Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

දේශනාකාරයා 3:11 – “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ”

දේශනාකාරයා 3:11 – “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ”

 “ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.”—දේශනාකාරයා 3:11, ‘නව ලොව පරිවර්තනය.’

 “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.”—දේශනාකාරයා 3:11, ‘පැරණි අනුවාදය.’

දේශනාකාරයා 3:11 අදහස

 “ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.” මෙතන “පිළිවෙළට” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය “ලස්සනට” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. හැබැයි මේක නිකම්ම මතුපිටින් පේන ලස්සනට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒකට “නිසි ආකාරයට,” “සුදුසු විදිහට,” “සැලැස්මකට අනුව” කියන අදහසුත් ඇතුළත් වෙනවා. (දේශනාකාරයා 3:11) ඔහු ලස්සනට, පිළිවෙළට කරලා තියෙන දේවල්වලට ඇතුළත් වෙන්නේ ඔහු නිර්මාණය කරලා තියෙන දේවල් විතරක් නෙවෙයි. ඔහුගේ අරමුණට එකඟව ඔහු කරන හැම දෙයක්මත් ඒකට ඇතුළත්.—දානියෙල් 2:21; 2 පේතෘස් 3:8; එළිදරව් 4:11.

 “ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.” දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ සදාකාලයටම ජීවත් වෙන්නයි. (ගීතාවලිය 37:29) එහෙමනම් හැමදාටම ජීවත් වෙන්න තියෙන ආසාව දෙවියන් අපේ හිත්වලට දාපු එක පුදුමයක් නෙවෙයි. හැබැයි මුල් මිනිස් යුවළ ඒ කියන්නේ ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ නිසා ඒ ජීවිතේ නැති කරගත්තා. එයාලට විතරක් නෙවෙයි එයාලාගෙන් පැවත එන අයටත් අන්තිමේදී මරණය උරුම වුණා. (උත්පත්ති 3:17-19; රෝම 5:12) හැබැයි දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා. (ගීතාවලිය 145:16) ඒකට හැමදාටම ජීවත් වෙන්න තියෙන ආසාවත් ඇතුළත්. මිනිස්සුන්ට ආයෙත් සදාකාල ජීවනය ලබා දෙන්න දෙවියන් කළේ මොනවාද කියලා බයිබලේ හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.—රෝම 6:23.

 “සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.” දෙවියන්ගේ ප්‍රඥාව කොච්චර ගැඹුරුද, කොච්චර පුළුල්ද කියනවා නම් බයිබලේ කියනවා ඒක “තේරුම්ගන්න කොච්චර අමාරුද” කියලා. (රෝම 11:33) ඒ කොහොමවුණත් ඔහුගේ හිත සතුටු කරන්න අවංක ආශාවක් තියෙන අයට දෙවියන් ඔහුගේ අරමුණු හෙළි කරනවා.—ආමොස් 3:7.

දේශනාකාරයා 3:11 අවට පද

 දේශනාකාරයා පොත ලියපු සලමොන් රජ අතීතයේ ඊශ්‍රායෙල් දේශයේ හිටපු ප්‍රඥාවන්තම කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. මොකද දෙවියන් ඔහුට ප්‍රඥාව දීලා ගොඩක් ආශීර්වාද කළා. ජීවිතේ වැදගත්ම දේවල් සහ කිසි වැදගත්කමක් නැති දේවල් මොනවාද කියලා පැහැදිලිව අඳුරගන්න එයා දේශනාකාරයා පොතේ හොඳ උපදෙස් දීලා තියෙනවා. (දේශනාකාරයා 1:2, 3; 2:1, 17; 7:1; 12:1, 13) ජීවිතේ හැමෝම අද්දකින දේවල් ගැන සලමොන් 3වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඒ වගේම මිනිස්සු කරන එක එක ක්‍රියාකාරකම් සහ වෘත්තීන් ගැනත් එයා ඒ ලැයිස්තුවේ සඳහන් කළා. (දේශනාකාරයා 3:1-8, 10) දෙවියන් හැමෝටම නිදහස දීලා තියෙනවා තමන් කරන්න කැමති මොන දේවල්ද, ඒවා කරන්නේ කොයි වෙලාවටද කියලා තීරණය කරන්න. (ද්විතීය කතාව 30:19, 20; යොෂුවා 24:15) හැබැයි සලමොන් පැහැදිලි කරනවා කෙනෙක් දෙවියන්ගේ කැමැත්තට එකඟව, ඔහුගේ “නියමිත කාලයට” ඒ කියන්නේ ඔහුගේ කාලසටහනට අනුව වැඩ කරද්දී විතරයි එයා කරන දේවල් සාර්ථක වෙන්නේ කියලා. සලමොන් ඒක හැඳින්නුවේ “දෙවිගෙන් ලද ආශීර්වාදයක්” විදිහට.—දේශනාකාරයා 3:1, 12, 13.

 දේශනාකාරයා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.