නික්මයාම 6:1-30

6  එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා පාරාවෝට කරන්න යන දේ+ දැන් බලාගන්න. මම ඔහුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. එවිට ඔහු සෙනඟට යන්න දෙනු ඇත. ඔහු මගේ මහත් බලය දැක සෙනඟව ඔහුගේ දේශයෙන් එළවා දමයි.”+  දෙවි, මෝසෙස්ට මෙසේද කීවේය. “මා යෙහෝවා දෙවිය.+  මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+  ඔවුන් විදේශිකයන් ලෙස ජීවත් වූ කානාන් දේශය ඔවුන්ට උරුම කර දෙන බවට පොරොන්දු වෙමින් මම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තෙමි.+  ඒ ගිවිසුම මම සිහි කරන්නෙමි.+ මන්ද ඊජිප්තුවරුන් වහලුන් ලෙස තබාගෙන සිටින ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිල්ල මට ඇසිණ.+  “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+  මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+  ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+  පසුව මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන්ට ඒ සියල්ල දැන්වූවේය. නමුත් ඔවුන් වහලුන් ලෙස පීඩා විඳිමින් අධෛර්යයට පත්ව සිටි නිසා+ ඔවුහු මෝසෙස් කී දේට සවන් නොදුන්නෝය. 10  එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට නැවත මෙසේ කීවේය. 11  “ඊජිප්තුවරුන්ගේ රජු වන පාරාවෝ+ ළඟට ගොස් ඊශ්‍රායෙල්වරුන්ට මේ දේශයෙන් යන්න අවසර දෙන්න කියා කියන්න.”+ 12  නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයාවත් මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ එසේනම් පාරාවෝ මට ඇහුම්කන් දෙයි කියා සිතන්න පුළුවන්ද?+ හොඳට කතා කළ නොහැකි*+ මා වැනි කෙනෙකුට ඔහු ඇහුම්කන් දෙයිද?” 13  එසේවුවත් ඊශ්‍රායෙල්වරුන්ට හා ඊජිප්තුවේ රජු වන පාරාවෝට දැන්විය යුතු දේ ප්‍රකාශ කිරීමට යෙහෝවා දෙවි මෝසෙස්ව හා ආරොන්ව යොදාගත්තේය. එසේ කළේ ඊශ්‍රායෙල් ජනයාව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒම සඳහාය.+ 14  ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවාය. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුත්‍රයෝ නම් හනොක්, පල්ලූ, හෙස්‍රොන් හා කාමීය.+ ඒ සියලුදෙනා රූබෙන්ගෙන් පැවතෙන්නන්ය.+ 15  සිමියොන්ගේ පුත්‍රයෝ නම් යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් හා කානානිය ස්ත්‍රියගේ පුත්‍රයා වූ ෂාවුල්ය.+ ඒ සියලුදෙනා සිමියොන්ගෙන් පැවතෙන්නන්ය.+ 16  ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය. 17  ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නම් මේවාය. ලිබ්නි හා ෂිමෙයිය.+ ඒ එක් එක් පුත්‍රයාගෙන් පවුල් බිහි විය.+ 18  කෝහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල්ය.+ කෝහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය. 19  මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී හා මූෂීය.+ ලෙවී ගෝත්‍රයට අයත් පවුල් ඒවාය.+ 20  අම්රාම් තම පියාගේ සහෝදරිය වූ යොකෙබෙද්ව විවාහ කරගත්තේය.+ පසුව ඇය ආරොන්ව හා මෝසෙස්ව බිහි කළාය.+ අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය. 21  ඉෂ්හාර්ගේ පුත්‍රයෝ නම් කෝරා,+ නෙෆෙග් හා ෂික්රීය. 22  උස්සියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාෆාන් හා සිත්රීය.+ 23  ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+ 24  කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා හා අබියාසාෆ්ය.+ ඒ එක් එක් පුත්‍රයාගෙන් පවුල් බිහි විය.+ 25  ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්,+ පුතියෙල්ගේ දියණියක සමඟ විවාහ විය. පසුව ඇය පිනෙහාස්ව+ බිහි කළාය. ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානියෝ ඔවුහුය.+ 26  “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+ 27  ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන එන පිණිස ඊජිප්තුවේ රජු වූ පාරාවෝ සමඟ කතා කළේද ඔවුහුය.+ 28  ඊජිප්තු දේශයේදී යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කළේය.+ 29  එදින යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය.+ මා ඔබට කියන සෑම දෙයක්ම ඊජිප්තුවේ රජු වන පාරාවෝට කියන්න.” 30  එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “හොඳට කතා කළ නොහැකි* මා වැනි කෙනෙකුට පාරාවෝ ඇහුම්කන් දෙයිද?”+

පාදසටහන්

නික් 3:19හි පාදසටහන බලන්න.
හෝ, “යෙහෝවා යන මගේ නමෙහි අර්ථය ඔවුහු මුළුමනින්ම වටහාගෙන තිබුණේ නැත.”
මූ.අ., “අචර්මච්ඡේදිත තොල් තිබෙන.”
මූ.අ., “සේනා.”
නික් 6:12හි පාදසටහන බලන්න.