Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ගීතාවලිය 37:4 - “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත්වෙව”

ගීතාවලිය 37:4 - “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත්වෙව”

 “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.”—ගීතාවලිය 37:4, ‘නව ලොව පරිවර්තනය.’

 “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.”—ගීතාවලිය 37:4, ‘පැරණි අනුවාදය.’

ගීතාවලිය 37:4 අදහස

 ගීතිකාකරු හැමෝටම දිරිගන්වනවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගද්දී ලැබෙන සතුට අද්දැකලා බලන්න කියලා. ඇත්තටම දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන කෙනෙක්ගේ ආශාවන් දෙවියන්ගේ කැමැත්තට එකඟයි නම් යෙහෝවා a දෙවියන් අනිවාර්යයෙන්ම ඒවා ඉෂ්ට කරනවා.

 “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න.” ඒ යෙදුම “යෙහෝවා දෙවියන්ව ඔයාගේ ලොකුම සතුට කරගන්න” කියලත් “ස්වාමීන්ට නමස්කාර කරලා ලැබෙන සතුට අද්දකින්න” කියලත් “ස්වාමීන් ඔයාට පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් ඒ යෙදුමෙන් අදහස් වෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයා වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ සැබෑ දෙවියන්ට නමස්කාර කරන එකෙන් කියලයි. (ගීතාවලිය 37:4) ඇයි එහෙම කියන්නේ?

 දෙවියන් හිතන විදිහට හිතන්න බයිබලේ අපිට උදව් කරනවා. ඉතින් යෙහෝවා දෙවියන්ගේ සෙනඟත් හැම වෙලේම උත්සාහ කරන්නේ හැම දෙයක් දිහාම දෙවියන් බලන විදිහට බලන්න. ඒ වගේම එයාලා නිකම්ම දෙවියන් ගැන දැනගෙන විතරක් නතර වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එයාලා දන්නවා හැම වෙලේම දෙවියන්ට කීකරු වෙන එක තමයි ඥානවන්තම දේ කියලා. ඒ නිසා එයාලට හොඳ හෘද සාක්ෂියක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලා අත පුච්චගෙන පාඩම් ඉගෙනගන්නෙත් නැහැ. (හිතෝපදේශ 3:5, 6) උදාහරණෙකට ධන සම්පත්වලට කෑදර, වංක මිනිස්සු දවසින් දවස දියුණු වෙනවා දකිද්දී දෙවියන්ගේ සෙනඟ ඒ මිනිස්සු ගැන කේන්ති ගන්නෙවත් ඒ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නෙවත් නැහැ. (ගීතාවලිය 37:1, 7-9) මොකද එයාලා දන්නවා දෙවියන් ළඟදීම මේ හැම අසාධාරණයක්ම නැති කරලා එයාලාගේ විශ්වාසවන්තකමට ආශීර්වාද කරනවා කියලා. (ගීතාවලිය 37:34) දෙවියන්ගේ හිත සතුටු කරන එකෙන්, දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න එකෙන් එයාලා ඇත්තටම ලොකු සතුටක් අද්දකිනවා.—ගීතාවලිය 5:12; හිතෝපදේශ 27:11.

 “ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.” ඒ වචන “ඔහු ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා” කියලත් “ඔයා වැඩියෙන්ම ආස කරන දේවල් ඔහු ඉටු කරනවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඇත්ත, අපි දන්නවා යෙහෝවා දෙවියන් අපි ඉල්ලන ඉල්ලන හැම දේම අපිට දෙන්නේ නැහැ කියලා. මොකද හොඳ තාත්තා කෙනෙක් වගේ යෙහෝවාත් දන්නවා දරුවන් විදිහට අපිට ඕන කරන හොඳම දේ. ඒ නිසා අපේ ඉල්ලීම්, අපි ජීවිතේ ගත කරන විදිහ හැම වෙලේම ඔහුගේ ප්‍රමිතිවලට සහ ඔහුගේ අරමුණට එකඟ වෙන්න ඕනේ. (හිතෝපදේශ 28:9; යාකොබ් 4:3; 1 යොහන් 5:14) අපි ඒ විදිහට දෙවියන්ගෙන් ඉල්ලනවා නම් “යාච්ඤා අසන තැනැත්තා” අනිවාර්යයෙන්ම අපේ ඉල්ලීමට සවන් දෙයි කියලා අපිට විශ්වාසයි.—ගීතාවලිය 65:2; මතෙව් 21:22.

ගීතාවලිය 37:4 අවට පද

 ගීතාවලිය 37වෙනි පරිච්ඡේදය ලිව්වේ අතීතයේ ඊශ්‍රායෙල් දේශයේ රජ කෙනෙක් වුණ දාවිත්. එයා මේ ගීතිකාව ලිව්වේ අකාරාදි පිළිවෙළට. b

 දාවිත් කියන්නේ ගොඩාක් අසාධාරණකම්වලට මුහුණ දුන්න කෙනෙක්. සාවුල් රජ සහ තවත් අය එයාව මරන්න පවා හෙව්වා. (2 සාමුවෙල් 22:1) හැබැයි ඒ මොනවා වුණත් දාවිත් හැම තිස්සේම වැඩ කළේ දෙවියන් මත විශ්වාසය තියලා. මොකද එයා දැනන් හිටියා අන්තිමේදී යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම දුෂ්ටයන්ව විනාශ කරනවා කියලා. (ගීතාවලිය 37:10, 11) දුෂ්ටයන් දියුණු වෙනවා කියලා පෙනුණත් එයාලා ළඟදීම “නිල් පලා” වගේ විනාශ වෙනවා.—ගීතාවලිය 37:2, 20, 35, 36.

 දෙවියන්ගේ ප්‍රමිති රකින කෙනෙක්ට අන්තිමට වෙන දේ සහ එහෙම නොකරන කෙනෙක්ට වෙන දේ අතර වෙනස ගීතිකාකරු ගීතාවලිය 37වෙනි පරිච්ඡේදයේ හරිම ලස්සනට උලුප්පලා තියෙනවා. (ගීතාවලිය 37:16, 17, 21, 22, 27, 28) ඒ නිසා ගීතිකාකරු අපිට උදව් කරනවා ප්‍රඥාව ලබාගෙන දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න කෙනෙක් වෙන්න.

 ගීතාවලිය පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් දෙවියන්ගේ නම පොදුවේ පිළිගන්න විදිහට සිංහලෙන් කියන්නේ “යෙහෝවා” කියලයි. හැබැයි හුඟක් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට ස්වාමීන් කියලයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b මේ ගීතිකාවේ පළවෙනි කොටසේ පළවෙනි පද පේළිය නැත්නම් පේළි කීපය පටන්ගන්නේ හෙබ්‍රෙව් හෝඩියේ පළවෙනි අකුරෙන්. ඊළඟ කොටසේ පළවෙනි පද පේළිය නැත්නම් පේළි කීපය පටන්ගන්නේ හෙබ්‍රෙව් හෝඩියේ දෙවෙනි අකුරෙන්. මේ මුළු ගීතිකාවම හදලා තියෙන්නේ ඒ විදිහට. ඒ නිසා මේ ගීතිකාව මතක තියාගන්න ලේසියි.