Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

“උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා”

“උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා”
  • ඉපදුණ අවුරුද්ද: 1976

  • රට: හොන්ඩ්‍යූරාස්

  • අතීතයේදී: පල්ලියක පාස්ටර් කෙනෙක්

මගේ අතීතය

 මං ඉපදුණේ හොන්ඩ්‍යූරාස්වල ලා සීබා කියන නගරේ. අපේ පවුලේ දරුවෝ පස්දෙනෙක් හිටියා. මං තමයි බාලයා. අනිත් හතරදෙනාම ගැහැනු ළමයි. මං උපතින්ම බිහිරියි. අපි ගොඩක් දුප්පත්. අපි ජීවත් වුණේ හරිම භයානක පැත්තක. මට අවුරුදු හතරක් විතර වෙනකොට මගේ තාත්තා එයාගේ වැඩපොළේ සිද්ධ වුණ අනතුරකින් මැරුණා. ඒකෙන් පස්සේ අපි තවත් අසරණ වුණා.

 මාවයි මගේ අක්කලාවයි හදා වඩා ගන්න අම්මා පුළුවන් හැම දේම කළා. හුඟක් වෙලාවට අපිට ඇඳුම් අරන් දෙන්න සල්ලි අම්මා ළඟ තිබුණේ නැහැ. අඩුම ගානේ වැස්ස කාලේට සීතලට අඳින ඇඳුම්වත් අපිට තිබුණේ නැහැ.

 වයසින් ටිකෙන් ටික වැඩි වෙද්දී මං හොන්ඩ්‍යූරාස් සංඥා භාෂාව ඉගෙනගත්තා. ඒ නිසා බිහිරි අයත් එක්ක අදහස් හුවමාරු කරගන්න මට පුළුවන් වුණා. ඒත් මගේ අම්මායි, අක්කලයි සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. එයාලා මාත් එක්ක කතා කළේ එයාලා හදාගත්ත සංඥා කීපයකින්. අම්මා මට ගොඩක් ආදරෙයි. ඒ නිසා අනතුරුවලින් මාව ආරක්ෂා කරගන්න පුළුවන් හැම දේම අම්මා කළා. එයා දැනගෙන හිටපු සංඥා ටික පාවිච්චි කරලා සිගරට් බොන එක, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක වගේ නරක පුරුදුවලින් වැළකිලා ඉන්න එයා මට කියලා දුන්නා. ඒ නිසා ඒ වගේ නරක පුරුදුවලට මං ඇබ්බැහි වුණේ නැහැ.

 පොඩි කාලේ අම්මා මාව කතෝලික පල්ලියට එක්කගෙන ගියා. ඒත් එතන කියන දේවල් කවුරුත් සංඥා භාෂාවට පරිවර්තනය කළේ නැති නිසා මට මොකුත් තේරුණේ නැහැ. ඒ නිසා පල්ලි යන එක මට හරිම කම්මැළි දෙයක් වුණා. මට අවුරුදු දහයක් වෙද්දී පල්ලි යන එක මං නැවැත්තුවා. ඒත් දෙවියන් ගැන දැනගන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.

 1999දී එවැන්ජලිස්ත පල්ලියකට අයිති එක්සත් ජනපදයෙන් ආපු කාන්තාවක්ව මට මුණගැහුණා. එතකොට මට වයස 23යි. එයා මට බයිබලේ තියෙන දේවල් කියලා දීලා ඇමරිකානු සංඥා භාෂාව ඉගැන්නුවා. බයිබලයෙන් දැනගත්ත දේවලට මං කොච්චර ආස වුණාද කියනවා නම් පාස්ටර් කෙනෙක් වෙන්න මං තීරණය කළා. ඊටපස්සේ පෝටෝ රිකෝවල බිහිරි අය වෙනුවෙන් තිබුණ ක්‍රිස්තියානි පුහුණු මධ්‍යස්ථානයකට මං ගියා. 2002දී මං ආපහු ලා සීබාවලට ඇවිල්ලා මගේ යාළුවන්ගේ උදව්ත් ඇතුව බිහිරි අයට පල්ලියක් පටන්ගත්තා. ඒ යාළුවන්ගෙන් එක් කෙනෙක් තමයි පැට්‍රීෂියා. පස්සේ එයා තමයි මගේ බිරිඳ වුණේ.

