Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන්ට නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දරුවන්ට නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

 දැනගන්න ඕන දේ

 සමහර සංස්කෘතීන්වල ඉන්න දරුවන් දෙමව්පියන්ට හුඟක් කිට්ටු නිසා දෙමව්පියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ඒ අනුව ජීවත් වෙනවා. ඒත් තවත් සංස්කෘතීන්වල ඉන්න දරුවන් නම් ඊට වඩා වෙනස්. එයාලා මඟ පෙන්වීම් ලබාගන්නේ යාළුවන්ගෙන් මිසක් දෙමව්පියන්ගෙන් නෙවෙයි.

 යාළුවන්ගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන දරුවන් දෙමව්පියන් දෙන මඟ පෙන්වීම් එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ වගේ දරුවන් යෞවන වයසට ආවාම දෙමව්පියන්ට හිතෙයි තමන් කියන කිසිම දෙයක් දරුවන් අහන්නේ නැහැ කියලා. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි නේද? මොකද යාළුවන් එක්ක වැඩිපුර කාලයක් ගත කරද්දී දරුවන් ඉබේටම වගේ යාළුවන්ට ඕන විදිහට හැඩගැහෙනවා.

 දෙමව්පියන්ට ළං වෙනවාට වඩා යාළුවන්ට ළං වෙන්න දරුවන් පෙලඹෙන්නේ ඇයි? ඒකට බලපාන හේතු කීපයක් අපි බලමු.

  •   පාසැල. දරුවන් යාළුවන් එක්ක වැඩිපුර කාලයක් ගත කරද්දී යාළුවන්ට හුඟක් ළං වෙනවා. ඒ නිසා දෙමව්පියන් කැමති විදිහට දේවල් කරනවා වෙනුවට යාළුවන් කැමති විදිහට දේවල් කරන්නයි එයාලා උත්සාහ කරන්නේ. දරුවන් යෞවන වයසට ආවාම යාළුවන් කැමති විදිහට දේවල් කරන්න තියෙන ආසාව තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා.

    ඉස්කෝලේ යාළුවන්ගේ පිළිගැනීම ලබාගන්නවාට වඩා දෙමව්පියන්ගේ පිළිගැනීම ලබාගන්න එකයි වටින්නේ කියලා දරුවන් තේරුම්ගන්න ඕනේ

  •   එකට ගත කරන කාලය අඩු වීම. හුඟක් දරුවන් ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී ගෙවල්වල කිසිම කෙනෙක් නැහැ. සමහරවිට එහෙම වෙන්නේ දෙමව්පියන් වැඩට යන නිසා වෙන්න පුළුවන්.

  •   යොවුන් වියට ආවේණික දේවල්. යොවුන් වියට පා නඟන හුඟක් දරුවන් එයාලගේ වයසේ ඉන්න අයගේ රැල්ලට අහු වෙලයි ඉන්නේ. එයාලා හුඟක් ආස එයාලගේ වයසේ ඉන්න අය වගේ අඳින්න පළඳින්න, එයාලා වගේ කතා කරන්න, එයාලා කරන දේවල්ම කරන්න. මොකද දෙමව්පියන්ගේ පිළිගැනීමට වඩා එයාලට වැඩියෙන් වටින්නේ සම වයසේ අයගේ පිළිගැනීමයි.

  •   ව්‍යාපාර ලෝකය. විනෝද වෙන්න හදලා තියෙන දේවල් ඇතුළුව හුඟක් දේවල් ව්‍යාපාරිකයන් නිෂ්පාදනය කරන්නේ යෞවනයන්ව ඉලක්ක කරගෙනයි. ඒකෙන් වෙන්නේ යෞවන දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන පරතරය තවත් වැඩි වෙන එකයි. මහාචාර්යවරයෙක් වන රොබට් එප්ස්ටීන් එක පොතක සඳහන් කරලා තියෙන මේ දෙයිනුත් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. “යෞවනයන් එකපාරටම නැති වුණොත් ඩොලර් බිලියන ගණන් උපයන ව්‍යාපාරිකයන් ඇසිපිය හෙළන සැණින් බංකලොත් වෙලා යයි.” a

 කරන්න පුළුවන් දේ

  •   දරුවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:6, 7.

