Skip to content

ජෝසෆ්ට පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු සහාය

ජෝසෆ්ට පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු සහාය

 ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ගෙයින් ගෙට සේවේ යද්දී පොලිස් නිලධාරීන් ඔයාත් එක්ක ආවොත් ඒක මොන වගේ අද්දැකීමක් වෙයිද? මයික්‍රෝනීසියාවේ ජීවත් වෙන ජෝසෆ් 2017දී ඒ දේ අද්දැකලා තියෙනවා. ඒ දේ වෙලා තියෙන්නේ එයායි, තවත් සාක්ෂිකරුවන් තුන්දෙනෙකුයි දුර ඈත තිබුණු දූපත්වල සේවයේ යන්න සැලසුම් කරපු විශේෂ වැඩසටහනකට සහභාගි වෙමින් ඉද්දියි.

 දවල් 12 විතර වෙද්දී එයාලා මිනිසුන් 600ක් විතර හිටිය පුංචි දූපතකට ඇතුල් වුණා. ඒ දූපතේ නගරාධිපති මුහුදු වෙරළට ඇවිත් එයාලව හරිම ආදරෙන් පිළිගත්තා. ඊළඟට වුණු දේ ගැන ජෝසෆ් මෙහෙම කිව්වා. “නගරාධිපති අපිට කිව්වා පොලිස් රථයකින් දූපතේ හැම ගෙදරකටම අපිව එක්කන් යන්නම් කියලා. අපිට ඒක අදහාගන්න බැරි වුණා. ඒත් අපි කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කළා. මොකද අපිට ඕන වුණේ අපි වෙනදා යන විදිහටම ගෙයින් ගෙට ගිහින් මිනිසුන්ව මුණගැහෙන්නයි.”

 ප්‍රචාරකයන් පයින්ම සේවේ යන්න පටන්ගත්තා. එයාලට ලොකු උවමනාවක් තිබුණා පුළුවන් තරම් දෙනෙක් එක්ක කතා කරන්න. ඒ දූපතේ මිනිසුන් ගැන එයාලා කිව්වේ මෙහෙමයි. “එයාලා ආගන්තුක සත්කාරයට හරිම ළැදියි. අපි කියපු පණිවිඩේටත් එයාලා හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නා. ඒ නිසා අපි හිතුවාටත් වඩා කාලයක් එයාලත් එක්ක හිටියා.”

 සේවේ කරන් යද්දී පොලිස් රථය දෙපාරක්ම ජෝසෆ්ව පහු කරගෙන එහාටයි මෙහාටයි ගියා. තුන්වෙනි වතාවේ නම් නිලධාරීන් වාහනේ නැවැත්තුවා. එයාලා ජෝසෆ්ගෙන් ඇහුවා වාහනෙන් ගෙවල්වලට එක්කන් යන්නද කියලා. ජෝසෆ් “එපා” කියලා කිව්වාම එයාලා මෙහෙම කියලා තියෙනවා. “ඔයාලට තියෙන්නේ තව ටික වෙලාවනේ, ඒ නිසා අපි ඔයාලව අනිත් ගෙවල්වලට එක්කන් යන්නම්.” ඊටපස්සේ වුණු දේ ගැන ජෝසෆ් මෙහෙම කිව්වා. “ඒ වෙද්දී තවත් ගෙවල් කීපයක්ම ඉතිරි වෙලා තිබුණු නිසා මං එයාලා කියපු දේට කැමති වුණා. හැම ගෙදරකටම යද්දී පොලීසියේ අය මට කිව්වා ඒ ගෙදර ඉන්නේ කවුද කියලා. ‘කවුරුත් එළියට ආවේ නැත්නම් අපි හෝන් එක ගහන්නම්. එතකොට එයාලා එළියට එයි’ කියලත් අපිට කිව්වා.

 “එයාලගේ උදව්වත් අපිට ලැබුණු නිසා හැම ගෙදරකටම යන්න අපිට පුළුවන් වුණා. අපේ ප්‍රකාශන සෑහෙන ප්‍රමාණයකුත් අපි බෙදුවා. අපේ පණිවිඩය ගැන තවත් දැනගන්න කැමති වුණු අයට අපි එයාලව බලන්න ආයෙත් එන්නම් කියලා පොරොන්දු වුණා.”

 පොලීසියේ අය ජෝසෆ්ට කිව්වා “මිනිසුන්ට හොඳ පණිවිඩයක් කියන්න ලැබුණු එක ගැන අපි හුඟක් සතුටු වෙනවා” කියලා. ඉර බැහැගෙන යද්දී සාක්ෂිකරුවන් ආපහු එන්න පිටත් වුණා. වෙරළේ හිටිය නිලධාරීන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන එහෙට මෙහෙට වනමින් සිනාමුසු මුහුණෙන් එයාලට සමු දුන්නා.