Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

හිතෝපදේශ 22:6 - “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”

හිතෝපදේශ 22:6 - “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”

 “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6, ‘නව ලොව පරිවර්තනය.’

 “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”—හිතෝපදේශ 22:6, ‘පැරණි අනුවාදය.’

හිතෝපදේශ 22:6 අදහස

 පුංචි කාලේ ඉඳන්ම දෙවියන්ට ආදරේ කරන්න, ඔහුගේ නීති පිළිපදින්න දෙමාපියන් දරුවන්ට උගන්නද්දී ජීවිත කාලේ පුරාම දරුවන් ඒකෙන් ප්‍රයෝජන ලබයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.” ඒ වචන “දරුවෙක්ට හරි පාරට අඩිය තියන්න උදව් කරන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. හිතෝපදේශ පොතේ හුඟක් තැන්වල දෙමාපියන්ට මඟ පෙන්නලා තියෙනවා පුංචි කාලේ ඉඳන්ම හරි වැරැද්ද තේරුම්ගන්න දරුවන්ට උදව් කරන්න කියලා. (හිතෝපදේශ 19:18; 22:15; 29:15) හැබැයි එහෙම කරද්දී දෙමාපියන් තේරුම්ගන්නවා වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් තීරණ ගැනීමේ නිදහස තියෙනවා කියලා. ඒක නිසා “අරක කරන්න, මේක කරන්න” කියලා නිකම්ම කියනවා වෙනුවට හොඳ තීරණ ගන්න පුළුවන්, වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වෙන්න දෙමාපියන් දරුවන්ට උදව් කරනවා.—ද්විතීය කතාව 6:6, 7; කොලොස්සි 3:21.

 සමහර බයිබල් විශාරදයන් කියනවා එතන කියන්නේ “දරුවාගේ පෞද්ගලිකත්වයට ගැළපෙන විදිහට එයාව පුහුණු කරන එක ගැනයි” කියලා. ඒ කියන්නේ දරුවා කැමති අකමැති දේවල් බලලා, එයාගේ ගුණාංග බලලා ඒකට ගැළපෙන විදිහට පුහුණු කරන්න ඕනෙ කියන එකයි. බැලූ බැල්මට ඒක ප්‍රායෝගිකයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ හිතෝපදේශයේ කතා කරන්නේ දරුවන්ට ගැළපෙන විදිහට පුහුණු කරන්න කියන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට හරි මඟේ, ඒ කියන්නේ ධර්මිෂ්ඨ මඟේ යන්න පුහුණු කරන්න කියන එක ගැනයි. හිතෝපදේශ පොතේ කෙනෙක්ට යන්න පුළුවන් මාර්ග දෙකක් ගැන පෙන්නලා තියෙනවා. පළවෙනි මාර්ගය හඳුන්වන්නේ “යහපතුන්ගේ අඩිපාර,” “ප්‍රඥාවේ මාවත” සහ “නිවැරදි මඟ” කියලා. (හිතෝපදේශ 2:20; 4:11; 23:19) අනිත් පාර හඳුන්වලා තියෙන්නේ “නපුරු අයගේ මාවත,” “අඥානයාගේ” මාවත සහ “වැරදි මඟ” කියලා. (හිතෝපදේශ 4:14; 12:15; 16:29) දරුවෙක් ‘යන්න ඕනෙ’ ඒ පාරවල් දෙකෙන් පළවෙනි පාරේ. ඒ කියන්නේ “නිවැරදි මඟේ.” ඒ මඟ මොකක්ද කියලා බයිබලේ පැහැදිලි කරලා තියෙනවා.—ගීතාවලිය 119:105.

 “එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.” දෙමාපියන් දරුවන්ට දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිති ගැන උගන්නද්දී දරුවෝ ජීවිත කාලේ පුරාම ඒකෙන් ප්‍රයෝජන ලබන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි එහෙමයි කියලා ඒ වගේ පුහුණුවක් ලබපු දරුවෙක් දෙවියන්ගේ නීතිවලට පිටුපාලා කවදාවත් සත්‍ය මාර්ගයෙන් “අහක්ව යන්නේ නැහැ” කියලා ඒකෙන් සහතිකයක් දෙන්නේ නැහැ. උදාහරණෙකට කෙනෙක් නරක දේවල් කරන අයත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ගියොත් එයා “ධර්මිෂ්ඨ මාවත්වලින්” පිට පැනලා වැරදි දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්. (හිතෝපදේශ 2:12-16; 1 කොරින්ති 15:33) හැබැයි ඒ කොහොමවුණත් දෙමාපියන් දරුවන්ට පොඩි කාලේ ඉඳන් දෙවියන්ගේ ප්‍රමිති උගන්නද්දී එයාලා දරුවන්ට සාර්ථක ජීවිතේකට මුල පුරන්න අවස්ථාවක් ලබා දෙනවා.—හිතෝපදේශ 2:1, 11.

හිතෝපදේශ 22:6 අවට පද

 දෙවියන්ගේ ප්‍රඥාවන්ත වදන් ජීවිතේට අදාළ කරගන්න විදිහ පෙන්නන ගොඩක් කියමන් හිතෝපදේශ 22වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ කියමන්වලින් කාවද්දන්නේ යෙහෝවා a දෙවියන් ඉදිරියේ හොඳ නමක් තියාගන්න එකේ වැදගත්කම ගැන. නිහතමානී වෙන එකෙන්, ත්‍යාගශීලී වෙන එකෙන් වගේම වෙහෙස මහන්සි නොබලා වැඩ කරන එකෙන් ඒ වගේ නමක් ඇති කරගන්න කෙනෙක්ට පුළුවන්. (හිතෝපදේශ 22:1, 4, 9, 29) අනිත් අතට දෙවියන්ගේ ප්‍රමිතිවලට පයින් ගහන, දුප්පතාව පාගලා දාන අයට ලැබෙන නරක ප්‍රතිඵල ගැනත් මේ පරිච්ඡේදයේ කතා කරලා තියෙනවා.—හිතෝපදේශ 22:8, 16, 22-27.

 හිතෝපදේශ 22වෙනි පරිච්ඡේදය පුරාම තියෙන්නේ දරුවන්ව පුහුණු කරන එක ගැන නෙවෙයි. හැබැයි දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න විදිහ ගැන සහ සැබෑ සතුට ලබාගන්න විදිහ ගැන ඒ පදවල කතා කරනවා. (හිතෝපදේශ 22:17-19) ඉතින් ඒ උපදෙස්වලට අනුව දරුවන්ව පුහුණු කරද්දී දෙමාපියන් පෙන්නනවා එයාලට ඕනෙ දරුවන්ට හොඳම දේ දෙන්න කියලා.—එෆීස 6:1-3.

 හිතෝපදේශ පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.