 මං පල්ලියේදී සංඥා භාෂාවෙන් දේශන දුන්නා. බිහිරි අයට දේවල් තේරුම් කරලා දෙන්න බයිබල් කතන්දරවල පින්තූර පෙන්නුවා. කතන්දර රඟ දක්වලත් පෙන්නුවා. ළඟපාත ගම්වල හිටපු බිහිරි අයව බලන්න ගිහින් මං එයාලව දිරිගැන්නුවා. එයාලට තිබුණ ප්‍රශ්න විසඳගන්න මං උදව් කළා. බිහිරි අයට දෙවියන් ගැන කියලා දෙන්න මං ඇමරිකාවටයි, සැම්බියාවටයි ගියා. ඒත් ඇත්තම කියනවා නම් බයිබලය ගැන මං එච්චර දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම ඉගැන්නුවේ අනිත් අය මට කියලා දීපු දේවල් සහ පින්තූරවලින් මං තේරුම්ගත්ත දේවල්. බයිබලය ගැන උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා.

 දවසක් මගේ පල්ලියේ සාමාජිකයන් තුන්දෙනෙක් මං ගැන බොරු දේවල් පතුරන්න පටන්ගත්තා. මං බේබද්දෙක් කියලත් මට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලත් එයාලා කිව්වා. ඒ ගැන දැනගත්තාම මට ගොඩක් දුක හිතුණා. කේන්තිත් ගියා. ටික කාලෙකට පස්සේ පැට්‍රීෂියායි, මායි පල්ලියෙන් අයින් වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විටින් විට අපේ ගෙදර ඇවිත් තියෙනවා. ඒත් අපි කවදාවත් එයාලට ඇහුම්කන් දීලා නැහැ. පල්ලියෙන් අයින් වුණාට පස්සේ පැට්‍රීෂියා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න කැමති වුණා. එයාත් එක්ක පාඩම කරන්න ආවේ තෝමස් සහ ලිසි කියන යුවළ. එයාලා බිහිරි අය නෙමෙයි. ඒත් සංඥා භාෂාව එයාලා දැනන් හිටියා. ඒ නිසා ටික දවසකට පස්සේ මාත් පාඩමට හවුල් වුණා.

 අපි මාස කීපයක් ඇමරිකානු සංඥා භාෂාවෙන් තියෙන වීඩියෝ පාවිච්චි කරලා බයිබල් පාඩම කළා. ඒත් සාක්ෂිකරුවන් අනුගමනය කරන්නේ මිනිසුන්ව කියලා අපේ සමහර යාළුවන් අපිට කිව්වා. ඒ නිසා අපි පාඩම නැවැත්තුවා. සාක්ෂිකරුවන් අනුගමනය කරන්නේ මිනිසුන්ව නෙමෙයි කියලා තෝමස් මට සාක්ෂි එක්ක පැහැදිලි කරලා දුන්නත් මං එයාව විශ්වාස කළේ නැහැ.

 මාස කීපයකට පස්සේ පැට්‍රීෂියා මානසික අවපීඩනයේ හුඟක් දුක් වින්දා. ඒ වෙලාවේ සාක්ෂිකරුවන්ව ආපහු ගෙදරට එවන්න කියලා එයා දෙවියන්ගෙන් ඉල්ලලා තියෙනවා. වැඩි දවසක් යන්න කලින් අපේ අසල්වැසියෙක් පැට්‍රීෂියාව බලන්න ආවා. එයා සාක්ෂිකරුවෙක්. පැට්‍රීෂියාව බලන්න ලිසිට එන්න කියන්නම් කියලා එයා කිව්වා. පොරොන්දු වුණ විදිහටම ලිසි පැට්‍රීෂියාව බලන්න ආවා. එයා හැම සතියේම පැට්‍රීෂියාව බලන්න ඇවිත් එයාත් එක්ක බයිබල් පාඩමක් කළා. ඒකෙන් පැට්‍රීෂියා ලැබුවේ ලොකු දිරිගැන්වීමක්. ඒ අමාරු කාලේ ලිසි පැට්‍රීෂියට හොඳ යාළුවෙක් වුණා. ඒත් සාක්ෂිකරුවන් ගැන මගේ හිතේ තවමත් සැකයන් තිබුණා.

