Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එන්නත් විදින එකට විරුද්ධද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එන්නත් විදින එකට විරුද්ධද?

 නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒකට විරුද්ධ නැහැ. එන්නතක් විදගන්නවාද, නැද්ද කියන එක එක් එක් කෙනා ගන්න ඕන තීරණයක් විදිහටයි අපි සලකන්නේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් එන්නත් විදගන්න කැමැත්තෙන්ම තීරණය කරලා තියෙනවා.

 අපිට ඕනෙ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. බරපතළ අසනීප හැදෙන එක වළක්වගන්න වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙන අලුත් දේවල් අපි හුඟක් අගය කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය වෙන මහන්සිය ගැන, එයාලා කරන කැප කිරීම් ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. විශේෂයෙන්ම ලොකු අවදානමක් තියෙන කාලවල්වල එයාලගේ ජීවිත දෙවෙනි තැනට දාලා අනිත් අයගේ ජීවිත ගලවගන්න එයාලා ලොකු සටනක් කරනවා කියලා අපි දන්නවා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෞඛ්‍ය නිලධාරීන් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන විදිහ ගැන මේ වෙබ් අඩවියේ භාෂා 100ගාණකින් පළ වෙලා තියෙන ලිපි ඒකට හොඳ උදාහරණයක්. ඒ ලිපිවල වසංගතයෙන් ආරක්ෂා වෙන්න බලධාරීන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කියලා හැම කෙනෙක්ටම උනන්දු කරලා තියෙනවා. පුද්ගල දුරස්ථභාවය පවත්වගන්න එක, එකට රැස් වෙන එක, නිරෝධායනය වෙන එක, අත් සෝදන එක, මාස්ක් එකක් පළඳින එක වගේ බලධාරීන් පනවලා තියෙන නීති සහ දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකේ වැදගත්කම ගැන ඒ ලිපිවල කතා කරනවා.—රෝම 13:1, 2.

 අවුරුදු ගාණක් පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරලා තියෙන ප්‍රකාශනවල බයිබලේ තියෙන මේ මඟ පෙන්වීම් පිළිපදින්න කියලා දිරිගන්වලා තියෙනවා.

  •   කෙනෙක් ගන්නේ මොන වෛද්‍ය ප්‍රතිකාරද කියන එක තීරණය කරන්න ඕනෙ එයාමයි.—ගලාති 6:5.

     ‘මේ සඟරාව වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ඖෂධ වර්ගයක්වත් ප්‍රතිකාර ක්‍රමයක්වත් නිර්දේශ කරන්නේ නැහැ. මේ සඟරාවේ අරමුණ වෙන්නේ තොරතුරු ලබා දෙන එක විතරයි. තීරණයක් ගන්න එක කියවන කෙනාගේ වගකීමක්.’—1988 මැයි 8 ‘පිබිදෙව්!’

     “ඔයායි, ඔයාගේ දරුවනුයි එන්නතක් විදගන්නවාද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක්.”—1965 අගෝස්තු 22 ‘පිබිදෙව්!’ (සිංහලෙන් නැහැ.)

  •   “අපි ජීවිතය හුඟක් වටින දෙයක් විදිහට සලකන නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා.”—ක්‍රියා 17:28.

     “සාක්ෂිකරුවන් සෞඛ්‍ය ගැටලුවලදී වෛද්‍ය ක්ෂේත්‍රයේ අයගෙන් උපකාර පතනවා. අපි ජීවිතේට හුඟක් ආදරෙයි. ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති කැඩෙන්නේ නැති තාක් කල් ජීවිතය රැකගන්න අපිට ගන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම අපි ගන්නවා.”—1975 ජූලි 1 ‘මුරටැඹ.’ (සිංහලෙන් නැහැ.)

     ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පසුබට වන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරමින් වැඩි කාලයක් ජීවත් වෙන්න සාක්ෂිකරුවන් කැමතියි. ඇත්තෙන්ම පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ ගෝලයෙක් වූ ලූක් මෙන් සාක්ෂිකරුවන් අතරත් වෛද්‍යවරුන් ලෙස සේවය කරන අය සිටිනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන නොමද සහයෝගය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝ සෙයින් අගය කරනවා. එවැනි අයගේ සහයෝගය නිසා රෝගී තත්වයන්ගෙන් යම් සහනයක් ලබාගැනීමට සාක්ෂිකරුවන්ට හැකි වී තිබෙනවා.’—2011 පෙබරවාරි 1 ‘මුරටැඹ.’