Skip to content

වේදනාවෙන් හිටියත් අනිත් අයව සැනසුවා

වේදනාවෙන් හිටියත් අනිත් අයව සැනසුවා

 ක්ලෝඩීන් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයාට ගොඩක් අසනීප තිබුණා. සැරයක් එයාට ලොකු ඔපරේෂන් එකක් කරන්න වුණා. ඒ වෙලාවේ ගන්න ඕනෙ මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා තීරණය කරන්න එයාට ලේසි වුණේ නැහැ. ඒ ඔපරේෂන් එකට කලින් සහ ඔපරේෂන් එකෙන් පස්සේ එයා හිටියේ ලොකු වේදනාවකින්. ඒ වගේම එයාට ලොකු මහන්සියක්, පීඩනයක් දැනුණා. ඔපරේෂන් එක කරලා සති දහයකට පස්සෙත් එයාට ඇඳෙන් නැඟිටගන්න බැරි වුණා. කොරෝනා වසංගතේ නිසා එයාව දිරිගන්වන්න, එයාට උදව් කරන්න කාටවත් එන්න පුළුවන්කමක් තිබ්බෙත් නැහැ.

 ක්ලෝඩීන් හිතුවා එයාට දැනෙන වේදනාව ගැන හිතහිත ඉන්නවා වෙනුවට අනිත් අයව සනසන්න ඕනෙ කියලා. ඉතින් ඒක කරන්න එයා දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලුවා. කොහොමහරි යාන්තමින් නැඟිටගන්න පුළුවන් වුණ ගමන්ම එයාගේ ගෙවල් ගාව ඉන්න අඳුරන කෙනෙක්ගේ නංගි කෙනෙක්ට කෝල් එකක් දීලා බයිබලේ තියෙන පණිවිඩේ ගැන කිව්වා. ඒ කාන්තාව මීට කලින් සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරපු කෙනෙක්. ඉතින් ක්ලෝඩීන් බයිබලේ තියෙන පණිවිඩේ කිව්ව ගමන් එයාට ආස හිතුණා ආයෙත් පාඩමක් පටන්ගන්න. පස්සේ ක්ලෝඩීන් එයාට රැස්වීම්වලටත් ආරාධනා කළා. වීඩියෝ කොන්ෆරන්සිං හරහා රැස්වීම්වලට සහභාගි වෙන්නේ කොහොමද කියලත් ක්ලෝඩීන් එයාට කිව්වා. ඒ කාන්තාව රැස්වීම් ආපු පළවෙනි දවසේම උත්තරේකුත් දුන්නා.

 ඊටපස්සේ ක්ලෝඩීන් එයාත් එක්ක පාඩම් කරපු කෙනාගේ නංගිටත් සාක්ෂි දැරුවා. එයාත් බයිබලේ ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. එයා කිව්වා බයිබලේ ඉගෙනගන්න කැමති තව අය ඉන්නවා කියලා. අන්තිමට මොකද වුණේ? ක්ලෝඩීන්ට පුළුවන් වුණා තවත් කාන්තාවන් හතරදෙනෙක් එක්ක බයිබලේ සාකච්ඡා කරන්න. හැබැයි කතාව එතනින් නතර වුණේ නැහැ.

ක්ලෝඩීන්

 අනිත් අය ගැන තිබ්බ අවංක සැලකිල්ල නිසා ක්ලෝඩීන්ට පුළුවන් වුණා තව 10දෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න. එහෙම බලද්දී වසංගත කාලේ අතරතුර එයා බයිබල් පාඩම් 16ක් පටන් අරගෙන තියෙනවා. ඒ අතරින් සමහරු වීඩියෝ කොන්ෆරන්සිං හරහා දිගටම අපේ රැස්වීම්වලට සහභාගි වෙනවා. හැම වෙලේම අනිත් අය ගැන හිතලා එයාලා වෙනුවෙන් දේවල් කරන නිසයි ක්ලෝඩීන්ට එයාගේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් වුණේ. කොච්චර වේදනාවෙන් හිටියත් එයාට අනිත් අයව සනසන්න පුළුවන් වුණේ “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා එයාව සනසපු නිසයි.—2 කොරින්ති 1:3, 4.

 බයිබලේ පාඩම් කරන එක ගැන ක්ලෝඩීන්ගේ බයිබල් ශිෂ්‍යයන්ට හිතෙන්නේ මොනවාද? බලන්න එක් කෙනෙක් කියන දේ. “බයිබලේ ඉගෙනගන්න එකෙන් මට ගොඩක් ප්‍රයෝජන ලැබුණා. මට ලැබුණ වටිනාම දේ තමයි දෙවියන්ගේ නම දැනගන්න ලැබුණ එක. යෙහෝවා දෙවියන්ට ළං වෙන්න ඒක මට උදව් වුණා.” ක්ලෝඩීන් මුලින්ම සාක්ෂි දරපු කෙනා දැන් බව්තීස්ම වෙන්න බලාගෙන ඉන්නවා. ශිෂ්‍යයන් ටිකෙන් ටික දියුණු වෙනවා දකිද්දී ක්ලෝඩීන්ට දැනෙන්නේ වචනවලින් කියාගන්න බැරි සතුටක්. ඔපරේෂන් එක කරපු මුල් දවස්වලට වඩා දැන් ක්ලෝඩීන් සෑහෙන හොඳින් ඉන්නවා.