Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

එළිදරව් 21:4 - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’

එළිදරව් 21:4 - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’

 “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4, ‘නව ලොව පරිවර්තනය.’

 “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4, ‘පැරණි අනුවාදය.’

එළිදරව් 21:4 අදහස

 දෙවියන් පොරොන්දු වෙනවා දුක, වේදනාව විතරක් නෙවෙයි ඒ දේවල් ඇති වෙන්න මුල් වෙලා තියෙන හැම හේතුවක්මත් නැති කරනවා කියලා.

 “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.” යෙහෝවා a දෙවියන් යෙසායා මාර්ගයෙනුත් කිව්වා “සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය” කියලා. ඒ පොරොන්දුව ඔහු ආයෙත් වතාවක් එළිදරව් පොතේ සහතික කරනවා. (යෙසායා 25:8; එළිදරව් 7:17) වියෝදුක ඇතුළු විවිධ හේතු නිසා කදුළු හෙළන අය ගැන දෙවියන්ගේ හිතේ කොච්චර ආදරයක්, සෙනෙහසක් තියෙනවාද කියලා ඒ වචනවලින් මතක් කරනවා.

 “මරණය තවත් නොවන්නේය.” “කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ” කියන අදහසත් ඒකට ඇතුළත්. දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මරණය විතරක් නෙවෙයි මරණය නිසා ඇති වෙලා තියෙන හැම හානියක්ම නැති කරනවා කියලයි. ඒ වගේම මැරුණ අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් ඔහු පොරොන්දු වෙනවා. (1 කොරින්ති 15:21, 22) ඒ විදිහට දෙවියන් අන්තිමේදී ‘මරණය නැත්තටම නැති කරනවා.’—1 කොරින්ති 15:26.

 “වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” දෙවියන් මේ කියන්නේ මිනිස්සු කිසිම හැඟීමක්, දැනීමක් නැති තත්වයකට පත් වෙනවා කියලාද? නැහැ. මොකද සමහර වෙලාවට වේදනාවක් දැනෙන එක අනතුරුවලින් ආරක්ෂා වෙන්න අපිට උදව්වක්. එහෙමනම් දෙවියන් මේ පොරොන්දු වෙන්නේ පාපය b නිසා අද අපි ශාරීරිකව, මානසිකව විඳින වේදනා නැති කරනවා කියන එකයි කියලා පැහැදිලියි.—රෝම 8:21, 22.

 “කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” මිනිස්සු ඉස්සරහට මුහුණ දෙන්න යන වෙනස ගැන පොඩි සාරාංශයක් තමයි මේ කොටසේ තියෙන්නේ. ඒ ගැන එක පොතක විස්තර කරන්නේ මෙහෙමයි. “දුක, වේදනාව, මරණය උරුම වෙලා තියෙන මේ ජීවිතයෙන් කාටවත් ගැලවීමක් නැහැ. හැබැයි ඒ ජීවිතය වෙනුවට දුක, වේදනාව, මරණය නැති අලුත්ම ජීවිතයක් අපිට උරුම වෙනවා.” ඊටපස්සේ දෙවියන් මුලින්ම අරමුණු කරපු විදිහට මිනිස්සුන්ට සදාකාලයටම සතුටින් මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—උත්පත්ති 1:27, 28.

එළිදරව් 21:4 අවට පද

 21වෙනි පරිච්ඡේදය පටන්ගන්නේ යොහන් දකින දර්ශනයකින්. එයා කියනවා “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටුවෙමි” කියලා. (එළිදරව් 21:1) ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ දර්ශනයේ විස්තර කරලා තියෙන්නේ සංකේතාත්මක විදිහට. බයිබලේ තවත් පොත්වලත් ඒ අදහසම සඳහන් වෙලා තියෙනවා. (යෙසායා 65:17; 66:22; 2 පේතෘස් 3:13) දෙවියන් අද පොළොවේ තියෙන ආණ්ඩු ඔක්කොම අයින් කරලා ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක් මාර්ගයෙන් මේ පොළොව පාලනය කරනවා. ඒ පාලනයට තමයි “අලුත් අහස” කියන්නේ. එදාට මේ පොළොවේ ජීවත් වෙන්නේ ධර්මිෂ්ඨ මිනිස්සු විතරයි. එයාලව තමයි “අලුත් පොළොව” කියලා හඳුන්වන්නේ.—යෙසායා 65:21-23.

 අපි කොහොමද දන්නේ මේ දර්ශනයෙන් විස්තර කරන්නේ මේ පොළොවේ සිද්ධ වෙන දෙයක් ගැන කියලා? (1) මේ පොරොන්දුව දෙද්දී මුලින්ම කියන්නේ “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය” කියලා. (එළිදරව් 21:3) ඒකෙන් පැහැදිලියි ඒක කියන්නේ ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ට නෙවෙයි මේ පොළොවේ ඉන්න මිනිස්සුන්ට කියලා. (2) ඒ දර්ශනයේදී කියනවා “මරණයද තවත් නොවන්නේය” කියලා. (එළිදරව් 21:4) දැනටමත් මරණය තියෙන්නේ මේ පොළොවේ මිසක් ස්වර්ගයේ නෙවෙයි. (රෝම 5:14) ඉතින්, ඒ කරුණු දෙකෙන් පැහැදිලියි මේ පදයේ කතා කරන්නේ පොළොවේ වෙන දෙයක් ගැන කියලා.

 එළිදරව් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b දෙවියන්ගේ ප්‍රමිතිවලට විරුද්ධ ඕනෙම ක්‍රියාවක්, සිතුවිල්ලක් වගේම හරි දේ දැනගෙන ඒ දේ නොකර ඉන්න එකත් “පාපය” කියලා බයිබලේ හඳුන්වලා තියෙනවා. (1 යොහන් 3:4) ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “පාපය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.