Skip to content

ශුද්ධගිනිස්ථානය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

ශුද්ධගිනිස්ථානය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ ශුද්ධගිනිස්ථානය කියන වචනයවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් මැරුණාම නොනැසී පවතින දෙයක් ශුද්ධගිනිස්ථානයේදී පවිත්‍ර වෙනවා කියන ඉගැන්වීමත් බයිබලයේ නැහැ. a පාපය සහ මරණය ගැන බයිබලයේ තියෙන ඉගැන්වීමත් ශුද්ධගිනිස්ථානය ගැන ඉගැන්වීමත් එකිනෙකට පරස්පර විරෝධී ඉගැන්වීම් දෙකක් කියන්නේ ඇයි කියලා අපි බලමු.

  •   කෙනෙක්ට පාපයෙන් පවිත්‍ර වෙන්න පුළුවන් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කිරීමෙන් මිසක් සමහරු හිතන විදිහට ශුද්ධගිනිස්ථානයේ ගත කරන කාලය නිසා නෙවෙයි. ‘යේසුස්වහන්සේගේ ලෙයින් සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේය’ කියලත් ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 1:7; එළිදරව් 1:5, ‘පැරණි අනුවාදය’) ඒ වගේම යේසුස් ‘බොහෝදෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදුවා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 20:28, ‘නව අනුවාදය.’

  •   මැරුණු අය ඉන්නේ සිහි නැති තත්වයක. “ජීවත්වන්නෝ තමන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5, ‘පැරණි අනුවාදය’) හුඟක් අය කියන්නේ ශුද්ධගිනිස්ථානයේ තියෙන ගින්දරෙන් මැරුණු අයට වේදනාවක් දීලා එයාලව පවිත්‍ර කරන්න පුළුවන් කියලයි. ඒත් මැරුණු අයට කිසිම දෙයක් දැනෙන්නේ නැති නිසා ඒ වගේ පවිත්‍ර කිරීමක් කරන්න බැහැ.

  •   කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ පව්වලට දඬුවම් දීමක් වෙන්නේ නැහැ. “මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂ කරනු ලැබ සිටියි” කියලත් ‘පාපයේ කුලිය නම් මරණයය’ කියලත් බයිබලයේ කියනවා. (රෝම 6:7, 23, ‘පැරණි අනුවාදය’) පාපයට ලැබෙන දඬුවම මරණයයි. එතනින් එහාට වෙන දඬුවමක් නැහැ.

a “සුවිශේෂ පොත් හතරේ ශුද්ධගිනිස්ථානය ගැන කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ” කියලා එක පොතක සඳහන් වෙනවා. (Orpheus: A General History of Religions) “ශුද්ධගිනිස්ථානය ගැන කතෝලික පල්ලියේ ඉගැන්වීම පදනම් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් මත මිසක් බයිබලය මත නෙවෙයි” කියලා එක විශ්වකෝෂයක කියනවා.—New Catholic Encyclopedia දෙවෙනි සංස්කරණය, 11වෙනි වෙළුම 825වෙනි පිටුව.

b New Catholic Encyclopedia දෙවෙනි සංස්කරණය, 11වෙනි වෙළුමේ 824වෙනි පිටුව.