Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියෝනිවාදයට එකඟ වෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියෝනිවාදයට එකඟ වෙනවාද?

 නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි. සමහර ආගම්, පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම බයිබලයේ සඳහන් අනාවැකිවල ඉටු වීමක් කියා උගන්වා තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ඉගැන්වීමට එකඟ වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් සමහර අනාවැකි නිශ්චිතවම යොමු දක්වා තිබෙන්නේ පලස්තීනයේ පිහිටුවන යුදෙව් රාජ්‍යයකට කියා පැවසිය නොහැකියි. ඒ වගේම එක රටක් හෝ ජාතියක් තවත් රටකට හෝ ජාතියකට වඩා උසස් කියා බයිබලයේ කොහේවත් සඳහන් වී නැහැ. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ නිල සඟරාව වන මුරටැඹ සඟරාවේ පළවූ ලිපියක, ‘සියෝනිවාදයට කිසිම බයිබල් පදනමක් නැහැ’ කියා සඳහන් වී තිබුණේ හොඳ හේතු ඇතුවයි.

 එක් විශ්වකෝෂයක සියෝනිවාදීන්ව විස්තර කරන්නේ “පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණ ඇතුව බිහි වූ යුදෙව් ජාතිවාදී කණ්ඩායමක්” ලෙසයි. (Encyclopædia Britannica) එයට ආගමික හා දේශපාලනික පසුබිමක් තිබෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියෝනිවාදය ආගමික ඉගැන්වීමක් ලෙස පිළිගන්නෙවත් සියෝනිවාදය හා බැඳුණු දේශපාලනයට සම්බන්ධ වෙන්නෙවත් නැහැ.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ආගමික සංවිධානයක්. ඒ නිසා අපි, සියෝනිවාදය වැනි දේශපාලනික අරමුණු ඇති සැලසුම්වලට අපේ සහය ලබා දෙන්නේ නැහැ. දේශපාලනයට හවුල් නොවී සිටීමට ගෙන ඇති තීරණය වෙනස් නොකරන නිසා සමහර රටවල්වල සාක්ෂිකරුවන්, දරුණු පීඩා හා දුෂ්කරතාවලට පවා මුහුණ දී තිබෙනවා. මේ පොළොවට සදාකාල සාමය ලබා දීමට කිසිම මිනිස් ආණ්ඩුවකට හෝ සංවිධානයකට හැකියාවක් නැහැ. එවැනි දෙයක් කිරීමට හැකියාව තිබෙන්නේ දෙවිගේ රාජ්‍යයට පමණක් බව අපිට නිසැකයි.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොහේ හිටියත් ඔවුන් ජීවත් වන රටේ නීතිවලට කීකරු වෙනවා. ඒ නිසා ඔවුන් ආණ්ඩු බලධාරීන්ට විරුද්ධව කැරලිගසන්නෙවත් යුද්ධවලට හවුල් වන්නෙවත් නැහැ.