Skip to content

ගිලියද් පාසැලේ 138වෙනි පන්තිය පැවරුම් ලැබූ දවස

ගිලියද් පාසැලේ 138වෙනි පන්තිය පැවරුම් ලැබූ දවස

2015 මාර්තු 14වෙනිදා, නිව් යෝර්ක්හි පැටර්සන්වල පිහිටා තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානයේදී 138වෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පැවරුම් ලබා දුන්නා. වීඩියෝ මාර්ගයෙන් ස්ථාන කීපයකට සම්බන්ධ කරලා තිබුණ මේ විශේෂ අවස්ථාවට සහභාගි වුණ මුළු සංඛ්‍යාව 14,000දෙනෙක්ට වඩා වැඩියි. වැඩසටහන ආරම්භ වුණේ සංගීතය වාදනය කිරීමෙන්. ඒකට අලුත් ගීතිකා 4ක සංගීතයත් ඇතුළත් කරලා තිබුණා. හැමෝම එකතු වෙලා ඒ ගීතිකා 4 පස්සේ ගායනා කෙරුවා. *

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන් වැඩසටහනේ සභාපති හැටියට කටයුතු කෙරුවා. මුලින්ම ඔහු ශිෂ්‍යයන්ට දිරිගැන්නුවේ ඔවුන් ලැබුව දැනුම් සම්භාරය තමන් ළඟම තියාගන්නේ නැතුව අනිත් අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් පාවිච්චි කරන්න කියලයි.—2 තිමෝති 2:2.

මෝසෙස් තිබ්බ ආදර්ශය ගැන සහෝදර ජැක්සන් කතා කෙරුවා. යම් කාලෙකට මෝසෙස්ගේ කූඩාරම ඊශ්‍රායෙල් ජාතියේ නමස්කාර ස්ථානය වුණා. ඒත් ශුද්ධ කූඩාරම හැදුවාට පස්සේ සැබෑ නමස්කාරය සඳහා මධ්‍යස්ථානය වුණේ ඒකයි. පේන විදිහට, ශුද්ධ කූඩාරමේ අතිශුද්ධස්ථානයට යන්න මෝසෙස්ට අවසර තිබුණේ නැහැ. ඒ වරප්‍රසාදය තිබුණේ උත්තම පූජකයාට විතරයි. ඒ වගේ වෙනසක් කරපු එක ගැන මෝසෙස් විරුද්ධ වුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු උත්තම පූජකයා හැටියට ආරොන්ට ලැබුණු අලුත් පැවරුමට සහයෝගය දුන්නා. (නික්මයාම 33:7-11; 40:34, 35) ගන්න තියෙන පාඩම මොකක්ද? “ඔබට ලැබිලා තියෙන වරප්‍රසාදය රැකගන්න. හැබැයි වරප්‍රසාද ගොඩගහගෙන තියාගෙන ඉන්න එපා” කියලා සහෝදර ජැක්සන් කිව්වා.

“කොළයක ශබ්දයකට පවා ඔබ තිගැස්සෙනවාද?” පාලක මණ්ඩලයේ ඉගැන්වීම් කමිටුවට උපකාර කරන කෙනත් ෆ්ලෝඩින්ගේ දේශනයේ තේමාව වුණේ ඒකයි. පීඩා එනකොට, අමාරු පැවරුම් ලැබෙනකොට ශිෂ්‍යයන්ට යම් බයක් දැනෙන්න ඉඩ තියෙනවා කියලා ඔහු කිව්වා. ඔහු ලෙවී කතාව 26:36 තියෙන අදහස පෙන්නලා ඒ වගේ තත්වයන් වේලිච්ච කොළයක ශබ්දයක් හා සමානයි කියලා හිතන්න කිව්වා. ඒ කියන්නේ ඒ තත්වයන්වලට බය නොවී ඒවා පහසුවෙන්ම ජයගන්න පුළුවන් කියලා පෙන්නලා දුන්නා. සහෝදර ෆ්ලෝඩින් නියෝජිත පාවුල්ගේ ආදර්ශය ගැනත් කිව්වා. යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසයි පාවුල්ට හුඟක් දේවල් විඳදරාගන්න පුළුවන් වුණේ.—2 කොරින්ති 1:8, 10.

“ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද?” ඊළඟ දේශනය දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන්. හිතෝපදේශ 13:12 තියෙන “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියන ප්‍රතිපත්තිය ගැන ඔහු සාකච්ඡා කෙරුවා. හුඟක් අයගේ බලාපොරොත්තු සුන් වෙන්නේ ධනය, කීර්තිය වගේ දේවල් අත් කරගන්න හිත යොමු කරන නිසයි.

