවල් ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න පුළුවන්ද කියලා බලන්න. බැරි නම් ඒ දේවල් නිසා දැනෙන පීඩනය අඩු කරගන්න පුළුවන් විදි ගැන හිතන්න. ඒ කියන්නේ වැඩක් තවත් හොඳින් කරන විදිහ, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ වගේ දේවල් ගැන හිතලා බලන්න.

  • හිතන විදිහ වෙනස් කරගන්න වෑයම් කරන්න. ඔයාට පීඩනයක් දැනෙන්න හේතු වෙන දේ තවත් කෙනෙක්ට පීඩනයක් දැනෙන්න හේතු නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඔයා හිතන විදිහ නිසා වෙන්න ඇති. මේ යෝජනා බලන්න.

    1. විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා. කෙනෙක් පෝළිම පැන්නාම ‘එයාගේ කිසි හැදියාවක් නෑ’ කියලා හිතුවොත් ඔයාට කේන්ති යයි. එහෙම හිතනවා වෙනුවට එයා එහෙම කරන්න ඇත්තේ හොඳ හේතුවක් තිබුණු නිසා වෙන්න ඇති කියලා හිතන්න. සමහරවිට ඇත්තටම එයාට හොඳ හේතුවක් තියෙන්න ඇති.

    2. ශුභවාදීව හිතන්න. දොස්තර කෙනෙක් එන කල්, බස් එකක් එන කල් බලන් ඉන්න වෙද්දී පොතක් හරි පත්තරයක් හරි කියවන්න. ඊ-මේල් බලන්න. දැනෙන පීඩනය අඩු කරගන්න ඒවා උදව් වෙයි.

    3. ප්‍රශ්න ලොකු කරගන්න එපා. ‘මේ ප්‍රශ්නේ දිගටම තියෙයිද, කෙන්දක් වගේ තියෙන ප්‍රශ්නයක් මං කන්දක් කරගෙනද’ කියලා හිතන්න.

දේවල් පිළිවෙළකට කරන්න පුරුදු වෙන්න

“සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි.”—1 කොරින්ති 14:40.

අදහස් වෙන දේ: හැම දෙයක්ම පිළිවෙළට කරන්න වෑයම් කරන්න.

  • හුඟදෙනෙක් කැමතියි පිළිවෙළකට දේවල් කරන්න. ඒත් වැඩ කල් දානවා නම් පිළිවෙළකට දේවල් කරන්න බැරි වෙයි. එතකොට වැඩ ගොඩගැහිලා ලොකු පීඩනයක් දැනෙයි. ඒක වළක්වගන්න උදව් වෙන යෝජනා දෙකක් බලමු.

    1. ඔයාට ගැළපෙන කාලසටහනක් හදාගෙන ඒකට අනුවම වැඩ කරන්න.

    2. වැඩ කල් දාන්න පෙලඹෙන හේතු හඳුනගෙන ඒවා හදාගන්න.

සමබර ජීවන රටාවක් ගත කරන්න

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.

අදහස් වෙන දේ: වැඩවලට වහල් වෙලා ඉන්න කෙනෙක් “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක්” වැඩ කළත් ඒකෙන් ප්‍රයෝජනයක් ලබන එකක් නැහැ. මොකද වෙහෙසේ ප්‍රතිඵල භුක්ති විඳින්න තරම් කාලය, ශක්තිය එයාට ඉතිරි වෙන එකක් නැහැ.

  • රැකියාව සහ මුදල් ගැන සමබර ආකල්පයක් තියාගන්න. සල්ලි වැඩියෙන් හම්බ කළා කියලා ලැබෙන සතුට වැඩි වෙන්නේවත් දැනෙන පීඩනය අඩු වෙන්නේවත් නැහැ. බයිබලයෙත් කියන්නේ “තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි” කියලයි. (දේශනාකාරයා 5:12) ඒ නිසා ඔයාට තියෙන දෙයින් සෑහීමට පත් වෙලා අනවශ්‍ය වියදම්වලින් වැළකිලා ඉන්න.

  • විවේකයෙන් ඉන්නත් කාලයක් වෙන් කරගන්න. ඔයා ආස දේවල් කරන එකෙන් ඔයාගේ පීඩනය අඩු කරගන්න පුළුවන්. හැබැයි ටීවී බලන එක වගේ එක තැන ඉඳන් කරන දේවලින් නම් දැනෙන පීඩනය අඩු කරගන්න ලැබෙන්නේ නැහැ.

  • තාක්ෂණික උපාංගවලට වහල් වෙන්න එපා. ඊ-මේල් බලන එක, මෙසේජ් යවන එක, සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසරන එක වගේ දේවල් හැම තිස්සෙම කරන්න එපා. අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න වැඩ වෙලාවෙන් පස්සේ වැඩට සම්බන්ධ ඊ-මේල් බලන එකෙන් වළකින්න.

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න

“ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙනවා.—1 තිමෝති 4:8, ‘පැරණි අනුවාදය.’

අදහස් වෙන දේ: නිතිපතා ව්‍යායාම කරන එක නිරෝගී සෞඛ්‍යයක් පවත්වගන්න උදව් වෙනවා.

