Skip to content

නාට්සි සමූල ඝාතනයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සිද්ධ වුණේ මොකක්ද?

නාට්සි සමූල ඝාතනයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සිද්ධ වුණේ මොකක්ද?

 නාට්සි සමූල ඝාතනය සිද්ධ වුණ කාලයේදී ජර්මනියේ සහ නාට්සි පාලනය යටතේ තිබුණ අනෙකුත් රටවල හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 35,000ක් පමණ ප්‍රමාණයකින් 1,500දෙනෙක් විතර මිය ගියා. ඒ හැම මරණයකටම හේතුව හරියටම මේකයි කියලා කියන්න බැහැ. ඒත් තාමත් ඒ ගැන පර්යේෂණ පවත්වන නිසා කාලයත් එක්ක මිය ගිය අයගේ නියම සංඛ්‍යාව සහ වෙනත් තොරතුරු එළියට එයි.

 එයාලා මිය ගියේ කොහොමද?

  • නාට්සි පාලන කාලයේ හිස ගසා දාන්න පාවිච්චි කරපු උපකරණය

      මරණ දඬුවම දුන්නා. ජර්මනියේ සහ නාට්සි පාලනය යටතේ තිබුණ අනිත් රටවල හිටිය සාක්ෂිකරුවන් 400ක් විතර මරලා දැම්මා. හුඟදෙනෙක්ට විරුද්ධව නඩු දාලා මරණ දඬුවම නියම කළා. එයාලගේ හිස ගසා දැම්මා. තවත් අයව විධිමත් නඩු විභාගයක්වත් පවත්වන්නේ නැතුව වෙඩි තියලා හරි එල්ලලා හරි මරලා දැම්මා.

  •   හිර කඳවුරුවලදී අමානුෂික විදිහට වධ දුන්නා. නාට්සි ගාල් කඳවුරුවල සහ හිරගෙවල්වල හිටිය සාක්ෂිකරුවන් 1,000කට වඩා වැඩිදෙනෙක් මිය ගියා. එයාලගෙන් සමහර අය මැරුණේ සාමාන්‍යයෙන් මිනිසෙක්ට කරන්න බැරි තරම් බරපතළ වැඩ එයාලට කරන්න දීපු නිසා. දරුණු විදිහට වධ දීපු නිසා. ගල් ගැහෙන තරම් සීතලේ ඉන්න වුණ නිසා සහ අසනීප වෙද්දී හරියට ප්‍රතිකාර ලැබුණේ නැති නිසා. දිවි රැකගත්ත ඉතිරි අය දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුණාම හිරෙන් නිදහස් වුණත් එයාලා මුහුණ දීපු වධ හිංසා නිසා වැඩි කාලයක් යන්න කලින් මිය ගියා.

  •   තවත් හේතු. සමහරුන්ව ගෑස් කාමරවල හිර කරලා මැරුවා. වෛද්‍යවරුන් එයාලගේ ප්‍රතිකාර ක්‍රම පර්යේෂණය කරන්න සමහර අයව පාවිච්චි කළා. ඒ පර්යේෂණ හුඟක් භයානක ඒවා නිසා එයාලා මිය ගියා. තවත් අයට මිය යන්න බෙහෙත් විද්දා.

 එයාලට වධ දුන්නේ ඇයි?

 එයාලා කවදාවත් බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට පිටින් ගියේ නැහැ. බයිබලයේ තියෙන දේවලට පටහැනි දෙයක් කරන්න කියලා නාට්සි පාලකයන් බල කරද්දී සාක්ෂිකරුවන් ඒවා ප්‍රතික්ෂේප කළා. එයාලා කීකරු වුණේ “මිනිසුන්ට නොව දෙවිටයි.” (ක්‍රියා 5:29) එයාලා කාරණා දෙකකදී ඒ දේ කරපු විදිහ ගැන බලමු.

  1.   දේශපාලනික වශයෙන් පැති ගත්තේ නැහැ. අද ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් වගේ එදා නාට්සි පාලනය යටතේ හිටපු සාක්ෂිකරුවනුත් දේශපාලනික වශයෙන් පැති ගත්තේ නැහැ. (යොහන් 18:36) ඒ නිසා එයාලා මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කළා.

    •   හමුදාවට බැඳුණේවත් පුංචි විදිහකින් හරි යුද්ධයට සහයෝගය දුන්නේවත් නැහැ.—යෙසායා 2:4; මතෙව් 26:52.

    •   ඡන්දේ දැම්මේ නැහැ. නාට්සි පාලනයට සම්බන්ධ සංවිධානවලට බැඳුණේ නැහැ.—යොහන් 17:16.

    •   ස්වස්තිකයට ආචාර කළේවත් හිට්ලර්ට ජය ප්‍රාර්ථනා කරන වැකිය කිව්වේවත් නැහැ.—මතෙව් 23:10; 1 කොරින්ති 10:14.

  2.   ආගමික කටයුතුවල දිගටම හවුල් වුණා. ආගම අදහන එක තහනම් කරලා තිබුණත් සාක්ෂිකරුවන් . . .

    •   නමස්කාර කරන්න සහ යාච්ඤා කරන්න එකට රැස් වුණා.—හෙබ්‍රෙව් 10:24, 25.