යේසුස් මේ පොළොවේ හිටිය කාලයේදී යොහන් බව්තීස්ත ගැන සමහරු වැරදි බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. (ලූක් 7:24-28) ඔවුන් හිතන්න ඇත්තේ යොහන් බව්තීස්ත දර්ශනවාදී අදහස් ඉදිරිපත් කරන දර්ශනවාදියෙක් හැටියට එයි කියලා. ඒත් ඔහු ස්ථිර පදනමක් තියෙන සත්‍ය පණිවිඩය කිව්වාම ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙන්න ඇති. තවත් අය ඔහු සිත්ගන්නා පෙනුමක් ඇති ගාම්භීර කෙනෙක් වෙයි කියලා හිතන්න ඇති. ඒත් ඔහු ඇඳගෙන හිටියේ දුප්පතුන් අඳින විදිහේ ඇඳුම්. හැබැයි ඔහු අනාගතවතෘවරයෙක්ගේ කාර්යය කරයි කියලා හිතපු අයගේ බලාපොරොත්තු සුන් වුණේ නැහැ. මොකද යොහන් අනාගතවක්තෘවරයෙක් විතරක් නෙමෙයි මෙසියස් කවුද කියලා පෙන්වලා දෙන්නත් පැවරුම ලැබිලා තිබුණ කෙනායි.—යොහන් 1:29.

ඒ පාඩම අදාළ කරගෙන හරි දේ හොයන්න කියලා සහෝදර සැන්ඩසන් ශිෂ්‍යයන්ට උනන්දු කෙරුවා. තමන්ගේ පැවරුමට ගියාම ප්‍රමුඛස්ථානය, විශේෂ සැලකිලි ගන්න වෑයම් කරනවා වෙනුවට තමන්ගේ පුහුණුව අනිත් අයගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්න කියලා උනන්දු කෙරුවා. ගිලියද් පාසැලේදී ඉගෙනගත්ත දේවල් බෙදාගැනීමෙන්, සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමෙන් සහ ඒ අයට ප්‍රේමය පෙන්වීමෙන් ඒ දේ කරන්න පුළුවන්. සහෝදර සැන්ඩසන් කිව්වේ “ඔබ ඔබේ සහෝදර සහෝදරියන්ගේ සේවකයා වෙලා යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත උපරිමයෙන් ඉටු කරන කෙනෙක් වෙන්න. එතකොට කවදාවත් බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ” කියලයි.

“කුසගින්නේ ඉන්න අයට කන්න දෙන්න.” සේවා පාසැල් අංශයේ උපදේශකයෙක් වන ජේම්ස් කෝතොන්ගේ තේමාව ඒකයි. ප්‍රේමය, අගය කිරීම සහ පිළිගැනීම ලබන්න හැම කෙනෙක්ම කැමතියි කියලා සහෝදර කෝතොන් පෙන්වලා දුන්නා. යේසුස්ට පවා ඒ අවශ්‍යතාව තිබුණා. යේසුස් බව්තීස්ම වෙන අවස්ථාවේදී යෙහෝවා දෙවියන් කිව්ව වචනවලින් ඒ අවශ්‍යතාව ඉටු කළා.—මතෙව් 3:16, 17.

අපේ වචනවලින් අනිත් අයව දිරිගන්වන්න සහ ශක්තිමත් කරන්න යෙහෝවා දෙවියන් අපිට බලය දීලා තියෙනවා. ඒක අපි හොඳින් පාවිච්චි කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (හිතෝපදේශ 3:27) “අනිත් අයගේ හොඳ දකින්නත් ඒ ගැන ප්‍රශංසා කරන්නත් ඔබවම පුහුණු කරගන්න” කියලා සහෝදර කෝතොන් දිරිගැන්නුවා. අපේ සහෝදරයන්ව අවංකව ප්‍රශංසා කරනවා නම් ඔවුන් දරන වෑයම වටිනවා කියලා ඔවුන්ට දැනෙයි.

“අවසාන මොහොත වන තෙක් තමන්ගේ උපරිමය කරන්න.” ඉගැන්වීම් කමිටුවට උපකාර කරන මාක් නියූමයා ඊළඟ දේශනය දුන්නා. නියෝජිත පාවුල්ගේ ආදර්ශය ගැන පෙන්වමින් සහෝදර නියූමයා ශිෂ්‍යයන්ට දිරිගැන්නුවේ අවමය කරලා සෑහීමට පත් වෙන්න එපා කියලයි. ඒ වෙනුවට පාවුල් වගේ අනිත් අය වෙනුවෙන් උපරිමය කළොත් සැබෑ සතුටක් හොයාගන්න පුළුවන්.—ෆිලිප්පි 2:17, 18.