 ‘ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?’ කියන හොන්ඩ්‍යූරාස් සංඥා භාෂාවෙන් තිබුණ වීඩියෝ එක බිහිරි හැමෝටම පෙන්නන්න 2012දී සාක්ෂිකරුවන් විශේෂ වෑයමක් දැරුවා. ලිසි ඒ වීඩියෝ එක අපිටත් දුන්නා. ඒක බැලුවාම තමයි මට තේරුණේ නිරාගන්න, අමරණීය ආත්මය වගේ මං පල්ලියේ උගන්වපු හුඟක් දේවල් බයිබලයේ සඳහන් වෙලා නැහැ කියලා.

 ඊළඟ සතියේම මං තෝමස්ව හම්බ වෙන්න සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයට ගියා. බිහිරි අයට බයිබලයේ තියෙන සත්‍ය තොරතුරු කියලා දෙන්න මට ඕනෙ කියලා මං එයාට කිව්වා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ඒක කරන්න මං කැමති නැහැ කියලා මං එයාට කිව්වා. මට ඕනෙ වුණේ බිහිරි අය වෙනුවෙන් වෙනම අලුත් පල්ලියක් පටන්ගන්නයි. මං තිබුණ උද්‍යෝගය ගැන තෝමස් මාව අගය කළා. ඒත් එයා එෆීස 4:5 තියෙන දේ මට පෙන්නලා කිව්වා සැබෑ ක්‍රිස්තියානීන් අතරේ එක්සත්කම තියෙන්න ඕනෙ කියලා.

 ඇමරිකානු සංඥා භාෂාවෙන් තිබුණ ‘යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට’ කියන වීඩියෝ එක තෝමස් මට දුන්නා. බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න පුරුෂයන් කීපදෙනෙක් එකතු වෙලා බයිබලය හොඳින් අධ්‍යයනය කරපු විදිහ ගැන ඒ වීඩියෝ එකේ තිබුණා. ඒ වීඩියෝ එක බලද්දී මට තේරුණා මමත් හරියට එයාලා වගේ කියලා. මොකද මටත් ඕනෙ සත්‍යය හොයාගන්න. ඒ වීඩියෝ එක බැලුවාට පස්සේ සාක්ෂිකරුවන් උගන්වන්නේ සත්‍ය ඉගැන්වීම් කියන දේ මට තහවුරු වුණා. මොකද එයාලගේ විශ්වාසයන්ට එකම පදනම බයිබලය. ඒ නිසා සාක්ෂිකරුවන් එක්ක මම ආපහු බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. 2014දී පැට්‍රීෂියයි, මමයි බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද

 යෙහෝවා දෙවියන් පවිත්‍ර දෙවි කෙනෙක්. සාක්ෂිකරුවනුත් එයාලගේ ජීවිතේ හැම කාරණයකදීම පවිත්‍රව ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයාලා කතාබහ කරද්දී එකිනෙකාව දිරිගන්වනවා. එයාලා හරිම සාමකාමියි. කොයි රටේ හිටියත් මොන භාෂාව කතා කළත් සාක්ෂිකරුවන් එකමුතුයි. එයාලා උගන්වන්නේ එකම දේ. ඒ නිසයි එයාලගේ සභාවේ සමාජිකයෙක් වෙන්න මං සතුටු වුණේ.

 බයිබලයේ තියෙන සත්‍යයන් දැනගන්න ලැබුණ එක මට ලොකු සතුටක්. උදාහරණයකට යෙහෝවා විශ්වයේ පාලකයාණන්, සියලු බලැති දෙවියන් කියලා මං දැනගත්තා. ඔහු බිහිරි අය ඇතුළුව හැමෝටම ගොඩක් ආදරෙයි. ඔහු මට පෙන්නපු ආදරේ මං ගොඩක් අගය කරනවා. ඉදිරියේදී මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලත් කිසිම ලෙඩක් දුකක් නැතුව අපිට සදාකාලෙටම ජීවත් වෙන්න පුළුවන් වෙනවා කියලත් මං ඉගෙනගත්තා. ඒ කාලය එන කල් මං බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන්.

 බිහිරි අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පැට්‍රීෂියායි, මායි ගොඩක් කැමතියි. අපි කලින් ගිය පල්ලියේ සාමාජිකයන් කීපදෙනෙක් එක්ක අපි දැන් බයිබලය පාඩම් කරනවා. පාස්ටර් කෙනෙක් වෙලා හිටපු කාලේ වගේ නෙමෙයි දැන් මං උගන්වන දේවල් ගැන මට ප්‍රශ්න නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරපු නිසා මට තිබුණ ප්‍රශ්නවලට මට උත්තර ලැබුණා.