    •   බයිබලයේ සඳහන් පණිවිඩය අනිත් අයට දේශනා කළා. බයිබලය මත පදනම් පොත් පත් බෙදා දුන්නා.—මතෙව් 28:19, 20.

    •   ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියන ආඥාව හිතට අරන් හිටිය නිසා එයාලා යුදෙව්වන්ට වෛර කළේ නැහැ.—මාක් 12:31.

    •   දිගටම දෙවියන්ට ළැදිව හිටියා. තමන් තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි කියලා ලියවිල්ලක් අත්සන් කරන එක එයාලා ප්‍රතික්ෂේප කළා.—මාක් 12:30.

 මහාචාර්යවරයෙක් වන රොබට් ගාවාට් කියපු අදහසක් එක පොතක පළ වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි තමන්ගේ ආගමික විශ්වාසයන් නිසා නාට්සි පාලකයන් අතින් වධ වේදනා වින්ද එකම කණ්ඩායම.” a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොසැලී තමන් ගත්ත තීරණයට ඇලිලා හිටපු එක හිරගෙවල්වල හිටපු අනිත් අය හුඟක් අගය කළා. ඔස්ට්‍රියානු ජාතික හිරකරුවෙක් මෙහෙම කිව්වා. “එයාලා යුද්දෙට යන්නේ නැහැ. එයාලව මැරුවත් එයාලා අනිත් අයව නම් මරන්නේ නැහැ.”

 එයාලා මිය ගියේ කොහේදීද?

  •   ගාල් කඳවුරුවලදී. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩි පිරිසක් මිය ගියේ ගාල් කඳවුරුවලදීයි. ඖෂ්විට්ස්, බුකන්වෝල්ඩ්, ඩාකව්, ෆ්ලෝසන්බර්ග්, මවුට්හව්සන්, නොයියන්ගාම, නීඩහාගන්, රාවන්ස්බෲක් සහ සාක්සන්හවුසන් කියන කඳවුරුවල ඒ අයව හිරගත කරලා තිබ්බා. සාක්සන්හවුසන් කඳවුරේ විතරක් සාක්ෂිකරුවන් 200ක් විතර මිය ගියා කියලා වාර්තාවල සඳහන් වෙනවා.

  •   හිරගෙවල්වලදී. සමහර සාක්ෂිකරුවන්ට වධ දීලාම මැරුවා. තවත් අය මිය ගියේ ප්‍රශ්න කිරීම්වලදි දරුණු විදිහට පහර කෑම් සහ වධ හිංසාවලට ලක් වුණ නිසයි.

  •   වධකාගාරවලදී. බර්ලින් ප්ලෝට්සන්සි, බ්‍රැන්ඩන්බර්ග් සහ හාලේ කියන හිරගෙවල්වලදී සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව මැරුවා. ඒ විතරක් නෙමෙයි තවත් ස්ථාන 70ක විතර සාක්ෂිකරුවන්ව මරණයට පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

 මිය ගිය අය අතරින් කීපදෙනෙක්

  •  නම: හෙලේන් ගොට්හොල්ඩ්

     වධකාගාරය: ප්ලෝට්සන්සි (බර්ලින්)

     හෙලේන් දරුවෝ දෙන්නෙක් හිටිය අම්මා කෙනෙක්. එයාව කීප වතාවක්ම අත්අඩංගුවට අරන් තිබුණා. 1937දී ප්‍රශ්න කිරීමකදී එයාට කොච්චර දරුණු විදිහට වධ දුන්නාද කියනවා නම් එයාගේ කුසේ හිටිය දරුවා මිය ගියා. 1944 දෙසැම්බර් 8වෙනිදා, ප්ලෝට්සන්සි වධකාගාරයේදී එයාගේ හිස ගසා දැම්මා.

  •  නම: ගර්හාට් ලීබෝල්ඩ්

     වධකාගාරය: බ්‍රැන්ඩන්බර්ග්

     1943 මැයි 6වෙනිදා ගර්හාට්ගේ හිස ගසා දැම්මා. එතකොට එයාට අවුරුදු 20යි. ඊට අවුරුදු 2කට පස්සේ ඒ ස්ථානයේදීම එයාගේ තාත්තාගෙත් හිස ගසා දැම්මා. ගර්හාට් එයාගේ පවුලේ අයටයි, එයාත් එක්ක විවාහ ගිවිසගෙන හිටපු කෙනාටයි මෙහෙම ලියලා තිබුණා. “යෙහෝවා දෙවිගේ උදව් ලැබුණේ නැත්නම් මට කවදාවත් මගේ තනි උත්සාහයෙන් සත්‍යය මාර්ගයේ යන්න බැහැ.”

  •  නම: රුඩොල්ෆ් අවුෂ්නර්

     වධකාගාරය: හාලේ

     1944 සැප්තැම්බර් 22වෙනිදා රුඩොල්ෆ්ගේ හිස ගසා දාලා එයාව ඝාතනය කරද්දී එයා අවුරුදු 17ක තරුණයෙක්. එයා මැරෙන්න කලින් එයාගේ ආදරණීය අම්මාට මෙහෙම ලියලා තිබුණා. “හුඟක් සහෝදරයෝ මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව ඉඳලා තියෙනවා. මමත් ඒ දේම කරනවා.”

a Hitler’s Hangman: The Life of Heydrich, page 105.