දුෂ්කරතාවලට මුහුණ දෙද්දී පාවුල් පසුබැස්සේ නැහැ. මරණය දක්වාම උපරිමය කරන්න උත්සාහ කරපු නිසා ඔහු අවසාන මොහොත වන තෙක් සටන් කළා කියලා කියන්න පුළුවන්. ඒ නිසා බය නැතුව “මගේ ධාවන තරඟයද නිම කළෙමි” කියලා කියන්න ඔහුට පුළුවන් වුණා. (2 තිමෝති 4:6, 7) තමන්ගේ පැවරුමට ගියාම දේවරාජ්‍යය වෙනුවෙන් කරන සේවයට සම්පූර්ණ සහයෝගය දීලා පාවුල්ව ආදර්ශයට ගන්න කියලා සහෝදර නියූමයා ශිෂ්‍යයන්ට දිරිගැන්නුවා.

අද්දැකීම්. වැඩසටහනේ ඊළඟ කොටස කෙරුවේ ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මයිකල් බර්නෙට්. ඒ අවස්ථාවේ ශිෂ්‍යයන් පැටර්සන්වලදී කරපු දේවසේවයෙන් ලබපු අද්දැකීම් ඒ විදිහටම නිරූපණය කරලා පෙන්නුවා.

ලැබෙන හැම අවස්ථාවකදීම සාක්ෂි දරන්න අවධානයෙන් හිටිය එකෙනුත් “අනිත් අයගේ භාෂාවෙන්ම” සත්‍යය කියන්න වෑයම් කරපු එකෙනුත් ශිෂ්‍යයන්ට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. උදාහරණෙකට එක ශිෂ්‍යයෙක්ට ඔහු දේශනා කරන්න හිතාගෙන හිටපු ප්‍රදේශයේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය හුඟදෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා සේවේ යන්න කලින් ‘JW භාෂා’ ඇප් එක මාර්ගයෙන් ඔහු ස්පාඤ්ඤ භාෂාවේ වචන කීපයක් ඉගෙනගත්තා. ඒ දවසෙම ඔහුට ස්පාඤ්ඤ භාෂාව කතා කරන කෙනෙක්ව පාරෙදී මුණගැහුණා. දන්න වචන ටික පාවිච්චි කරලා සාකච්ඡාවක් පටන්ගත්තා. අන්තිමේදී ඔහු විතරක්නෙමෙයි ඔහුගේ පවුලේ සාමාජිකයන් හතරදෙනෙකුත් බයිබල් පාඩමට සහභාගි වුණා.

සම්මුඛ සාකච්ඡා. ඊළඟට, පාලක මණ්ඩලයේ සේවා කමිටුවට උපකාර කරන විලියම් ටර්නර් (ජූනියර්) ගිලියද් පාසැලට එන්න කලින් ලැබුව අද්දැකීම් වගේම පාසැලෙන් ලැබුව පුහුණුව ගැන කියන්න ශිෂ්‍යයන් 4දෙනෙක්ව කැඳෙව්වා.

පාසැලෙන් දිරිගැන්වීමක් ලැබුව කරුණු ගැන ශිෂ්‍යයන් එක් එක් කෙනා කිව්වා. එක් කෙනෙක් විස්තර කෙරුවේ ලූක් 10වෙනි පරිච්ඡේදයෙන් තමන් ඉගෙනගත්ත දේ ගැනයි. දේවසේවයට යැව්ව ගෝලයන් 70දෙනා ලැබුව ප්‍රතිඵල ගැන යේසුස් සතුටු වුණා. හැබැයි යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්නුවේ ලැබෙන ප්‍රතිඵලවලින් විතරක් ප්‍රීති නොවී තමන් දරන වෑයම දැකලා යෙහෝවා දෙවියන් කොච්චර සතුටු වෙනවාද කියන එක ගැන හිතලා ප්‍රීති වෙන්න කියලයි. අපේ ප්‍රීතිය රඳා පවතින්නේ ප්‍රතිඵල මත නෙමෙයි යෙහෝවා දෙවියන්ගේ ප්‍රසාදය ලැබෙන එක මත කියලා ඒකෙන් අපිට මතක් කරලා දෙනවා.

සහෝදර ටර්නර් ෆිලිප්පි 1:6 තියෙන වචන ශිෂ්‍යයන්ට අදාළ කෙරුවා. යෙහෝවා දෙවියන් ඔවුන්ට “යහපත් කාර්යයක් ආරම්භ” කරලා දුන්නා කියලත් දිගටම ඔවුන් එක්ක ඉන්නවා කියලත් ඔහු සහතික කෙරුවා.

