Skip to content

හීනෙකින්වත් හිතුවේ නැති ප්‍රතිඵල එයාට ලැබුණා

හීනෙකින්වත් හිතුවේ නැති ප්‍රතිඵල එයාට ලැබුණා

 ඩෙසිකා කියන්නේ මහත්තයා නැතුව තනියම දුවව හදා වඩා ගන්න අම්මා කෙනෙක්. එයාට ඕන වුණා යෙහෝවා දෙවියන්ට කරන සේවය තව වැඩි කරන්න. එයා ජීවත් වුණේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ වෙනිසියුලාවේ. මොන ප්‍රශ්න තිබුණත් ඩෙසිකා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ ගැන එයාට දැනුණේ ලොකු සතුටක්. හැබැයි හිතපු නැති විදිහට කොරෝනා වසංගතය ආවා.

 කොරෝනා වසංගතය පටන්ගත්ත මුල් කාලේ සේවය කරන්න තිබුණ අලුත් ක්‍රමවලට හැඩගැහෙන්න ඩෙසිකාට ගොඩක් අමාරු වුණා. ලියුම් ලියන එක එයාට අභියෝගයක් වුණා. එයා හිටපු පැත්තේ ඉන්ටර්නෙට් පහසුකම් ගොඩක් ගණන් නිසා වීඩියෝ කෝල්ස් අරන් සේවය කරන්නත් එයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඩෙසිකා මෙහෙම කියනවා. “මට සේවය කරන්න තිබුණ හැම දොරක්ම එක රැයකින් වැහිලා ගියා. මං හොඳ පුරෝගාමියෙක් නෙමෙයි කියලා මට හිතුණා. ඉතිං මං මානසිකව වැටුණා.”

 වෙනිසියුලාවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් 2021 ජනවාරි මාසේදී දේශනා කරන්න විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. ඒ මාසේ තිබුණ සති අන්ත පහේදී තෝරගත්ත බයිබල් දේශන රේඩියෝ චැනල් 60කින් සහ TV චැනල් 7කින් විකාශනය කරන්න සැලසුම් කළා. බයිබලේ තියෙන දේවල් දැනගන්න කැමති අයට ඒ චැනල් බලන්න නැත්නම් අහන්න ආරාධනා කරන්න කියලා සාක්ෂිකරුවන්ට උනන්දු කළා. සහෝදර සහෝදරියන් ෆෝන් එකෙන්, ලියුම්වලින් සාක්ෂි දරද්දී පාවිච්චි කරන්න ඒ හැම දේශනයකටම සම්බන්ධ ප්‍රශ්න සහ බයිබල් පදත් ශාඛා කාර්යාලයෙන් ලබා දුන්නා. මෙසේජ්වලිනුත් සාක්ෂි දරන්න කියලා ශාඛා කාර්යාලය සහෝදර සහෝදරියන්ව උනන්දු කළා. ඇත්තටම ඒ විදියට සාක්ෂි දරන එක වෙනිසියුලාවේ හිටපු සාක්ෂිකරුවන්ට අලුත්ම දෙයක්.

 ඒ වැඩසටහනට හවුල් වෙන්න ඩෙසිකාටත් ආස හිතුණා. එයා කවදාවත් මෙසේජ්වලින් සාක්ෂි දරලා තිබුණේ නැති වුණත් ඒක කරලා බලන්න ඕනෙ කියලා එයා හිතුවා. ෆෝන් ගැන එයා එච්චර දන්නේ නැති නිසා එයාට කාගේ හරි උදව්වක් ඕන වුණා. ඉතිං එයා මෙසේජ් යවන විදිහ එයාට කියලා දෙන්න කියලා දුවට කිව්වා. ඒක අල්ලගන්න එයාට වැඩි දවසක් නම් ගියේ නැහැ.

ඩෙසිකා

 ඩෙසිකා එයා දන්න අඳුරන හුඟදෙනෙක්ට ෆෝන් එකෙන් මෙසේජ් යවලා බයිබල් දේශනවලට ඇහුම්කන් දෙන්න ආරාධනා කළා. එයා හීනෙකින්වත් හිතුවේ නැති ප්‍රතිඵල එයාට ලැබුණා. එයා ආරාධනා කරපු හුඟදෙනෙක් ඒ දේශන අහලා එයාගෙන් ගොඩක් ප්‍රශ්නත් ඇහුවා. තවත් අයට ඒ චැනල් ටියුන් කරගන්න බැරි වුණා. ඉතින් එයාලා ඩෙසිකාගෙන් ඇහුවා ඒ දේශනවල තිබුණේ මොන වගේ දේවල්ද කියලා. “මං මගේ නෝට්ස් පාවිච්චි කරලා දේශනවල තිබුණ තොරතුරු එයාලත් එක්ක බෙදාගත්තා. සාමාන්‍යයෙන් මාසෙට මං නැවත බැලීම් 5කට වඩා කරලා නෑ. හැබැයි මේ වැඩසටහන ඉවර වෙද්දී මං නැවත බැලීම් 112ක් කරලා තිබුණා” කියලා ඩෙසිකා කියනවා. a

 ඩෙසිකා සත්‍යයේ නැති එයාගේ අක්කාටත් රේඩියෝ එකෙන් දේශන අහන්න ආරාධනා කළා. අක්කා හිටියේ ඩෙසිකාගේ ගෙදරට අල්ලපු ගෙදර. “මගේ ආරාධනේ අක්කා පිළිගත්තාම මට පුදුම හිතුණා. හැම ඉරිදාම උදේ 8ට මං එයාගේ ගෙදර ගියා. ඊටපස්සේ අපි දෙන්නා එකතු වෙලා දේශනයක් ඇහුවා. දේශනය යද්දියි, ඒක ඉවර වුණාට පස්සෙයි අක්කා ගොඩක් ප්‍රශ්න ඇහුවා” කියලා ඩෙසිකා කියනවා. ඩෙසිකාගේ අක්කා වීඩියෝ කොන්ෆරන්සිං හරහා පවත්වපු යේසුස්ගේ මරණය සිහි කිරීමටත් සහභාගි වුණා. ඒ විතරක් නෙමෙයි සේවය කරන්න එයාගේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න කියලත් එයා ඩෙසිකාට කිව්වා.

 ඩෙසිකා මෙහෙම කියනවා. “යෙහෝවාට කොච්චර තැන්කියු කිව්වත් මදි. කලින් වගේ ආයෙත් සතුටින් සේවය කරන්න මට උදව් කරපු මගේ සභාවේ වැඩිමහල්ලන්ව මං ගොඩක් අගය කරනවා.” (යෙරෙමියා 15:16) ඩෙසිකා අදටත් පුරෝගාමි සේවය කරනවා. මෙසේජ් යවලා හම්බ වුණ අය එක්ක එයා තාමත් බයිබලේ තියෙන දේවල් බෙදාගන්නවා.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ සේවය කරන්නේ අනිත් අයගේ තොරතුරුවල රහස්‍යභාවය සම්බන්ධයෙන් රටේ තියෙන නීති කඩ නොවන විදිහටයි.