  • නිරෝගී සෞඛ්‍යයකට දායක වෙන පුරුදු ඇති කරගන්න. ව්‍යායාම කරන එක සතුටින් ඉන්නත් පීඩනයක් දැනෙද්දී ඒකට සාර්ථකව මුහුණ දෙන්නත් උදව් වෙනවා. පෝෂ්‍යදායි කෑම කන්නත් කෑම වේල් අතපසු නොකරන්නත් ප්‍රමාණවත් විවේකයක් ගන්නත් වගබලා ගන්න.

  • පීඩනය අඩු කරගන්න හිතාගෙන මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ ශරීරයට හානිකර දේවලට ඇබ්බැහි වෙන්න එපා. මොකද ඒ දේවල් නිසා ලෙඩ වෙන්නත් ණය වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ පීඩනය තවත් වැඩි වෙන එක විතරයි.

  • ඔයාට දැනෙන පීඩනය දරාගන්න බැහැ කියලා හිතෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න. වෛද්‍ය උපදෙස් ගන්න එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි.

වැදගත් දේට මුල් තැන දෙන්න

‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

අදහස් වෙන දේ: ඔයා මුල් තැන දෙන්නේ මොන දේවලටද කියලා හොඳට හිතලා බලන්න.

  • වැදගත්කමේ අනුපිළිවෙළට අනුව ඔයාට කරන්න තියෙන වැඩ කොළේක සටහන් කරගන්න. වඩා වැදගත් දේවල් හඳුනගන්න ඒක ඔයාට උදව් වෙයි. දැන්ම කරන්න ඕන නැති දේවල්, තව කෙනෙක්ට කරන්න පවරන්න පුළුවන් දේවල් සහ අනිවාර්යයෙන් කරන්න ඕන නැති දේවල් හඳුනගන්නත් ඒක ඔයාට උදව් වෙයි.

  • සතියක් පුරා ඔයා කාලය පාවිච්චි කරන විදිහ සටහන් කරගන්න. ඊටපස්සේ කාලය ඊට වඩා හොඳට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. කාලය පාවිච්චි කරන විදිහ ගැන සැලකිලිමත් වුණොත් ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න පුළුවන්.

  • විවේකයක් ගන්න සැලසුම් කරන්න. පුංචි විවේකයක් හරි ගන්නවා නම් ප්‍රබෝධවත් මනසකින් වැඩ කරන්නත් දැනෙන පීඩනය අඩු කරගන්නත් පුළුවන් වෙනවා.

අනිත් අයගේ උදව් ගන්න

“මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.”—හිතෝපදේශ 12:25.

අදහස් වෙන දේ: අනිත් අය කියන කාරුණික වචන නිසා ඔයාට ලොකු සහනයක් දැනෙයි.

  • ඔයාව හොඳින් තේරුම්ගන්න කෙනෙක් එක්ක ඔයාට හැඟෙන විදිහ ගැන කතා කරන්න. කාරණා ගැන වෙනස්ම විදිහකට හිතන්නත් ඔයා හිතුවේවත් නැති විසඳුමක් ඔයාට දෙන්නත් එයාට පුළුවන් වෙයි. සමහරවිට එයාත් එක්ක කතා කරපු එකම ඔයාට ලොකු සහනයක් වෙයි.

  • උදව් ඉල්ලන්න. කරන්න තියෙන වැඩක් තව කෙනෙක්ට පවරන්න හරි තව කෙනෙක් එක්ක එකතු වෙලා කරන්න හරි පුළුවන්ද?

  • වැඩපොළේ කෙනෙක් නිසා ඔයාට පීඩනයක් දැනෙනවා නම් ඒක අඩු කරගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න. උදාහරණෙකට එයා කරන කියන දේවල් ඔයාට බලපාන විදිහ ගැන කාරුණිකව එයාට කියන්න පුළුවන්ද? (හිතෝපදේශ 17:27) ඒක හරි ගියේ නැත්නම් එයාත් එක්ක ගත කරන කාලය සීමා කරන්න පුළුවන්ද?

දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න

“නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

අදහස් වෙන දේ: කෑම, ඇඳුම්, ඉන්න තැනක් විතරක් නෙවෙයි දෙවියන්ගේ මඟ පෙන්වීමුත් අපිට ඕනෙමයි. ඒ දේ තේරුම් අරන් ලොකු ආශාවකින් දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගත්තොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ.

  • යාච්ඤා කරන එකත් ලොකු උදව්වක් වෙයි. දෙවියන්ම කියනවා ඔහු අපි ගැන ‘සැලකිලිමත් වන නිසා කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියලා. (1 පේතෘස් 5:7) යාච්ඤා කරන එකත් ගොඩනැංවෙන දේවල් ගැන හිතන එකත් මනසේ සාමය ඇතුව ඉන්න උදව් වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

  • දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න උදව් වෙන දේවල් කියවන්න. ලොකු ආශාවකින් දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයන අයට ඒවා ලබාගන්න ඔහු දීලා තියෙන බයිබලයෙනුයි මේ සඟරාවේ තියෙන ප්‍රතිපත්ති අරන් තියෙන්නේ. ‘ප්‍රඥාව සහ සිතීමේ හැකියාව’ දියුණු කරගන්නත් ඒවා උදව් වෙනවා. (හිතෝපදේශ 3:21) බයිබලය කියවන්න ඔයාත් කැමතිද? හිතෝපදේශ පොත කියවන එක ඒකට හොඳ ආරම්භයක් වෙයි.