“යෙහෝවා දෙවියන් වෙතම ඇස් යොමු කරන්න.” වැඩසටහනේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සැමුවෙල් හර්ඩ්. අපේ පියවි ඇස්වලින් යෙහෝවා දෙවියන්ව දකින්න බැහැ කියන එක ඔහු පිළිගත්තා. එහෙමනම් දෙවියන් වෙතම අපේ ඇස් යොමු කරගෙන ඉන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ව අපිට දකින්න පුළුවන් ක්‍රමයක් තමයි ඔහු නිර්මාණය කරපු දේවල් හොඳින් පරීක්ෂා කරලා බලන එක. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන් අපේ සිත්වලට කාරණා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කම ලබා දීලා අපේ ඇස් පහදලා තියෙනවා. (එෆීස 1:18) බයිබලය වැඩි වැඩියෙන් කියවද්දී යෙහෝවා දෙවියන් ගැන වැඩියෙන් දැනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී ඔහුට වඩාත් කිට්ටු වෙන්න පුළුවන්.

අපි විශේෂයෙන්ම බයිබලයේ ශුභාරංචි පොත්වලට අවධානය දෙන්න ඕනේ. මොකද ඒවාවල යේසුස් කරපු කියපු දේවල් ඇති සැටියෙන්ම සඳහන් කරලා තියෙන හින්දා ඒ මගින් යෙහෝවා දෙවියන් ගැන පැහැදිලි පින්තූරයක් ලැබෙනවා. යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වය යේසුස් හොඳින් විදහාපෑව නිසා මෙහෙම කියන්න ඔහුට පුළුවන් වුණා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.”—යොහන් 14:9.

යේසුස්ගේ ආදර්ශයෙන් යෙහෝවා දෙවියන්ව දකින්න විතරක් නෙමෙයි දකින දේ ආදර්ශයට ගන්න කියලත් සහෝදර හර්ඩ් සබයේ ඉන්න අයව දිරිගැන්නුවා. උදාහරණෙකට අනිත් අයව පෝෂණය කරන්න යේසුස් මහන්සි වුණා වගේ අපිට ලැබෙන මඟපෙන්වීම් අනිත් අයට දෙන්නත් අපි මහන්සි වෙන්න ඕනේ.

යෙහෝවා දෙවියන් වෙතම ඇස් යොමු කරන එකෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? ගීතිකාකරුට තිබුණ විශ්වාසයම තියාගන්න අපිටත් පුළුවන්. “යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.”—ගීතාවලිය 16:8.

අවසානය. ගිලියද් පාසැලට සහභාගි වුණ ශිෂ්‍යයන් තම අගය ප්‍රකාශ කරමින් ලියපු ලිපියක් එක ශිෂ්‍යයෙක් සියලුදෙනාටම ඇහෙන්න කියෙව්වා. ඊටපස්සේ සහෝදර ජැක්සන් වැඩසටහන අවසන් කෙරුවේ ඔවුන් උගන්වන හැම දේම අලුත් නැත්නම් ගැඹුරු දේවල් වෙන්න ඕන කියලා හිතන්න එපා කියලයි. ඒකට හේතුව ඔවුන්ට වැඩිහරියක් කරන්න වෙන්නේ සහෝදර සහෝදරියන් දැනටමත් දන්න දේවල් ඒ අයට සිහිගන්වන්න වෙන එකයි. නිහතමානී වෙන්න ඕන කියලත් සහෝදර ජැක්සන් ශිෂ්‍යයන්ට කාවැද්දුවා. තමන්ටත් තමන් ලබපු ගිලියද් පුහුණුවටත් අවධානය ඇදගන්නවා වෙනුවට බයිබලයටත් බයිබලය මත පදනම් පොත් පත්වලටත් අවධානය යොමු කරවන්න ශිෂ්‍යයන්ට ඔහු උනන්දු කළා. ඒ නිසා කවදාවත් ගිලියද් පාසැලට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති සහෝදර සහෝදරියන්ව අධෛර්යය නොකර දැනටමත් ඔවුන්ට ලැබිලා තියෙන පොත් පත් හා මඟ පෙන්වීම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න උදව් කරන්න ශිෂ්‍යයන්ට පුළුවන්. ඊටපස්සේ වැඩසටහනින් ශක්තිමත් වුණ හැමෝම විසිර ගියේ සහෝදර සහෝදරියන්ට සේවය කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්.

^ 2 ඡේ. වැඩසටහනට එන අයට ඒ සතියේ මුලදිම අලුත් ගීතිකා ලැබෙන්න සැලැස්සුවා.

^ 32 ඡේ. සිතියමේ හැම රටක්ම සඳහන් කරලා නැහැ.

^ 34 ඡේ. පැවරුම් ලැබූ හැමෝගෙම නම් නැහැ.