Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?

 අපේ විශ්වාසයන් හැම එකක්ම පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි. ඒ නිසා බයිබලයේ ඉගැන්වීම් ගැන අපේ අවබෝධය වැඩි වෙනවාත් එක්කම ඒවා පැහැදිලි කරන විදිහෙත් යම් වෙනස්කම් කරලා තියෙනවා. a

 මේ වගේ වෙනස්කම් කරන්නේ හිතෝපදේශ 4:18 සඳහන් ප්‍රතිපත්තියට එකඟවයි. “ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි.” අලුයම් උදයේ පතිත වන හිරු එළිය ටිකෙන් ටික වැඩි වෙද්දී වටපිටාවේ හැම දෙයක්ම පැහැදිලිව දකින්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේ යෙහෝවා දෙවි නියමිත කාලයේදී බයිබලයේ තියෙන ඉගැන්වීම් අපිට පැහැදිලිව එළිදරව් කරනවාත් එක්කම අපේ අවබෝධය වැඩි වෙනවා. (1 පේතෘස් 1:10-12) මේ ‘අවසාන කාලයේ’ බයිබලයේ ඉගැන්වීම් ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙනවා කියලා බයිබලයේ කලින්ම සඳහන් කරලා තිබුණා.—දානියෙල් 12:4.

 මේ විදිහට වෙනස්කම් කරන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. අතීතයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරපු අයත් යම් දේවල් වැරදියට තේරුම් අරන් හිටියා. ඒවා ඔවුන්ට වෙනස් කරගන්න වුණා.

  •   මෝසෙස් තමන් ඊශ්‍රායෙල් ජාතියේ ගැළවුම්කරු කියලා හිතලා වැඩ කරන්න පටන්ගත්තේ දෙවි නියම කරපු කාලයට වඩා අවුරුදු 40කට කලින්.—ක්‍රියා 7:23-25, 30, 35.

  •   පොරොන්දු වූ ගැළවුම්කරුගේ මරණය සහ නැවත නැගිටීම ගැන දීලා තිබුණ අනාවැකිය මුලදී ගෝලයන්ට තේරුම්ගන්න බැරි වුණා.—යෙසායා 53:8-12; මතෙව් 16:21-23.

  •   සමහර මුල් ක්‍රිස්තියානීන් “යෙහෝවා දෙවිගේ විනිශ්චය ඉටු වන දවස” ගැන වැරදියට තේරුම් අරන් හිටියා.—2 තෙසලෝනික 2:1, 2.

 ඒ හැම අවස්ථාවකදීම හරි අවබෝධය ලබාගෙන එයාලාගේ අදහස් වෙනස් කරගන්න යෙහෝවා දෙවි උදව් කෙරුවා. එදා වගේ අදත් බයිබලයේ ගැඹුරු කාරණා තවත් හොඳින් තේරුම්ගන්න දෙවි අපිටත් උදව් කරයි කියලා අපිට විශ්වාසයි.

a යම් වෙනස්කම් කරද්දී අපි ඒවා හංගන්නේ නැහැ. ඒවා ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. උදාහරණයකට ඔන්ලයින් ලයිබ්‍රරි එකේ “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරු බලන්න.