     සම වයසේ ඉන්න අයට ඔයාගේ දරුවන්ගේ හොඳ යාළුවන් වෙන්න පුළුවන් වුණත් දෙමව්පියන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම් ලබා දෙන්න එයාලට බැහැ. විශාරදයන් හොයාගෙන තියෙනවා දරුවන්ගෙන් සහ යෞවනයන්ගෙන් වැඩිදෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට ගරු කරනවා වගේම දෙමව්පියන්ව සතුටු කරන්න ආසාවෙන් ඉන්නවා කියලා. ඒ නිසා ඔයා දරුවන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගත්තොත් සම වයසේ ඉන්න අය කියන විදිහට දේවල් කරනවා වෙනුවට ඔයා කියන විදිහට දේවල් කරන්න එයාලා පෙලඹෙයි.

     “කොහොමහරි හැම දවසකම දරුවන් එක්ක කාලය ගත කරන්න ඕනේ. උයන එක, ගෙවල් දොරවල් අස්පස් කරන එක, ඉස්කෝලේ වැඩ වගේ එදිනෙදා කරන්න වෙන දේවල් වුණත් එයාලා එක්ක එකට එකතු වෙලා කරන්න බලන්න. එයාලා එක්ක විනෝද වෙන්නත් කාලය හොයාගන්න. ඒ කියන්නේ එයාලා එක්ක මොකක් හරි සෙල්ලමක් කරන්න, ටීවී බලන්න නැත්නම් චිත්‍රපටියක් බලන්න වගේ දේවල් කරන්න. ටික වෙලාවක් හරි දරුවන් එක්ක ඉඳලා ආදරය සැලකිල්ල පෙන්වනවා නම් ඇති කියලයි හුඟක් අය හිතන්නේ. ඒක ඇත්තක් නෙවෙයි. දරුවන් එක්ක වැඩි වෙලාවක් ගත කරන්නේ නැත්නම් එයාලත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට බෑ.”—ලොරේන්.

  •   හැම වයසකම ඉන්න අයව යාළුවන් කරගන්න උදව් කරන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.”—හිතෝපදේශ 22:15.

     සමහර දෙමව්පියන් හිතනවා සම වයසේ යාළුවන් හුඟදෙනෙක් දරුවන්ට ඉන්නවා නම් ඒ ඇති කියලා. අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්න ඒක දරුවන්ට උදව්වක් වෙන්න පුළුවන්. ඒත් දරුවන් විවිධ වයස් මට්ටම්වල ඉන්න අයව යාළුවන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කළොත් තමයි අවබෝධයෙන් වැඩ කරන්න එයාලා ඉගෙනගන්නේ. ඒ වගේම දරුවන්ට ආදරෙන් හරි මඟ පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ දෙමව්පියන්ට මිසක් එයාලගේ වයසේ ඉන්න යාළුවන්ට නෙවෙයි කියලත් අමතක කරන්න එපා.

     “දරුවාගේ යාළුවන්ට සමහර දේවල් ගැන හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒත් ජීවිතේ සාර්ථක කරගන්න ඕන කරන දැනුම, හැකියාවන්, අද්දැකීම් එයාලට නැති නිසා හොඳ තීරණ ගන්න අනිත් යෞවනයන්ට උදව් කරන්න එයාලට බැහැ. දරුවන් එයාලගේ දෙමව්පියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගන්නවා නම් අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගන්න එයාලට පුළුවන් වෙනවා.”—නාඩියා.

  •   නැණවත් මඟ පෙන්වීම් ලබා දෙන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

     මේ කාලේදී වගේම ඉස්සරහාටත් ඔයාත් එක්ක කාලය ගත කරන එක දරුවන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. දැන් ඉඳන්ම එයාලට හොඳ ආදර්ශයක් වෙන්න.

     “දරුවන්ට ආදර්ශයට ගන්න පුළුවන් හොඳම අය තමයි එයාලගේ දෙමව්පියන්. දෙමව්පියන් ගැන ලොකු ආදරයක්, ගෞරවයක් තියෙන දරුවන් උත්සාහ කරන්නේ එයාලගේ අම්මා, තාත්තා වගේ වෙන්නයි.”—කැතරීන්.

a පොතේ නම, Teen 2.0—Saving Our Children and Families From the Torment of Adolescence.